සෙමින් ආහාර ගැනීමෙන් බර අඩු කර ගත හැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"හෙමින් කන්න", "සිහියෙන් කන්න", "කෑම කද්දී කතා කරන්න එපා" බොහෝ දෙනෙක් අප කුඩා කාලයේදී මෙසේ ඔබට කියා තිබෙනවා නොඅනුමානයි. එය ඇත්ත වශයෙන් ම නිවැරදි බව දැන් විද්‍යාත්මකව ඔප්පු වී තිබේ.
සිහි කල්පනාවෙන් යුතුව ආහාර ගැනීම, සෙමින් ආහාර සැපීම ඔබේ මොළය සහ ආමාශය අතර හොඳින් සන්නිවේදනය කිරීමට උපකාරී වේ.
සෙමින් ආහාර ගැනීමෙන් ඇතිවන සෞඛ්‍යමය බලපෑම් පිළිබඳව ආහාර සහ පෝෂණ විශේෂඥ ලෙස්ලි හයින්බර්ග් දිගු කලක් පුරා පර්යේෂණ කොට තිබේ.
ඔබේ කාලය ගෙන ආහාර ගැනීම ඔබට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කරදෙන බව ඔහු එහිදී සොයා ගත්තේය.
ඔබ වේගයෙන් ආහාර ගන්නවාද, එසේත් නැත්නම් සෙමින් ආහාර ගන්නවාද යන්න දැනගන්නේ කොහොමද? ඒ සම්බන්ධ සරල න්‍යායක් තිබේ.
අපි ආහාර ගැනීමට පටන් ගත් පසු, එය පිරී ඇති බව මොළයට දැනුම් දීමට ආමාශයට විනාඩි 20ක් පමණ ගත වේ.
මෙයින් අදහස් කරන්නේ ඔබ විනාඩි 20 කට අඩු කාලයකින් ආහාර වේලක් ගෙන අවසන් කළහොත්, ඔබ ඉතා ඉක්මනින් ආහාර ගන්නා බව යි.
මිනිත්තු 20ක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගෙන ආහාර ගැනීමෙන් ඔබේ ශරීරයට ආහාර වඩා හොඳින් ජීර්ණය කිරීමට, ඔබව දිගු වේලාවක් තෘප්තිමත්ව තබා ගැනීමට, අධික ලෙස ආහාර ගැනීම අඩු කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට උපකාරී වේ.
අනෙක් අතට, ඉක්මනින් ආහාර ගැනීමේදී නිසි ලෙස ආහාර හැපීමට ඉඩ නොලැබෙන අතර, එක් ආහාර කටක් ගිලීමෙන් පසු සහ තවත් ආහාර කටක් ගැනීම අතර නැවතීමක් සිදු නොවේ.
එපමණක් නොව, මේ හේතුවෙන් ආමාශය පිරී ඇති බවට වන සංඥාව මොළයට නොලැබෙන අතර එය අධික ලෙස ආහාර ගැනීමට සහ ශරීරය බර වැඩි වීමට හේතු වේ.
වේගයෙන් ආහාර ගැනීම සඳහා හේතු කිහිපයක් තිබේ. ඉන් එකක් නම් කාර්යබහුලත්වය හෝ වැඩ අධික වීම නිසා ඇතිවන පීඩනයයි. බොහෝ අය ආතතිය හෝ කාංසාව නිසා ඉක්මනින් ආහාර ගැනීමට පෙළඹී ඇත.
එමෙන්ම, ඔබ දිගු කලක් ආහාර නොගෙන හෝ දැඩි ආහාර පාලනයක් අනුගමනය කරන්නේ නම්, ඔබට දැඩිව බඩගිනක් දැනෙන අතර ඒ නිසා ද ඉක්මනින් ආහාර ගැනීමට පෙළඹේ.
නමුත් ඉක්මනින් ආහාර ගැනීමෙන් ඔබට සතුටක් නොලැබෙන අතර ආහාර ජීර්ණ ගැටලු සහ අනෙකුත් සෞඛ්‍ය ගැටලු ඇති වීමේ හැකියාවක් පවතියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආහාර ජීර්ණ ගැටලු
පෝෂණවේදිනියක වන තස්නීම් චෞද්රි පවසන්නේ ආහාර හොඳින් සැපීම ආහාර දිරවීමේ වැදගත් අංගයක් බව යි.
වේගයෙන් ආහාර ගන්නා විට කටපුරා ආහාර කටක් ගෙන ඉතා සුළු වෙලාවක් ඇතුළත හපා ඉක්මණින් ගිල දමනු ලැබේ. මේ හේතුවෙන් ආමාශයට ආහාර ඇතුළු වන්නේ විශාල කොටස් වශයෙනි.
