දමිළ ජාතික ගීය ව්‍යවස්ථාවට එකඟද? අධිකරණ විමර්ශනයක්

2016 පෙබරවාරි 04 වෙනිදා ගාලු මුවදොර පිටිය අභියස පැවති නිදහස් දින උත්සවයේ ජනාධිපතිවරයා ඇතුළු අමුත්තන් ජාතික ගීය ගයමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, 2016 පෙබරවාරි 04 වෙනිදා ගාලු මුවදොර පිටිය අභියස පැවති නිදහස් දින උත්සවයේ ජනාධිපතිවරයා ඇතුළු අමුත්තන් ජාතික ගීය ගයමින්

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට අවකාශයක් තිබේදැයි සොයා බැලීමේ විමර්ශනයක් සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය කළේ.

පෙත්සම්කරුවන් පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අවසර තිබෙන්නේ ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට බවයි.

සිංහල. දෙමළ. මුස්ලිම්. සියලුම ජාති ආගම් නියෝජනය කරමින් පාසල් දරුවන් නිදහස් දින උත්සවයේ ජාතික ගීය ගයන අයුරු

එහෙත් පසුගිය නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට පියවර ගත් බව පවසන පෙත්සම්කරුවෝ ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවටයි චෝදනා කරන්නේ.

එසේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීම මගින් ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලීමක් කර තිබේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරු කියා සිටියේ මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා බැඳුනු කරුණක් බැවින් තීන්දුවක් ගැනීමට ප්‍රථම ගැටලුවට අදාළව ව්‍යවස්ථාව අර්ථකථනය කිරීම අවශ්‍ය බවයි.

ඒ අනුව අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විභාගය ලබන මස 14 වෙනිදා පවත්වන බවයි විනිසුරුවරු ප්‍රකාශ කළේ.