‘ජනපති අනුර තනතුරු දෙන්නේ හිතවතුන්ට ද?’

Anura - Nandika

ඡායාරූප මූලාශ්‍රය, Government Information Department

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මෙතෙක් කරන ලද පත්කිරීම් සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් වෙමින් පවතී.

ඇතැමෙකු චෝදනා කරන්නේ, නව ජනාධිපතිවරයා ඔහුගේ හිතවතුන් රජයේ තනතුරුවලට පත් කරන බව ය.

මීට පෙර සිටි පාලකයින්ගේ පත් කිරීම් විවේචනයට ලක් කරමින් බලයට පැමිණි ජනාධිපතිවරයෙකුගෙන් එවැන්නක් අපේක්ෂා කළ නොහැකි බව ඔවුන්ගේ අදහස යි.

'ජනතාව ඡන්දය දුන්නේ පැවති ක්‍රමය වෙනස් කරන්න' - විජිත හේරත්

ජනතාව නව ජනාධිපති අනුර කුමාර දිසානායකට "ඡන්දය දුන්නේ පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට," බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ, පසුගිය දා ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගොස් නිලධාරීන් හමු වූ අවස්ථාවේදී ය.

"රටේ ජනතාව නව ජනාධිපතිවරයාට ඡන්දය දුන්නේ, මේ රටේ මෙතෙක් පැවතිච්ච දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියන්නේ, දේශපාලනඥයින්ගේ විතරක් නෙවෙයි. නිලධාරීන්ගේ පැත්තෙනුත්, රටේ ආයතනවලත් ඒක වෙනස් විය යුතු යි."

'තනතුරු දෙන්නේ හිතවතුන්ට' - මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර

අමාත්‍ය විජිත හේරත් එසේ පැවසුව ද,වත්මන් ජනපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු කරන ලද පත් කිරීම් විමසා බැලීමේදී ඔහු විශ්වාසවන්තභාවය පදනම් කරගෙන මිතුරන්ට තනතුරු දී ඇති බවක් නිරීක්ෂණය වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර පවසයි.

ඇය පෙන්වා දුන්නේ, ජනාධිපති ලේකම්වරයා පත්කිරීම පවා ප්‍රශ්නසහගත බව ය.

“දැන් ජනාධිපති ලේකම් පත් කරපු එකෙත් අවුලක් තියෙනවා. කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඉස්සරත් ඔයිට වඩා වැරදි සිද්ධ වුණා කියලා. ඒත් කලින් හිටිය කට්ටිය කරපු වැරදි නොකරන්න නේ මේගොල්ලෝ ආවේ,” මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර පැවසීය.

ඇය පෙන්වා දුන්නේ, විශ්වාසවන්ත බව කියමින් මිතුරන් තනතුරුවලට පත්කිරීමෙන් “කාර්ය ශූර රාජ්‍ය සේවයක් පවත්වාගෙන යා නොහැකි,” බව ය.

“විශ්වාසවන්ත අය දානවා කියල කියනවා. විශ්වාසවන්ත අය කියන්නේ මිත්‍ර සංග්‍රහ, ඥාති සංග්‍රහ නම් එතකොට රාජ්‍ය සේවයක් මොකට ද? රාජ්‍ය සේවයේ ඉතා ම කෘතහස්ත මිනිස්සු ඉන්නවා නේ. සමහර අය දේශපාලන පළිගැනීම්වලට ලක් වෙලා තමන්ගේ හැකියාවන් පෙන්නගන්න බැරුව ඉන්නවා. ඒ වගේ අයව අරගන්නෙ නැතුව, ඒගොල්ලන්ට යම්කිසි අවස්ථාවක් දෙන්නෙ නැතුව කාර්යශූර රාජ්‍ය සේවයක් කොහොම ද පත්වාගෙන යන්නේ?”

“මේ පත් කරපු සමහර අය ශ්‍රේණි අනුව පහළ මට්ටම්වල ඉන්න අය. ඒක සාර්ථක වෙයි ද?” මහාචාර්යවරිය ප්‍රශ්න කරයි.

චෝදනා

ජනාධිපති ලේකම් ධූරයට පත් කෙරුණු ආචාර්ය නන්දික සනත් කුමානායක ශ්‍රේණි මට්ටමින් පහළ අයෙකු බවත්, ඔහුට වඩා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සිටියදී එම පත්කිරීම සාධාරණ නොවන බවත් මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර පවසයි.

මේ අතර, ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී අනුර කුමාර දිසානායකගේ මිත්‍රයෙකු බවට ද ඇතැම් මත පළවී තිබේ.

කෙසේ වෙතත්, එහි සත්‍යාසත්‍යතාව තහවුරු කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි වූයේ නැත.

Najith India

ඡායාරූප මූලාශ්‍රය, Government Information Department

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික

මේ අතර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට වෛද්‍යවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළවෙමින් තිබේ.

එම ධූරයට පත් කරන ලද නජිත් ඉන්දික වෛද්‍යවරයෙකු බවත්, මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහුට අත්දැකීමක් නොමැති බවත් ඇතැමෙකුගේ අදහස යි.

රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙකු සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, වෛද්‍ය නජිත් ඉන්දික ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ දේශපාලන ක්‍රියාකාරියෙකු ද වූ බව ය.

