මොළයේ පිළිකාවකින් 'නව ජීවයක් ලද' බීබීසීයේ ග්ලෙන් කැම්බල්
- Author, ග්ලෙන් කැම්බල්
- Role, දේශපාලන සංස්කාරක, බීබීසී ස්කොට්ලන්තය
එය ගිම්හාන ඍතුවේ නැගෙනහිර ලෝදියන් හරහා පාපැදිය පැද යාමට තරම් සුන්දර දවසක් විය. එපමණක් නොව, එය කිසිදු නපුරක් සිදුවිය හැකි දවසක් ද නොවිණි.
නමුත් ඒ, එය එසේ සිදුවන තුරු පමණි.
අනපේක්ෂිත ලෙස බිම ඇද වැටෙන විට මා සිටියේ උදෑසන ආහාරය සඳහා ගිෆෝර්ඩ් ගම්මානය දෙසට දිවෙන කඳු බෑවුම ඔස්සේ වේගයෙන් ගමන් කරමිනි.
මාර්ගය මතුපිට කැඩී ගොස් තිබුණු අතර එහි වූ රළු ස්වභාවය නිසා මා ගමන් ගත් පාපැදිය ලිස්සා ගියේ ය.
එහි වූයේ සියල්ල සුපැහැදිලිව දර්ශනය වුණු, තත්ත්පරයකටත් වඩා අඩු කාලයකි. සිදුවන්නට යන දේ නිශ්චිතව ම මා දුටු නමුත් එය වළක්වා ගැනීමට තරම් ශක්තියක් මට නොවීය. පාපැදිය එක් පසෙකට ගිය අතර මා සිටියේ ඊට හාත්පසින් ම වෙනස් තැනක ය.
මා බිම වැදී, විසි වී, තාර පාර හරහා ගොස් ඇද වැටිණි. මුනින්අතට පාරේ ඇද වැටී සිටි මා තුවාල ලබා තිබුණේ, සෙලවීමටවත් නොහැකි ලෙසිනි.
මා මුහුණ දී සිටි විශාලතම අවදානම, මාර්ගයේ ගමන් ගන්නා තවත් වාහනයක ගැටීම බව මම දැන සිටියෙමි. මම නොනවත්වා සිතුවෙමි: "ඊළඟ වාහනය කන්දෙන් පහළට ආවොත්, රියැදුරුට මාව හරියට පේන එකක් නෑ. එහෙම වුණොත් මට ජීවත් වෙන්න කිසි ම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ."
නමුත් මම වාසනාවන්ත වීමි. පැමිණි පළමු මෝටර් රථය ගමන් කළේ කන්දේ ඉහළ දිශාවට ය. එය පැදවූ හිටපු පොලිස් නිලධාරියා මා දුටු අතර, මෝටර් රථය නවතා ගිලන් රථයක් කැඳවීය.
මම ඔහුට ණය ගැති මෙන් ම උපකාර කිරීමට පැමිණි අනෙක් පිරිසට ස්තූතිවන්ත වෙමි.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජූනි මාසයේ සිදු වූ මෙම අනතුරින් ඉළ ඇට 10 බිඳී ගිය අතර සතියක කාලයක් මම එඩින්බරෝ රාජකීය රෝහලේ බරපතළ අනතුරු අංශයේ ප්‍රතිකාර ලැබීය. එහිදී මා වෙත ගුණාත්මකභාවය අතින් ඉතා ඉහළ සැලකිල්ලක් ලැබිණි.
නමුත් මෙම තුවාල සෞඛ්‍ය සම්බන්ධයෙන් මට ඇතිවිය හැකි අවම අවදානම බව මම නොදැන සිටියෙමි.
සති හයකට පසු, නැවත රැකියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් සෙනසුරාදා රාත්‍රියේ මා අවදි වූයේ මගේ වම් අත තදින් අල්ලාගෙන ය.
එය එතරම් වේදනාකාරී නොවූ නමුත් ඇතුළත පිළිස්සී යන්නාක් මෙන් දැනිණි. මට ඇවිදීමට හෝ පැහැදිලිව කතා කිරීමට නොහැකි විය.
