මරණය අබියස සිට විවාහය දක්වා: පිළිකාවකින් දිවි ගලවාගෙන අවයව තුනක් බද්ධ කිරීමෙන් පසු විවාහය සැලසුම් කරන ජෙසිකා

Jessica Lopez sitting in a hospital chair wearing a black trouser and a shirt getting a warm embrace from her mum

ඡායාරූප මූලාශ්‍රය, Northwestern Medicine

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය මව සමග මෙහි දක්නට ලැබෙන ජෙසිකා ලෝපෙස්, ඇගේ ශල්‍ය වෛද්‍යවරයා බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් සුවය ලැබුවා ය
    • Author, ස්වාමිනාදන් නටරාජන් සහ Newsday Programme
    • Role, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ජෙසිකා ලෝපෙස් සිය ජීවිත කාලය පුරාවට විවිධ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පා තිබේ.

කුඩා කළ සිට ම අන්ධභාවයෙන් පෙළෙන සහ පිළිකාවකින් දිවි ගලවා ගත් එක්සත් ජනපදයේ චිකාගෝහි වෙසෙන 32 හැවිරිදි ඇය මෑතකදී හදවතක්, අක්මාවක් සහ වකුගඩුවක් බද්ධ කෙරුණු දුර්ලභ හා සංකීර්ණ ත්‍රිත්ව අවයව බද්ධ කිරීමකට මුහුණ දුන්නා ය.

දැන් ඇය ජීවිතයේ නව පරිච්ඡේදයක් සඳහා සූදානම් වෙමින් සිටියි: ඒ ඇගේ විවාහයයි.

"අපි ලබන වසරේ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා," ලෝපෙස් බීබීසීයට පැවසුවා ය. එමෙන් ම උත්සවය අතරතුර නර්තනයේ යෙදීමට බලාපොරොත්තු වන බව ද ඇය පැවසුවාය.

අවදානම්සහගත ශල්‍යකර්මයක්

Jessica Lopez as a toddler dressed in a white gown and wearing a head band

ඡායාරූප මූලාශ්‍රය, Family Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, ළමා වියේදී ලෝපෙස්ට පෙනීම අහිමි විය

රෙටිනොබ්ලාස්ටෝමා නමැති දෘෂ්ටි විතානයේ පිළිකාවක් හේතුවෙන් වම් ඇස අන්ධභාවයට පත් ලෝපෙස් ලියුකේමියාව සමග ද සටන් කරමින් ඇගේ දිවියේ මුල් අවධියෙන් වැඩි කොටසක් රෝහලේගතව පසු වූවා ය. ඇගේ දිවිය ආරක්ෂා කර ගැනීම සඳහා රසායනික චිකිත්සාව (chemotherapy) සහය වූ නමුත් පසුකාලීනව සංකූලතා ඇති විය.

2023 වසරේ නොවැම්බර් මාසයේ පැවති ඇගේ විවාහ ගිවිස ගැනීමෙන් ටික කලකට පසුව තමාට නව හදවතක් සහ අක්මාවක් අවශ්‍ය බව ලෝපෙස් දැනගත්තා ය. අවයව බද්ධ කිරීමට බලාපොරොත්තු පසුවන විට ඇගේ වකුගඩුවක් ද අකර්මණ්‍ය වීම ඇරඹිණි.

මතුවිය හැකි අධිඅවදානම් තත්ත්වයන් පැවතිය ද ලෝපෙස් සහ ඇගේ වෛද්‍යවරු ත්‍රිත්ව අවයව බද්ධය සිදු කිරීමට තීරණය කළහ. 2025 පෙබරවාරි 24 වන දා සැත්කම සිදු කෙරිණි.

"අපේක්ෂා කරන්න පුළුවන් දේවල් සහ බද්ධ කිරීමේ කාර්යය සඳහා අපට සිටින විශිෂ්ට කණ්ඩායම පිළිබඳ අපි බොහෝ දේ කතා කළා," චිකාගෝහි නෝර්ත්වෙස්ටර්න් අනුස්මරණ රෝහලේ ඇගේ ශල්‍ය වෛද්‍ය බෙන්ජමින් බ්‍රයිනර් පැවසුවේ ය.

Team of doctors performing organ transplant on Lopez in an operating theatre

ඡායාරූප මූලාශ්‍රය, Northwestern Medicine

ඡායාරූප ශීර්ෂ වැකිය, සැත්කම පුරා විශේෂඥයින් 12 සිට 15 දක්වා කණ්ඩායමක් ශල්‍යකර්ම කාමරයේ රැඳී සිටියහ

හදවත් සහ අක්මා බද්ධය සඳහා පැය 10ත් 11ත් අතර කාලයක් පමණ ගතවූ බවත්, වකුගඩු බද්ධ කිරීම පැය 3ත් 4ත් අතර කාලයක් පැවති බවත් ඔහු පැවසුවේය.

