අධිරුධිර පීඩනයට ඖෂධයක් නිපදවූ ශ්‍රී ලාංකික පර්යේෂණ කණ්ඩායමේ නියමුවා හෙළි කළ තොරතුරු

මහාචාර්ය අසිත ද සිල්වා

ඡායාරූප මූලාශ්‍රය, Getty/University of Kelaniya

    • Author, බීබීසී සිංහල

හදවත් රෝග, ආඝාතය සහ වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග රැසකට මග පාදන අධිරුධිර පීඩනය සාර්ථක ලෙස පාලනය කළ හැකි ඖෂධයක් නිපදවීමට කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සමත්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වා පවසයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වාගේ නායකත්වයෙන් වසර 10ක් පුරා කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඖෂධය නිපදවීමට හැකි වූ බව පර්යේෂකයෝ පවසති.

පර්යේෂකයින් පවසන්නේ, දැනට අධිරුධිර පීඩනය සඳහා භාවිතයට ගැනෙන ඖෂධ තුනක් යොදා ගනිමින් නිපදවා ඇති මෙම ඖෂධය වඩාත් ප්‍රතිඵලදායී බව ය.

නව ඖෂධය සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණයට දායකත්වය දුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වා බීබීසි සිංහල සේවය සමග ඒ පිළිබඳව අදහස් පළ කළේ ය.

ඖෂධවලින් පාලනය නොවූ අධිරුධිර පීඩනය

දකුණු ආසියානු සහ අප්‍රිකානු රටවල් අධිරුධිර පීඩනය පාලනය කර ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටින බවත්, ඒ හේතුවෙන් එම කලාපයේ රටවල අඩු වයස් මරණ ඉහළ යාමට ද එය හේතුවක් වී ඇති බවත් මහාචාර්යවරයා පවසයි.

"ලෝකයේ අධික රුධිර පීඩනය තියෙන අයගෙන් සියයට පනහක්වත් ඒක තමාට තියෙනවා කියලා දන්නේ නැහැ. ඊට වඩා ලොකු ප්‍රශ්නය තමයි මධ්‍යම සහ අඩු ආදායම්ලාභී රටවල්වල සමස්තයක් ලෙස අධි රුධිර පීඩනයට ඖෂධ ලබා ගන්නා අයගෙන් සියයට 10ක් 15ක් වගේ තමයි අවශ්‍ය පාලනය ලබා ගන්නේ. පාලනය නොවිච්ච අධික රුධිර පීඩනය ලෝකයේ තියෙන විශාල ප්‍රශ්නයක්."

ඊට විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිව කරන ලද පර්යේෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව ඖෂධය නිපදවීමට හැකි වී තිබේ.

මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමෙන් ඇති වූ සංකල්පය

වෛද්‍යවරුන් ඖෂධ නිකුත් කරනු ලබන්නේ ජාත්‍යන්තර මර්ගෝපදේශ සහ නිර්ණායක ඔස්සේ බවත් එය යාවත්කාලීන කළ යුතු බවට ලෝකයේ ඇති වූ සංකල්පය මත නව ඖෂධය නිපදවීමට පර්යේෂණ සඳහා මග පෑදුණු බවත් මහාචාර්ය අසිත ද සිල්වා පැවසීය.

"දැනට තියෙන නිර්ණායකවලට පටහැනිව, දැනට රුධිර පීඩනය පාලනය කරන්න භාවිත වන ඖෂධ තුනක්, තුන් විදියකින් වැඩ කරන, මාත්‍රාව වෙනස් කරමින් භාගයක් හෝ කාලක් හෝ සම්පූර්ණ මාත්‍රාව එකතු කරගෙන මේ ඖෂධ තුන ම එකක් හැටියට පාවිච්චි කළොත් මීට වඩා අධික රුධිර පීඩනය පාලනය කර ගන්න පුළුවන් වෙයි ද කියන එක තමයි ඇති වුණ සංකල්පය. වෛද්‍ය විද්‍යාවේ එහෙම සංකල්පයක් ආපුවා ම පිළිගත්ත ක්‍රමවේදයක් තියෙනවා ඒක සොයා බලන්නේ කොහොම ද කියලා, ලෝකයට ඔප්පු කරන්න ඕනෙ, ඒකට සාක්ෂි හොයා ගන්න ඕනේ. ඉතින් අවුරුදු 10ක් විතර තිස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ, රාගම වෛද්‍ය පීඨයේ සායනික අධ්‍යයන ඒකකය, ජෝර්ජ් ඉන්ස්ටියුට් ඔෆ් ගෝල්බල් හෙල්ත් කියන ආයතනය එක්ක එකතු වෙලා ඒ ආයතනය සම්බන්ධ ලෝකයේ රටවල් 4ක ආචාර්ය, මහාචාර්යවරු එක්ක එකතු වෙලා තමයි මේ සංකල්පය අපි හැදුවේ. ඒ වගේ ම රටවල් ගණනාවක ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් සහ පිළිගත් විශ්වවිද්‍යාල එකතු වෙලා මේ සංකල්පය සොයා බැලිය යුතු යි කියලා පිළිගත්තා. ඒකට තමයි අවුරුදු 10ක් තිස්සේ අපි මේ සායනික පර්යේෂණ කළේ."