මා මත්පැන් පොදක් හෝ පානය කර නොසිටිය ද එය හරියට මා මත්පැන් පානය කර සිටි අවස්ථාවක් බඳු විය. නොදැනුවත්ව ම මට මගේ දිව තදින් හැපුණු අතර මුඛයෙන් ලේ ගැලීමට පටන් ගත්තේ ය.
මාගේ බිරිඳ ක්ලෙයාර් මුල් වරට සිතුවේ මා ආඝාතයක ගොදුරක් වී ඇතැයි කියා ය. අනතුරුව එය අපස්මාරය හෝ වලිප්පුව බවට හඳුනා ගැනිණි.
පරිපූරක වෛද්‍ය සේවා නිලධාරීන් පැමිණෙන විට මම සැලකිය යුතු ලෙස සුවය ලබා සිටි අතර ඔවුන් මා පරීක්ෂා කිරීම සඳහා රෝහලට රැගෙන යන අවස්ථාවේ මා සිටියේ විහිළුතහළු කරමිනි.

දින කිහිපයකට පසු එම්ආර්අයි පරීක්ෂණයකින් අනාවරණය වූයේ, මාගේ මොළයේ දකුණු පස ගෙඩියක් ඇති බව ය. එය මාගේ සිරුරේ වම් අත පැත්තේ චලනය පාලනය කරන කොටස මත තෙරපෙමින් තිබිණි.
මොළයේ ඇති වන ගෙඩි සෑම විට ම පළතුරු කැබැලිවල ප්‍රමාණයක් ගන්නා බව පෙනේ. පීච් ගෙඩියක් තරම් විශාල ගෙඩියක් ඇති අයෙකු ගැන අසන්නට ලැබීම සාමාන්‍ය දෙයක් නොවේ.
මගේ මෝළයේ වූ ගෙඩිය මීට වඩා කුඩා විය. ඇතැම් විට විශාල මිදි ගෙඩියක ප්‍රමාණයට සමාන වූ නමුත් ඉන් ඇතිවන බලපෑමේ අඩුවක් නොවීය.
ඔබට ඔබේ ජීවිත කාලය කෙටි කරන බරපතළ තත්ත්වයක් ඇතැයි පැවසීම සැබවින් ම කම්පනයකි.
සති හයක් පමණ යන විට තත්ත්වය අඳුරු ස්වභාවයක් ගන්නා බවක් පෙනිණි. එනම්, බොහෝ දුරට මා ග්ලියෝබ්ලාස්ටෝමා (glioblastoma) නම් පිළිකා තත්ත්වයේ ගොදුරක් වීම ය. එය වේගයෙන් වර්ධනය වන පිළිකාමය ගෙඩියක් වන අතර හඳුනා ගැනීමෙන් පසු සාමාන්‍ය ආයු අපේක්ෂාව මාස 12 සිට 18 දක්වා සීමා වේ.
මට එය විශ්වාස කළ නොහැකි විය. මා වයස අවුරුදු 50ට පෙර බොහෝ විට මිය යනු ඇත. නමුත් ශල්‍යකර්මයක් හරහා ආරක්ෂිතව හැකිතාක් දුරට ගෙඩිය ඉවත් කිරීමට ඇති හැකියාව මත එය තීරණය වනු ඇත.

මගේ අවසන් කැමැත්ත යාවත්කාලීන කිරීමටත්, සැත්කම වැරදී ගියහොත් මගේ පවුලේ සාමාජිකයින්ට හැකිතාක් දේවල් පහසු කර ගැනීමටත් ජීවිත රක්ෂණය පිරික්සීමට මට කඩිනම් පියවර ගැනීමට සිදුවිය.
අසීරු ම කාර්යය වූයේ මගේ දරුවන් වන 20 හැවිරිදි කැමරන් සහ 17 හැවිරිදි කේටීට මට සිදුවෙමින් පවතින දේ පැවසීම ය. මනසින් කඩා නොවැටී එය සිදු කර ගැනීමට හැකිවීම සහනයක් විය.