ක්‍රියාවලිය පුරාවට විශේෂඥ වෛද්‍යවරුන් 12ත් 15ත් අතර කණ්ඩායමක් ශල්‍යාගාරය තුළ සිටි අතර අමතර වෛද්‍යවරුන් පිරිසක් මාරුවෙන් මාරුවට සේවයේ නිරත වූහ.

ත්‍රිත්ව අවයව බද්ධ කිරීම් අතිශය දුර්ලභ වේ. රෝහලට අනුව හදවත, අක්මාව සහ වකුගඩු ඇතුළත් මෙවැනි අවයව බද්ධ කිරීම් මේ දක්වා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇත්තේ 59ක් පමණි.

වෛද්‍ය බ්‍රයිනර් පැහැදිළි කළේ, ඔහුගේ රෝහලේ සාමාන්‍යයෙන් එක් අවයවයක් හෝ අවයව ද්විත්වයක් බද්ධ කිරීම් සිදු කරන අතර මෙම සැත්කම වඩාත් සංකීර්ණ වූ බවයි.

A heart transplant nurse coordinator standing next to Jessica Lopez who is sitting in a chair in the hospital room

ඡායාරූප මූලාශ්‍රය, Northwestern Medicine

ඡායාරූප ශීර්ෂ වැකිය, ත්‍රිත්ව අවයව බද්ධයට පෙර ලෝපෙස්ට සියලු දේ විස්තර කෙරිණි

"කණ්ඩායම් කිහිපයක් සමග එක්ව කටයුතු කිරීමේ අත්දැකීම් අපට තිබෙනවා. නමුත් ඇත්තවශයෙන් ම මේක සංකීර්ණ පියවරක්," ඔහු පැවසුවේ ය. "අපි හැම දෙයක් ගැන ම කතා කළා, කව දා මොනවා වෙයි ද කියලා. ඇයව ධෛර්යවත් කරන්න අපි අපේ උපරිමය කළා."

ප්‍රතික්ෂේප වීමේ අවදානම අඩු කිරීමට ලෝපෙස්ගේ අවයව බද්ධ කිරීම සඳහා අවයව ත්‍රිත්වයම එක ම පරිත්‍යාගශීලියෙකුගෙන් ලබා ගෙන තිබිණි.

"ඒවා හොඳින් ගැලපෙන බව තහවුරු කර ගැනීමට හොඳ ම ක්‍රමය වුණේ ඒක," වෛද්‍ය බ්‍රයිනර් ප්‍රකාශ කළේය.

විශ්වාසය සහ ධනාත්මකභාවය

Jessica Lopez ringing a hanging bell to mark her discharge from the hospital

ඡායාරූප මූලාශ්‍රය, Northwestern Medicine

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝහලට අනුව, මේ දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ හදවත, අක්මාව සහ වකුගඩු බද්ධ කිරීම් වාර්තා වී ඇත්තේ 59ක් පමණි

ලෝපෙස් ශල්‍ය කර්මයට මුහුණ දුන්නේ විශ්වාසය සමගයි. "මම හැමවෙලාවෙ ම ධනාත්මකව සිතන කෙනෙක් සහ මම කිසිම අවස්ථාවක ඍණාත්මකව සිතන්න කැමති නැහැ," රෝහල විසින් නිකුත් කරන ලද නිවේදනයක ඇය උපුටා දක්වමින් සඳහන් කර තිබිණි.

නැවත පිළිකා තත්ත්වයක් මතු නොවී වසර 20ක කාලයක් ගත කරන ලෝපෙස් ප්‍රකාශ කළේ, එම බද්ධ කිරීම ඇගේ ජීවිතය වෙනස් කළ බව ය. "මම නැවත ඉපදුණා වගේ මට දැනෙනවා," ඇය පැවසුවාය.

Jessica Lopez sitting in her hospital chair and is surrounded by her care team

ඡායාරූප මූලාශ්‍රය, Northwestern Medicine

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝපෙස් සුවය ලැබීම ගැන රෝහලේ වෛද්‍ය කණ්ඩායම සතුටින් පසු වෙයි

ශල්‍යකර්මයට පෙර වෛද්‍ය බ්‍රයිනර්ගෙන් සිදු කළ සවිස්තරාත්මක ප්‍රශ්න ඇසීම පිළිබඳව ද ඇය සිහිපත් කළා ය. "මම ඔහුගෙන් ඇසුවා: ඒ සඳහා කොපමණ කාලයක් ගත වෙනවා ද? දවසක් හෝ දෙකක් ගත වෙයි ද? මේ ශල්‍යකර්මයෙන් පසුව මට අවශ්‍ය ඖෂධ මොනවා ද?