ආහාර ජීර්ණ පද්ධතියට මෙම විශාල කොටස් කඩා ගැනීමට දැඩි මහන්සියක් දැරීමට සිදුවන අතර එමඟින් පරිවෘත්තීය ගැටලු ඇති විය හැක.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බර වැඩිවීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉක්මනින් ආහාර ගැනීම අනපේක්ෂිත ලෙස බර වැඩිවීමට ප්‍රධාන හේතුවකි.
හර්බට් හෙල්ත් පබ්ලිකේෂන්ස් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, ඉතා ඉක්මනින් ආහාර ගන්නා පුද්ගලයින් බොහෝ විට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගන්නා බවයි. මන්ද මොළයට ආමාශය පිරී ඇති බව වටහා ගැනීමට මිනිත්තු 20 ක් පමණ ගත වන බැවිනි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබ වැඩිපුර ආහාර ගන්නා විට එමඟින් ඔබේ කැලරි ප්‍රමාණය ද වැඩි වන අතර එමඟින් සිරුරේ බර වැඩිවීමට හේතු වේ.
ග්‍රීසියේ ලයිකොස් මහ රෝහලේ සිදු කරන ලද අධ්‍යයනයකදී, කණ්ඩායම් දෙකකට අයිස්ක්‍රීම් කෑමට ලබා දෙන ලදී. එහිදී එක් කණ්ඩායමක් මිනිත්තු පහකින් එය අනුභව කළ අතර අනෙක් කණ්ඩායම විනාඩි 30 කට වැඩි කාලයක් සෙමින් අනුභව කළහ.
සෙමින් ආහාර ගන්නා පුද්ගලයින්ගේ මොළයට ආමාශය පිරී ඇති බව පවසන හෝමෝනයක් මගින් පණිවිඩයක් නිකුත් කරයි. එබැවින් කුඩා ආහාර ප්‍රමාණයක් අනුභව කිරීමෙන් පසුව පවා ඔවුන්ට තෘප්තිමත් බවක් දැනේ.
2018 දී චීනයේ සිදු කරන ලද ජාතික අධ්‍යයනයකින් හෙළි වූයේ වයස අවුරුදු 7 සිට 17 දක්වා ළමුන් අතර ඉක්මනින් ආහාර ගැනීම තරබාරුකමට ප්‍රධාන හේතුවක් බව යි
පුද්ගලයින් 1,000 ක් යොදාගෙන වසර පහක් පුරා කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, සෙමින් ආහාර ගන්නා පුද්ගලයින්ට සාපේක්ෂව වේගයෙන් ආහාර ගන්නා අයගේ තරබාරුකම, අධික රුධිර පීඩනය, රුධිරගත සීනි මට්ටම, උදරයේ මේදය සහ සෞඛ්‍යයට අහිතකර කොලෙස්ටරෝල් වැනි සෞඛ්‍ය අවදානම් වලට මුහුණ දීම 11% කින් වැඩි බව ය.
මෙම සාධක හෘද රෝග, ආඝාත සහ දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආම්ලිකත්වය සහ පපුවේ දැවිල්ල
පෝෂණවේදීන් පවසන්නේ ඉක්මනින් ආහාර ගැනීම ජීර්ණ අපහසුතා සහ පපුවේ දැවිල්ල ද ඇති කළ හැකි බව යි.
වේගයෙන් ආහාර ගැනීමෙන් ඔබට වාතය ගිලීම සිදුවිය හැකි අතර, එමඟින් බඩ පිපීම, අපහසුතාව, වාත ගැටලු සහ ආහාර ජීර්ණය කිරීමේදී ඇතිවන ඇඹුල් බෙල්චින් තත්ත්වයන් ඇති විය හැක.
අධික ලෙස ආහාර ගැනීමෙන් ආමාශයේ අමතර අම්ලය නිපදවන අතර එය අජීර්ණයට හේතු වේ.
පෝෂක අවශෝෂණ ඌනතාවය
ඉක්මනින් ආහාර ගැනීමෙන් ශරීරයට ආහාර වලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ නිසි ලෙස අවශෝෂණය කර ගැනීමට කාලය නොලැබෙන බව පෝෂණවේදිනී තස්නීම් චෞද්රි පවසයි.
මෙයින් අදහස් කරන්නේ ඔබ පෝෂ්‍යදායී ආහාර අනුභව කළත්, එම ආහාරයේ ඇති විටමින්, ඛනිජ ලවණ හෝ වෙනත් පෝෂ්‍ය පදාර්ථ වලින් ශරීරයට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව යි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දෙවන වර්ගයේ දියවැඩියාව
ජපන් විශ්වවිද්‍යාලයක පර්යේෂකයින් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින් 50,000 කට වැඩි පිරිසකගේ දත්ත විශ්ලේෂණය කර, ඔවුන් වේගවත්, සාමාන්‍ය සහ මන්දගාමී ලෙස ආහාර ගන්නා කණ්ඩායම් ලෙස වර්ග කර ඇත.