මියැදීමට මා බිය නොවන බව සොයා ගැනීමට හැකිවීම පුදුමයක් විය. නමුත් මා තුළ වූ විශාලතම බිය වූයේ, මා ජීවිතයේ හීන මැව් අවස්ථා මගහැරී යාම (FOMO) ය.
බිරිඳ සමග එක්ව මහළු වියට පා තැබීම මගහැරී යනු ඇත. දරුවන් වැඩිහිටි වියට යන ගමන සම්පූර්ණ කරනු දැකීම මග හැරෙනු ඇත.
ඔවුන්ගේ උපාධි ප්‍රදානෝත්සව, මංගල උත්සව සහ ඔවුන් ලබන දරුවන් ද මග හැරෙනු ඇත.
මා ඔවුන්ට සහ මිතුරන්ට කීවේ මා ඔවුන්ට ආදරය කරන බව ත් යහපත් දෙයක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ත් ය.

සැත්කම සාර්ථක විය. එඩින්බරෝහි රාජකීය රෝහලේ මාගේ දක්ෂ ස්නායු ශල්‍ය වෛද්‍ය පෝල් බ්‍රෙනන් සහ ඔහුගේ කණ්ඩායම නිරෝගී පටකවලට හානි නොකර මොළයේ වූ ගෙඩිය සම්පූර්ණයෙන් ම පාහේ ඉවත් කිරීමට සමත් විය.
නිර්වින්දනයට ලක්ව පැය පහකට පසු නැවත සිහි පැමිණි විට මම ජීවත්ව සිටීම ගැන මෙන් ම, බලාපොරොත්තු නොවූ මට්ටමටත් වඩා හොඳින් සුවෙන් සිටීම ගැන සතුටින් පිනා ගියෙමි.
මා එදින රාත්‍රිය සමරුවේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ සිට චීස් සහ බිස්කට් අනුභව කරමිනි.
මම ඉක්මනින් සුවය ලැබුවෙමි. ඔවුන් බ්‍රහස්පතින්දා දින මා ශල්‍යකර්මයට භාජනය කළ අතර සෙනසුරාදා දින මා සිටියේ නිවසේ මාගේ සුරතල් සුනඛයා සමග ඇවිදිමිනි. එය මා නොසිතූ ආකාරයේ කාල රේඛාවකි.
ඔවුන් කපා ඉවත් කළේ කුමක් ද යන වග සැක හැර දැන ගැනීමට ඇති එක ම ක්‍රමය නම්, එය පරීක්ෂා කර බැලීම සඳහා යැවීම ය.
රෝග විනිශ්ච වාර්තාව ලැබීමට සති කිහිපයක් ගත විය. සත්‍ය වශයෙන් ම එය ඉක්මනින් ලැබුණු නමුත් එය ඉතා දිගු කාලයක් ලෙස දැනුනේ, රෝගය කුමක් දැයි සැක හැර දැන ගැනීමට සෑම දිනක ම බලා සිටීම විශාල බරක් වූ බැවිණි.

මා මාගේ වෛද්‍යවරයාගෙන් වාර්තාවේ සඳහන් වන්නේ කුමක් දැයි දැන ගැනීමට ගියේ විය හැකි නරක ම දේ සඳහා සූදානමින් නමුත් යහපත් ආරංචියක් ලබෙනු ඇතැයි යන බලාපොරොත්තුව ද විය.
නැවතත්, මම වාසනාවන්ත වීමි. මාගේ තත්ත්වයේ සිටින කෙනෙකුට වාසනාවන්ත විය හැකි තරමට මම වාසනාවන්ත වීමි.
මට සුව කළ නොහැකි මොළයේ පිළිකාවක් ඇති බව දැනගතිමි. නියත වශයෙන් ම එය මා මරණයට පත් කරනු ඇති නමුත් තවත් බොහෝ කලකට එය සිදු නොවන බැවින් මම ශුභවාදීව පසුවෙමි.