'හැම ආණ්ඩුවක් ම කරපු විදිහට යි අපිත් කරන්නේ' - ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර නගන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දිකගෙන් විමසීමක් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, ඕනෑ ම ආණ්ඩුවක් තනතුරු සඳහා පත්කිරීමේදී තමන්ට විශ්වාසවන්ත සුදුසුකම් සහිත පුද්ගලයින් තෝරා ගන්නා බව ය.

“කිසි ම කෙනෙක් ජනාධිපති ලේකම් විදිහට පූල් එකේ ඉන්න ජ්‍යෙෂ්ඨ ම කෙනා දැම්මෙ නෑනෙ. ජනාධිපති ලේකම් හරි, අග්‍රාමාත්‍ය ලේකම් හරි, අමාත්‍යංශ ලේකම්වරු හරි ගත්තොත් ජනාධිපතිවරයාට අලුතින් පත්වුණා ම තමන්ගේ කාර්ය භාරය වඩාත් ම හොඳට කර ගන්න පුළුවන් කෙනාට, සුදුසුකම් තියෙන දේශපාලකයින්ට විශ්වාස කෙනෙක් තමයි, හැම දා ම ජනාධිපති ලේකම් බවට පත් වෙන්නේ. සුදුසුකම් නැත්නම් ප්‍රශ්නයක්. මොක ද අපි දන්නෙ නැති කෙනෙක් දාගෙන වැඩ කරන්න බැහැ නේ,” ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, සුදුසුකම් සහිත පුද්ගලයින් තනතුරුවලට පත් කළ බව ය.

“ජනාධිපති ලේකම් ගැන දේශපාලන විශ්වාසයක් තියෙන්න ඕනෙ, කරන වැඩේ කරන්න පුළුවන් කියලා. ඉතින්, සුදුසුකම් සපුරපු අයගෙන් ඒ පදනම මත තමයි මේ පාරත් පත් කරලා තියෙන්නේ. එහෙම පත් කළොත් විතරයි, වෙනසක් කරන්න පුළුවන්.”

තනතුරුවලට පත්කිරීමේදී කිසිදු නීති රාමුවක් උල්ලංඝණය කර නැතැයි ද වෛද්‍ය නජිත් ඉන්දික පැවසීය.

“කිසි ම නීති රාමුවක් උල්ලංඝණය කරල නෑ. කිසි ම ක්‍රියාපටිපාටියක්, කිසි ම ධූරාවලියක් උල්ලංඝණය කරල නෑ. මුළුමනින් ම ක්‍රමවේදයට අනුකූලව පත් කිරීම් කරල තියෙන්නේ. ලේකම්වරු පත් කර ගන්නකොට හැම ආණ්ඩුවක් ම කළා වගේ ම සුදුසුකම් තියෙන අයගෙන් තමන්ට විශ්වාසවන්ත අයට ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා.”

'පෙර ආණ්ඩු කළ දේ කරන්න නෙවෙයි මේගොල්ලො ආවේ'

"රජයේ අලුත් පත්වීම් ලබා දීමේදී හිතවතුන්ට ප්‍රමුඛත්වය දීම නතර කරන බව කී වත්මන් රජය ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින" බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, "නව පත්කිරීම් රැසක් සම්බන්ධයෙන් ගැටලු පවතින" බව ය.

"පත්කිරීම් ගොඩක් හිතවතුන්ට දීලා තියෙන බවක් පේනවා. ඊට අමතරව අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමේදී ළබැඳියාවන් අතර ගැටුමක් දක්නට ලැබෙනවා. ඊට අමතරව, විවිධ චෝදනා එල්ල වූවන් තනතුරුවලට පත් කරලා තියෙනවා. ජනතාව ඡන්දය දුන්නේ, කලින් හිටපු ජනාධිපතිවරු කරපු වැරදි කරන්න නෙවෙයි. කුසලතා මත පදනම්ව තනතුරු පිරිනැමීමට නව නායකයා කටයුතු කළ යුතු යි."

'තනතුරු දෙන්න කලින් සොයා බැලිය යුතු යි' - ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

මේ සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, නව පත්වීම් ලබා දීමට පෙර මීට වඩා සැලකිලිමත් විය යුතු බව ය.

"දෙතුන් දෙනෙකුට චෝදනා තියෙනවා. නමුත්, ගොඩක් ප්‍රතිසංස්කරණ කරන්න යන අලුත් ආණ්ඩුවකට වැඩ කරන්න වෙන්නේ ඒගොල්ලන්ට විශ්වාස කරන්න පුළුවන් අයත් එක්ක. හැබැයි පත් කරන්න ඉස්සෙල්ලා හරියට විභාග කරල බලන්න ඕනේ, ළබැඳියාවන් අතර ගැටුමක් තියෙනවා ද? වගේ කරුණු ගැන. ඒවා හොයලා බලලා තමයි පත් කිරීම් කරන්න ඕනේ."

කෙසේ වෙතත්, මේ වන විට එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී නිවැරදිව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

"මං හිතන්නේ ආණ්ඩුව දැන් මේ විවේචන දැකලා ඉදිරියට යනකොට පරිස්සම් වේවි."

නව ජනපතිගේ නව පත්කිරීම්

මේ වන විට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව පත්කිරීම් රැසක් සිදු කර තිබේ.

ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍යංශ රැසක ලේකම්වරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, වැඩබලන පොලිස්පති, රජයට අයත් මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් ඒ අතර වෙති.

එම පත්කිරීම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.