එහිදී මිනිත්තු 10ක් හෝ ඊට අඩු කාලයකින් ආහාර ගත් අයගේ රුධිරයේ සීනි මට්ටම ඉතා ඉක්මනින් ඉහළ යන බව අධ්‍යයනයෙන් හෙළි විය.
මේ අතර, එකම ආහාර වර්ගය වඩාත් සෙමින් අනුභව කළ අයගේ රුධිරයේ සීනි මට්ටම අනෙක් අයට සාපේක්ෂව බෙහෙවින් අඩු වීමක් දක්නට ලැබිණි.
පෝෂණවේදීන් පවසන්නේ අධික වේගයෙන් ආහාර ගැනීමෙන් රුධිර පීඩනය වැඩි විය හැකි බවත්, එමඟින් ශරීරයේ දැවිල්ලක් ඇතිවීමේ අවදානම සහ දෙවන මට්ටමේ දියවැඩියා තත්ත්වය වැඩි වන බවත්ය.
ඉක්මනින් ආහාර ගැනීම ඉන්සියුලින් නිෂ්පාදනය අඩු කරන අතර, එය දෙවන වර්ගයේ දියවැඩියාවට හේතු විය හැක. එසේ නම්, වේගයෙන් ආහාර ගැනීමට පුරුදු වී සිටින පුද්ගලයින්ට තමන්ගේ මෙම පුරුද්ද වෙනස් කර ගත හැක්කේ කෙසේද?
ඔබේ වෙලාව ගන්න
සෑම ආහාර වේලක් සඳහා ම අවම වශයෙන් මිනිත්තු 30 ක් වත් ගත කරන්න. ඉන් ඔබට ආමාශය පිරුණු බවක් දැනීමට උපකාරී වන අතර එය ඔබ අධික ලෙස ආහාර ගැනීම වළක්වයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හොඳින් හපන්න
ඔබේ කාලය ගන්න, සෑම ආහාර කටක් ම හොඳින් සපන්න. වෛද්‍ය හයින්බර්ග් නිර්දේශ කරන්නේ සෑම ආහාර කටක් ම 15-30 වතාවක් සැපිය යුතු බව යි.
ඔබේ ඊළඟ ආහාර කට ගැනීමට ඉක්මන් නොකිරීමට, ආහාර කට ගැනීමෙන් පසු ඔබේ අත හෝ හැන්දක් පහළට දමන්න.
ආහාර දැඩි හෝ වියළි නම්, එය මෘදු කිරීම සඳහා හපන අතරතුර වතුර ස්වල්පයක් බොන්න.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිහිකල්පනාවෙන් ආහාර ගැනීම
ඔබ ආහාර ගන්නා විට, ඔබේ මනසින් ආහාරය භුක්ති විඳින්න. මෙය සිහිකල්පනාවෙන් ආහාර ගැනීම ලෙස හැඳින්වේ. ආචාර්ය හයින්බර්ග් එය සිහිකල්පනාවෙන් ආහාර ගැනීම ලෙස හඳුන්වයි. එහි තේරුම නම් අපගේ ඉන්ද්‍රියන් පහ භාවිතා කර ආහාර ගැනීම යි.
මෙයින් අදහස් කරන්නේ ආහාරයේ රසය පමණක් නොව, පෙනුම, සුවඳ සහ භෞතික ගුණය නිරීක්ෂණය කිරීමයි.
අද, බොහෝ දෙනා රූපවාහිනිය නරඹමින්, ඔවුන්ගේ දුරකථන භාවිතා කරමින්, නැතහොත් ආහාර ගන්නා අතරතුර කියවමින් ආහාර ලබා ගනිති. එමඟින් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු වේ.
ඉතින්, ඔබේ මනස සන්සුන් කරගන්න, ඔබේ ආහාර කුඩා කොටස් වලට බෙදා ගන්න, සිහි කල්පනාවෙන් ආහාර ගන්න.
ඔබේ ආහාර කෙරෙහි අවධානය යොමු කරන්න: එහි වර්ණය නිරීක්ෂණය කරන්න, සුවඳ විඳින්න, ස්පර්ශ කරන්න, රස බලන්න. ඒ වගේ ම ඔබ හපන විට එහි ශබ්දය පවා නිරීක්ෂණය කරන්න.
මෙම කුඩා වෙනස්කම් ක්‍රමයෙන් ඔබේ ආහාර ගැනීමේ පුරුදු වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත.