අලුත් ඖෂධය කුමක් ද? සායනික පර්යේෂණ සිදු කළේ කොහේ ද?

දැනට රුධිර පීඩනය පාලනය කිරීමට භාවිත කරනු ලබන Telmisartan, Amlodipine, Indapamide යන ඖෂධ තුන යොදා ගනිමින් කරන ලද දීර්ඝ පර්යේෂණයකින් අනතුරුව Widaplik නම් මෙම නව ඖෂධය නිපදවා ඇත.

මෙහි සායනික අධ්‍යයන සඳහා කැලණිය විශ්වවිද්‍යාලය වැඩි දායකත්වයක් ලබා දී ඇති අතර, එමෙන් ම මෙරට හෘද රෝග, ස්නායු රෝග සහ අනෙකුත් රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් 20කට අධික සංඛ්‍යාවක් සායනික පර්යේෂණ සඳහා සිය සහය ලබා දී තිබේ.

කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර සහ දකුණ කොළඹ ශික්ෂණ රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, යාපනය ශික්ෂණ රෝහල, ගාල්ල ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහල වැනි මෙරට රෝහල් ගණනාවක සායනික පර්යේෂණ සඳහා යොදාගෙන තිබේ.

එමෙන් ම ඇමෙරිකාව, එංගලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ඉන්දියාව සහ බ්‍රසීලය වැනි විදෙස් රටවල් ගණනාවක ද මෙහි සායනික අධ්‍යයන සිදුකළ බව මහාචාර්යවරයා පැවසීය.

පර්යේෂණයෙන් හෙළි වූයේ මොනවා ද?

දැනට පවතින නිර්ණායකවලට වඩා නව ක්‍රමය ඔස්සේ ප්‍රතිකාර කිරීමෙන් විශාල ලෙස රුධිර පීඩනය අඩු වීමක් සිදු වන බව පර්යේෂණය මගින් හෙළි වී ඇතැයි මහාචාර්යවරයා සඳහන් කළේය.

"රෝගීන් දහස් ගණනක් යොදාගෙන අපේ රටෙත් විදේශ රටවලත් කරපු සායනික අධ්‍යයන තුන හතරක් කරලා ලබා ගත්ත දත්ත අපි ලෝකයේ උසස් ම, පිළිගත් වෛද්‍ය සඟරාවල පළ කළා. ඒ වගේ ම ඒ දත්ත අපි ලබා දුන්නා ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නියාමන අධිකාරියට. ඒගොල්ලෝ ඒ දත්ත අධ්‍යනය කරලා, ප්‍රශ්න අහලා ඇමෙරිකා එක්සත් ජනපදයේ නියාමන අධිකාරිය නිර්දේශයක් ලබා දුන්නා ඒ ඖෂධය ලියාපදිංචි කරන්න ඕනේ කියලා සහ මේක අධික රුධිර පීඩනයට මුල් අවධියේ ඉඳන් ම පාවිච්චි කළත් කමක් නැහැ කියන එක. සැප්තැම්බර් මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා මේ ඖෂධය ඇතුළු කරනවා කියලා ඒ අයගේ අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුවට," මහාචාර්යවරයා පැවසීය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වා පෙන්වා දෙන්නේ, මෙම ඖෂධය මගින් රෝගීන් 80 - 88%ක ප්‍රමාණයකට අධිරුධිර පීඩනය පාලනය කළ හැකි බව පර්යේෂණ මගින් සනාථ වූ බව ය.

ආඝාතය පාලනයට සුදුසු බවට හෙළි වූ කරුණු

එමෙන් ම මෙම ඖෂධය සම්බන්ධව කරන ලද තවත් සායනික අධ්‍යයනයකින් මොළයේ ලේ ගැලීමෙන් ඇති වන ආඝාතය පාලනය කළ හැකි බව ද අනාවරණය වූ බව ද මහාචාර්යවරයා පැවසීය.

"මේ ඖෂධය භාවිත කිරීමෙන් අධික රුධිර පීඩනය හොඳින් පාලනය කර ගන්න පුළුවන්. ඒ පාලනය කිරීමෙන් දැන් තියෙන ක්‍රමවේදයට බෙහෙත් ලබා ගන්නවාට වඩා එම රෝගීන්ට නැවත වරක් මොළයේ ලේ ගැලීමේන් ඇති වන ආඝාත තත්ත්වය සියයට 60කින් අඩු කර ගන්න පුළුවන්."

එම පර්යේෂණ සඳහා මොළයේ ලේ ගැලීමෙන් ආඝාතයට එක් වරක් මුහුණ දුන් රෝගීන් යොදාගෙන ඇති අතර ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැති බව කී මහාචාර්යවරයා එම පර්යේෂණ වාර්තා ලෝක ආඝාත සමුළුව වෙත පිළිගැන්වූ බව ද සඳහන් කළේ ය.

2026 වසරේ සිට මෙම ඖෂධය ඇමෙරිකාවේ භාවිතයට ගැනීමට නියමිත බව කී මහාචාර්ය අසිත ද සිල්වා අඩු මිලකට මධ්‍යම සහ අඩු ආදායම් ලාභී රටවලට මෙම ඖෂධය ලබා දීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් කළේ ය.