නිර්වින්දනයෙන් අනතුරුව අවදි වූ පසු ඇගේ මතකයන්වල අපහදිලිතාවක් නොවිණි. "අවදි වූ සැණින්, මට මතක පළවෙනි දේ තමයි, මම අද දවස කවද ද සහ වෙලාව කීය ද කියලා අහනවා. මට දැනුන අනෙක් දේ තමයි මගේ අත් සහ පාද මොන තරම් රස්නේ ද කියලා. බද්ධ කිරීමට පෙර මගේ අත් සහ පාදවල හරි සීතලක් දැනුණා." ඒ වගේ ම හොඳින් හෘද ස්පන්දනය වන ආකාරය ද ඇය නිරීක්ෂණය කළා ය.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්

Jessica standing in a pool and holding the fins of a dolphin. She is supported by another woman

ඡායාරූප මූලාශ්‍රය, Northwestern Medicine

ඡායාරූප ශීර්ෂ වැකිය, මාස ගණනක් රෝහලේගතව පසුවීමෙන් පසු, ලෝපෙස් ජීවිතය නැවත ආරම්භ කිරීමේ උනන්දු පසුවෙයි

මෙම අවයව බද්ධ කිරීම ලෝපෙස්ගේ ශක්ති මට්ටම් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර තිබිණි. "මම දැන් කලින් තරම් නිදාගන්න ඕනේ නැහැ. මට මුළු දවස ම ගත කරන්න පුළුවන් වගේ ම වෙහෙසට පත් වෙන්නේ නැහැ," ඇය පැවසුවා ය. "මට ශාරීරික ක්‍රියාකාරකම්වලට වැඩිපුර සහභාගී වීමේ හැකියාව ත් තියෙනවා."

කුඩා වයසේදී ම පෙනීම අහිමි වී තිබුණ ද ලෝපෙස් ශක්තිමත්ව සහ ස්වාධීනව සිටියා ය. ඇය ගමන් කළේ විවිධ ස්ථාන, රයිඩ්ශෙයා යෙදුම් සහ සමාජ මාධ්‍ය භාවිත කරමිනි.

"ඉවුම් පිහුම් කටයුතු කරද්දී මම යමක් සොයා ගන්න හරි ලිපේ මොනවා හරි දෙයක් තියාගන්න හරි මගේ දෑත් භාවිත කරනවා. මම බත් උයනවා, සී ෆුඩ් හදනවා, මම දන්නවා මැක්-ඇන්ඩ්-චීස්, ස්පැගටි හදන්නේ කොහොම ද කියලත්," ඇය පැවසුවා ය.

ලෝපෙස් ඇයට අවයව පරිත්‍යාග කළ පවුලට කෘතඥතාව පළ කළා ය. ලබා දුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඇය ඇගේ පවුලට, පෙම්වතාට සහ මිතුරන්ට ස්තූති කළා ය.

ඉදිරිය

ලෝපෙස් සුවය ලැබීම පිළිබඳ අද වෛද්‍ය බ්‍රයිනර් සතුටට පත්ව සිටියි. "ඇය විශිෂ්ටයි. අප බලාපොරොත්තු වූවාට වඩා ඇය හොඳින් ඉන්නවා. ඇය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් සුවය ලබා තිබෙනවා," ඔහු පැවසුවේය.

මාස ගණනක් රෝහල්ගතව සිටීමෙන් අනතුරුව ලෝපෙස් ජීවිතය ඉදිරියට ගෙන යාමේ උනන්දුවෙන් පසුවෙයි.

"මට දැන් දැනෙනවා මගේ පවුලේ අය සමග ඉන්න පුළුවන් කියලා. අපි යන්න හිතන් හිටිය තැන්වලට මට දැන් යන්න පුළුවන්," ඇය පැවසුවා ය.

ඇය පරිසරයේ අසිරිය විඳිමින් බොහෝ දුර ඇවිදිමින් ව්‍යායාම කරමින් පසුවෙයි. සිය කටයුතු යළි ආරම්භ කර අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෘත්තියක නිරතවීමට ඇය සැලසුම් කරයි.

Lopez and Christopher standing in-front of a candle-lit cake

ඡායාරූප මූලාශ්‍රය, Lopez family handout

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙසිකා ලෝපෙස් ඇගේ පෙම්වතා වන ක්‍රිස්ටෝෆර් සමග වෙරළ තීරයක මංගල දිවියට පිවිසීමට බලාපොරොත්තු වෙයි

"මට රසායනාගාරයක වැඩ කරන්න සහ අපරාධ විමර්ශකයෙකු වෙන්න ඕනේ," ඇය පැවසුවාය. "මෙහෙ ඉන්න විතරක් නෙමෙයි. මම සංචාරය කරන්නත් මගේ වෘත්තිය වෙනත් තැනකට ගෙන යාමටත් කැමතියි."

ලෝපෙස් සහ ඇගේ පෙම්වතා ක්‍රිස්ටෝෆර් දැන් ලබන වසරේ ඔවුන්ගේ විවාහය සඳහා සැලසුම් කරමින් සිටියි.

"අපිට ඕනේ සුළුවෙන් යමක් කරන්න, අපේ පවුල්වල අයට සහ මිතුරන් සඳහා," ඇය පැවසුවා ය. "අපි කැමැත්තෙන් ඉන්නේ ඒක කැලිෆෝනියාවේ සිදු කරන්න. මුහුදු වෙරළක විවාහ උත්සවය ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා."