ඔබේ වෛද්‍යවරයා 'ව්‍යාජ වෛද්‍යවරයෙක් දැයි' තහවුරු කර ගන්නේ මෙහෙමයි

ඡායාරූප මූලාශ්‍රය, Rapeepong Puttakumwong
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
නිරෝගී සැප මෙලොව ඇති උතුම් ම සැපය යනු බොහෝ දෙනෙකු පිළිගන්නා කරුණකි.
ශරීර සෞඛ්‍යය අයහපත් වන සෑම අවස්ථාවකදී ම වෛද්‍යවරයෙකුගේ සහය පැතීමට අපට සිදුවෙයි.
ශරීර සෞඛ්‍ය සම්බන්ධ නිරන්තර අවධානයෙන් පසුවන ඔබ රෝගී වූ පසුව ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයා සම්බන්ධව දැනුවත් විය යුතු කරුණු ගැන සලකා බලා තිබේ ද?
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර පමණක් නොව ඈත ගම්මානවල පවා වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කරන සුදුසුකම් නොමැති පුද්ගලයින් නීතියේ රැහැනට හසුවන අවස්ථා අප අසා දැක ඇත.
එවැන්නන්ගෙන් ප්‍රතිකාර ගැනීමෙන් ඔබේ සෞඛ්‍යය අවදානමකට ලක්වන හෙයින් ඔබේ වෛද්‍යවරයා නිසි සුදුසුකම් සහ පුහුණුව ලත් වෛද්‍යවරයෙකු දැයි දැනගැනීම ඔබගේ අයිතිවාසිකමකි.
ශ්‍රී ලංකාව තුළ බටහිර වෛද්‍යවරයෙකු ලෙස රජයේ හෝ පෞද්ගලික වශයෙන් ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
'වෛද්‍ය සභාවේ පරමාර්ථය වෙන්නේ රෝගීන්ගේ ආරක්ෂාව'
අප ප්‍රතිකාර ලබා ගන්නේ නිසි පුහුණුවක් සහිත, සුදුසුකම්ලත්, රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකු දැයි දැන ගන්නේ කෙසේ ද? සහ වෛද්‍යවරයා සම්බන්ධව ගැටලුවක් ඇති වූ විට පැමිණිලි කළ යුතු ආකාරය සම්බන්ධව බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් කරුණු විමසීමක් කළේ ය.
"වෛද්‍ය සභාවේ පරමාර්ථය වෙන්නේ රෝගීන්ගේ ආරක්ෂාව මිස වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව නෙමෙයි," වෛද්‍යවරුන් නියාමනයට පිහිටුවා ඇති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධීකාරී, වෛද්‍ය එච්.ඩී.බී හේරත් බීබීසී සිංහල සේවය හා කතා බහට එක්වෙමින් පැවසීය.
වෛද්‍යවරයා නිසි පුහුණුව හා සුදුසකම් ලබාගෙන වෘත්තීයමය වශයෙන් ක්‍රියාකරන බවට සහතික කර ගැනීමෙන් පසුව රෝගී ප්‍රතිකාර සඳහා සුදුසු බව තීරණය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන්ට ලියාපදිංචිය ලබා දීම සිදු කරන බව ඔහු කියා සිටියේ ය.
වෛද්‍යවරයෙකු ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මෙරට වෛද්‍ය විද්‍යාල ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව නියාමනය කෙරෙන බවත් විදේශ අධ්‍යාපනය ලබා පැමිණෙන වෛද්‍ය උපාධිධාරීන් ද උගත් විශ්වවිද්‍යාල පිළිබඳව සොයා බලා සෑහීමකට පත්විය හැකි නම් මෙරට ලියාපදිංචි ලබා දෙන බවත් වෛද්‍යවරයා පැවසීය.
"ලංකාවේ විශ්වවිද්‍යාලවලින් එන ශිෂ්‍යයන්ව තවදුරටත් විභාගයකට භාජනය කරන්නේ නැහැ. අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් ඒ අයට හොඳට උගන්වලා තියෙනවා, හොඳ විභාගයක් පවත්වනවා, ඒ විභාගයෙන් සමත් වුණා ම තවදුරටත් ආයෙ විභාගයක් කිරීම අවශ්‍ය නැහැයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. පිටරටවලින් එන අය ගැන ඒ විදියට විශ්වාස කරන්න බැරි නිසා අපිට සිද්ධ වෙනවා ඒ අයව පරීක්ෂණයකට ලක් කරන්න. ඒ අයට සෑහීමකට පත්වෙන්න පුළුවන් පුහුණුවක් තියෙනවා කියලා අපි සෑහීමකට පත්වුණොත් අපි එදින ඉඳලා එයාවත් පිළිගැනීමට ලක් කරනවා."
එලෙස පිළිගැනීමට ලක් කරන මෙරට හා විදේශ රටවල ඉගෙනුම ලැබූ සිසුන් වෛද්‍ය සභාවේ අධීක්ෂණය යටතේ වසරක අනිවාර්ය පුහුණුවකට යොමු කරනු ලැබේ.
"අපි ඔය පුහුණුවේදී බලාපොරොත්තු වෙන්නේ රෝගීයෙකුට කතා කරන හැටි, රෝගීන් ගොඩක් ආවොත් කොහොම ද පාලනය කරගන්නේ, රෝගීන්ව ඇතුළත් කරන, පිටත් කරන හැටි, බෙහෙත් නියම කරන ආකාරය අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ක ගනුදෙනු කරන හැටි වගේ දේවල්."
විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ එලෙස පුහුණු වූ පසුව එම විශේෂඥ වෛද්‍යවරයාගේ සහ රෝහල් අධිකාරීවරයාගේ නිර්දේශ අනුව අදාළ ශිෂ්‍යයා වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි කරන බව වෛද්‍ය එච්.ඩී.බී හේරත් කියා සිටියේ ය.