මාගේ මොළයේ වෙනත් බොහෝ පිළිකා වර්ගවලට සාපේක්ෂව ප්‍රතිකාරවලට වඩා හොඳින් ප්‍රතිචාර දැක්වීමට නැඹුරු වන ඔලිගොඩෙන්ඩ්රොග්ලියෝමා (oligodendroglioma) නම් දුර්ලභ ගෙඩියක් තිබේ.
සරත් ඍතුව පුරා මම විකිරණ චිකිත්සා (radiotherapy) 33කට භාජනය වීමි. නත්තලට පෙර මා රසායනික චිකිත්සාව (chemotherapy) ආරම්භ කළ අතර එම 6න් දෙවැන්න සඳහා ස්කොට්ලන්ත සම්ප්රදායක් වන රොබට් බර්න්ස්ගේ සැමරුම් (Burns supper) අතරතුර භාජනය වනු ඇත. [එය රොබට් බර්න්ස් කවියාට ගෞරව කිරීම සඳහා පවත්වනු ලබන සම්ප්‍රදායික ස්කොට්ලන්ත සැමරුම් උත්සවයකි.]
ප්‍රතිකාර ලද කාලය පුරාවට ම මා නිරෝගීව සහ ක්‍රියාශීලීව සිට ඇත. බාධාවකින් තොරව රාජකාරි කිරීමට, මගේ සුරතලා සමග ඇවිදීමට සහ කඳු කිහිපයක් පවා නැගීමට මට හැකි වී තිබේ.

බීබීසී ස්කොට්ලන්තය සේවයේ සගයන්ගේ සහ කළමනාකාරිත්වයේ සහයෝගය ලැබීමට මම වාසනාවන්ත වෙමි.
මා අතුරු ආබාධ අත්විඳ නැති බව මවා පෑමට මට අවශ්‍ය නැත.
විකිරණ චිකිත්සාව මට ඉතා වෙහෙසකර බව පෙනී ගියේ ය. රසායනික චිකිත්සාව නිසා මට ඔක්කාරය සහ තෙහෙට්ටු බවක් දැනිණි.
මේ සියල්ලක් ම මා වැළකී සිටීමට දැඩි ලෙස උනන්දු වන වලිප්පුව තවදුරටත් ඇතිවීමේ අවදානම වැඩි කරයි. මම මෙය ඖෂධ භාවිතයෙන් කළමනාකරණය කර ගන්නා අතර විවේක ගැනීමට වැඩි කාලයක් වෙන් කර ගන්නෙමි.
කාර්යබහුල වීමට කැමති කෙනෙකුට මෙය නිෂ්ඵල දෙයක් විය හැකි නමුත් ඉන් ලැබෙන ප්‍රතිලාභය අතිවිශාල ය.
මා ලබන ප්‍රතිකාරයේ මෙම අදියර සාර්ථක වන්නේ නම්, ඉදිරි වසර කිහිපය තුළ මෙම පිළිකා තත්ත්වය පාලනය කර ගැනීමට හැකි විය යුතු ය.
මොළයේ පිළිකාවකින් මිය යාම ගැන කරදර වෙනවා වෙනුවට, ඊට මා වෙත නව ජීවයක් ලබා දීමට ඇති හැකියාව මට පෙනේ.
කෙසේ හෝ එය දැනටමත් ආරම්භ වී ඇත.

මා දැන් වැඩි කාලයක් මිතුරන් සහ පවුලේ සාමාජිකයින් සමග ගත කරන අතර ඔවුන්ගෙන් ලැබෙන ආදරයට සහ සහයෝගය වෙත මම දැඩි ලෙස කෘතඥ වෙමි.
විශේෂයෙන් ම ස්කොට්ලන්තයේ ඇති මනරම් ප්‍රදේශවල ඇවිදීම වැනි සරල ක්‍රියා ඔස්සේ ලැබෙන විනෝදය අගය කිරීමට මම වැඩි කාලයක් ගත කරමි.
