ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධූරයට පත්වූ පළමු කාන්තාව - සමුදිකා ජයරත්න යනු කවුද?

සමුදිකා ජයරත්න

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ශ්‍රී ලංකාවේ 42 වන විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්න පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය හිමිව තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වන පරිදි 1799 වසරේ සිට මේ දක්වා කාලය තුළ විගණකාධිපති ධූරයට පත්වූ පළමු කාන්තාව ඇය වේ.

සමුදිකා ජයරත්න එම තනතුරට පත් කිරීමට පෙර, මාස 9කට අධික කාලයක් පුරා විගණකාධිපති ධූරය පුරප්පාඩු වී පැවතිණි.

සමුදිකා ජයරත්න යනු කවුද?

සමුදිකා ජයරත්න යනු ශ්‍රී ලංකා ජාතික විගණන කාර්යාලයේ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සේවය කරන ජ්‍යෙෂ්ඨ විගණන වෘත්තිකයෙකි.

ඇය දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ලෙස සේවය කරයි.

මෙම භූමිකාව තුළ, ඇය මධ්‍යම රජයේ අමාත්‍යාංශ, රාජ්‍ය ව්‍යවසායන්, බැංකු හා මූල්‍ය අංශය, රාජ්‍ය ආදායම් පරිපාලනය, භාණ්ඩාගාර මෙහෙයුම්, රක්ෂණ ආයතන සහ දේශීය රාජ්‍ය ණය කළමනාකරණය යන අංශ ආවරණය වන විගණන සඳහා උපායමාර්ගික නායකත්වය සහ අධීක්ෂණය සපයයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවක වන ඇය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් MBA උපාධිය සහ ගණකාධිකරණය පිළිබඳ B.Com (විශේෂ) උපාධිය ලබා ඇත.

ඇයගේ විශේෂඥතාව මූල්‍ය, අනුකූලතාව, කාර්ය සාධනය, වෝහාරික විගණනය සහ තොරතුරු තාක්ෂණ විගණනය මෙන් ම ජාතික වැදගත්කමක් ඇති විශේෂ විමර්ශන ආවරණය කරයි. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ ඉහළ පෙළේ විගණන වාර්තා කිහිපයක ම ඇය අධීක්ෂණ සහ දායකත්ව කාර්ය භාරයක් ඉටු කර ඇති අතර, පාර්ලිමේන්තු කමිටු සහ අනෙකුත් අධීක්ෂණ ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විගණකාධිපතිවරයාට සහය වී ඇත.

ඇය, කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.

මාස 9ක් පැවති පුරප්පාඩුව

විගණකාධිපති තනතුර පුරප්පාඩු වූයේ, 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා වූ චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමත් සමග ය.

ඔහු 2019 වසරේදී ධූරයට පත් කෙරුණු අතර, වසර 6ක සේවා කාලයකින් පසු සේවයෙන් විශ්‍රාම ගියේ ය.

පුරප්පාඩු වී තිබූ විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ නම නිර්දේශ කර තිබිණි.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

විගණකාධිපතිගේ වගකීම් මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විගණකාධිපති විසින් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය අංශයේ ආයතනවල කාර්යසාධනය සහ ගණන් දීමේ වගකීම පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සපයනු ලබන අතර පාර්ලිමේන්තුවට වාර්තා කරයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ, විධායකයේ සහ එහි සේවාදායකයන්ගේ අවශ්‍යතාවන් හා අපේක්ෂාවන් ඉටුකිරීමට මෙන් ම රාජ්‍ය අංශයේ කාර්යසාධනය සහ ගණන් දීමේ වගකීම සඳහා වටිනාකමක් එකතු කිරීමට අරමුණු කරයි.

එබැවින් මෙම ස්වාධීන සමාලෝචනය සියලු ව්‍යවස්ථාපිත සහ වෙනත් නෛතික අවශ්‍යතාවන්ට උචිතබව, එකඟබව හා අනුකූලබව සහ මෙහෙයුම්වල ආර්ථිකභාවය, කාර්යක්ෂමභාවය සහ එලදායීත්වය සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබේ.

විගණකාධිපතිගේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති අතර, එහි 153 ව්‍යවස්ථාවෙහි දැක්වෙන පරිදි, ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය සහිතව ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා පත් කරනු ලබන අතර යථා පැවැත්මෙන් සිටිනා තාක් ස්වකීය ධූරය දරන්නේ ය.

රෝගාතුර විම, ශාරීරික හෝ මානසික දුර්වලතාව හෝ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමකින් අනතුරුව විගණකාධිපතිවරයා ධූරයෙන් ඉවත් කළ හැකි ය.

විගණකාධිපතිගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුතු බවත්, එසේ නිශ්චය කරන ලද වැටුප ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන බවත්, ඔහුගේ ධූර කාලය තුළ එකී වැටුප අඩු නොකළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 153 ව්‍යවස්ථාවෙහි තවදුරටත් දක්වා ඇත.

විගණකාධිපති කිසිදු අමාත්‍යාංශයක හෝ රාජ්‍ය නිලධාරියෙකුගේ හෝ අධීක්ෂණය යටතට නොගැනේ.