එසේ ලියාපදිංචිය ලැබූ වෛද්‍යවරයෙකු සම්බන්ධව යම් පැමිණිල්ලක් ලැබුණහොත් අර්ධ අධිකරණ බලය සහිත ක්‍රමවේදයක් ඔස්සේ වෛද්‍ය ආඥා පනතට අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධව විභාග කර ඉදිරි කටයුතු සිදු කරන බව ද වෛද්‍යවරයා පැවසීය.
වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් ද? යන්න තහවුරු කර ගැනීම
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය ලබා තිබීම, එම වෛද්‍යවරයා නිසි පුහුණුව සහ නිසි කල් ක්‍රියාවෙන් යුතු වෛද්‍යවරයෙකු බවට හඳුනා ගැනීමට ප්‍රමාණවත් සාධකයක් බව පැවසූ වෛද්‍ය එච්.ඩී.බී හේරත් යම් වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචිය ගැන ගැටලුවක් ඇති වුවහොත් එය පරීක්ෂා කර ගත හැකි ආකාරය ද පැහැදිලි කළේ ය.
"වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා වෛද්‍යවරයාගේ නම ඇතුළත් කරලා බලන්න පුළුවන්. එතකොට ඒ නමට අදාළ අංකය වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. නමුත් ඒකේ ප්‍රයෝගික ප්‍රශ්නයක් තියෙනවා අපිට දීලා තියෙන නමයි දාලා තියෙන නමයි එකක් නොවෙන්න පුළුවන්."
"එහෙම වෙලාවක වෛද්‍ය සභාවට ඊමේල් එකක් එවොත් එහෙම නැතිනම් ලිපියක් එව්වොත් අපි ඒකට පිළිතුරක් දෙනවා. හැබැයි වෛද්‍යවරයාගේ ලියාපදිංචි අංකය තියෙනවා නම්, වෛද්‍ය සභාවේ වෙබ් අඩවියට ඒ අංකය දෙනවා නම් ඒ අංකයට රෙජිස්ටර් වෙච්ච වෛද්‍යවරයෙක් නැතිනම් හෝ වෙන නමක් නම් තියෙන්නේ එතනින් ම මේක සහතික කර ගන්න පුළුවන්," බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධීකාරීවරයා වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය සොයා බලන ආකාරය පැහැදිලි කළේ ය.
නිවැරදිව පැමිණිලි කරන ක්‍රමවේදය කුමක් ද?
ලියාපදිංචි වී ඇති වෛද්‍යවරුන් සම්බන්ධව යම්කිසි ගැටලුවක් මතුවුවහොත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිලි කිරීමේ හැකියාව පවතින අතර, එසේ පැමිණිලි කිරීමට නිසි ක්‍රමවේදයක් වෛද්‍ය ආඥා පනතින් හඳුන්වා දී තිබෙන බව ද වෛද්‍යවරයා කියා සිටියේ ය.
"පැමිණිල්ල හරියට ඉදිරිපත් කරන්න බැරි වුණොත් පැමිණිලි කරන කෙනත් වෛද්‍ය සභාවත් පරදින්න පුළුවන්. ඒකයි අපි හරි විදියට පැමිණිලි කරන්න කියන්නේ."
"ඕන පැමිණිල්ලක් අපි භාර ගන්නවා, ඊට පස්සේ වෛද්‍ය සභාවත් පැමිණිළිකරුත් එකතු වෙලා මේ පැමිණිල්ල නිසි පරිදි සකස් කරලා තමයි විභාගයට ගන්න පුළුවන්," වෛද්‍යවරයා සඳහන් කළේ ය.
වෛද්‍යවරයෙකු සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරන විට ලිපියක් සහිතව එම ලිපියේ කරුණු ඇතුළත් සහතික කරන ලද දිවුරුම් පෙත්සමකින් පැමිණිල්ල ඉදිරිපත් කළ යුතු යැයි වෛද්‍ය ආඥ පනතේ සඳහන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධීකාරී, වෛද්‍ය එච්.ඩී.බී හේරත් බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.
"නිවැරදි ම ක්‍රමවේදය තමා ලිපියක ස්වභාවයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ගමන් ඒ ලිපියේ සඳහන් සියලු දේ දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් සහතික කරලා අපිට එවන්න ඕනේ. එතකොට තමයි අපි ඒකේ ඉදිරි වැඩ කටයුතු කරන්නේ."
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, වෙනත් රජයේ දෙපාර්තුමේන්තුවක ප්‍රධානියෙකු, විශ්වවිද්‍යාල උපකුලපතිවරයකු හෝ පළාත් පාලන ආයතනය ප්‍රධානියෙකු වැනි වෛද්‍ය ආඥා පනතේ සඳහන් කර ඇති යම් පිරිසකට දිවුරුම් පෙත්සමක් නොමැතිව පැමිණිලි කිරීමේ හැකියාව පවතින බවත් වෛද්‍යවරයා පැවසීය.
ව්‍යාජ ලෙස වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටීම දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක් බැවින් එවැනි ආකාරයේ පැමිණිලි විභාග කළ හැක්කේ පොලිසියට පමණි.
ඒ ආකාරයට පැමිණිල්ලක් ලැබුණහොත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව උපදෙස් මෙන් ම සහය ලබා දීමට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු කරන බව එහි ලේඛකාධීකාරී, වෛද්‍ය එච්.ඩී.බී හේරත් බීබීසී සිංහල සේවය වෙත වැඩිදුරටත් කියා සිටියේ ය.


