මා මාගේ කතාව බෙදා ගැනීමට තීරණය කළේ, එය අන් අයට දිරිගැන්වීමක් වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.
'පිළිකා සමාජය' යනු, කිසිවෙකුට සම්බන්ධ වීමට අවශ්‍ය නොවන තැනක් වන නමුත් එහි සාමාජිකත්වය ලැබීම ජීවිතයට මහත් සහයෝගයක් බව මට පෙනී ගියේ ය. මේ ගමනේදී මා සමග අත්දැකීම් බෙදාගත් අයගෙන් මම ශක්තිය ලබා ගත්තෙමි.
'Brain Tumour Research' යන පුණ්‍ය ආයතනයේ කටයුතු සඳහා මුදල් රැස් කිරීම සඳහා මම 'Brain Power' නමින් අරමුදල් රැස් කිරීමේ ප්‍රජාවක් ද ආරම්භ කර ඇත්තෙමි.
එය එක්සත් රාජධානියේ සිය පස්වන පර්යේෂණ මධ්‍යස්ථානය ස්කොට්ලන්තයේ පිහිටුවීමට කටයුතු කරමින් සිටින්නේ, එඩින්බරෝ සහ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලවල විද්‍යාඥයන් දැනටමත් කරමින් සිටින කාර්යය පුළුල් කිරීමට සහ සායනික අත්හදා බැලීම්වලදී යොදා ගනු ලබන නව ප්‍රතිකාර ක්‍රම දියුණු කිරීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා ය.
Cancer Research UK ආයතනයට අනුව මෙය වැදගත් වන්නේ, මොළයේ පිළිකාමය ගෙඩියක් ඇති බව හඳුනා ගන්නා 10 දෙනෙකුගෙන් වසරක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වන්නේ හතර දෙනෙකු පමණක් බැවිනි.
වයස අවුරුදු 40ට අඩු වැඩිහිටියන් සහ දරුවන් වැඩි වශයෙන් මරණයට පත් කරන පිළිකා තත්ත්වය වන්නේ, මොළයේ ඇති වන ගෙඩි බව 'Brain Tumor Research' සහ 'Brain Tumor Charity' යන ආයතන ද්විත්වය ම පවසයි.
මා සිටින්නේ ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සහ මා වැනි මොළයේ පිළිකා තත්ත්වයක් නිසා පීඩා විඳින රෝගීන්ට ඒ සඳහා සවියක් වීමට ය.
මා මුහුණ පෑ සිදුවීම ගැන යළි සිතා බැලුව ද, මොළයේ ඇති වූ ගෙඩිය මා පාපැදියෙන් ඇද වැටීමට හේතු වූවා ද නැද්ද යන්න මට නිශ්චිතව ම දැනගත නොහැක.
එය එසේ වූ බව මට නොහැඟෙන නමුත් මෙම අනතුර වෙනත් ආකාරයකට වඩා කලින් මාගේ මොළයේ වූ ගෙඩිය පිළිබඳව දැන ගැනීමට උපකාරී විය.
මෙම අනතුර මට අවසන් කිරීමට නොහැකි වූ පාපැදි සවාරියක් ඉතිරි කර ඇත.
රසායනික චිකිත්සාව අවසන් වූ පසු, නැවතත් පාපැදියේ නැග නැගෙනහිර ලෝදියන් කඳුකරය හරහා වැටී ඇති මාගේ ගමන් මාර්ගය සොයා යාමට මම බලා සිටිමි.
එය මාගේ පිළිකා ප්‍රතිකාර චක්‍රයේ අවසානය සැමරීමටත්, මාගේ අසාර්ථක වුණු පාපැදි සවාරිය සම්පූර්ණ කිරීමටත් අවසානයේ ගිෆෝර්ඩ්හිදී මා භුක්ති විඳීමට බලාපොරොත්තුවෙන් සිටි උදෑසන ආහාරය ගැනීමට සුදුසු ක්‍රමයක් විය හැකි ය.
ඇතැම් විට මා චීස් සහ විස්කෝතු අනුභව කරනු ඇත.













