ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිගේ ඉල්ලා අස්වීම ගැන ආණ්ඩුව කියන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Facebook | Airport & Aviation Services Sri Lanka Private Ltd
- Author, බීබීසී සිංහල
ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පෞද්ගලික) සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) හර්ෂ අබේවික්‍රම එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ඔහුගේ ඉවත් වීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ.
දේශපාලන බලපෑම් මත ඔහුව එම ධුරයෙන් ඉවත් වූ බවට සමාජ මාධ්‍ය තුළ අදහස් පළ වන අතර ඊට හේතු වූ බවට සඳහන් ලිපි දෙකක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
විශේෂ අවසරයක් ඉල්ලූ ලිපියට ඇමති දැක්වූ ප්‍රතිචාරය
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලිපි ශීර්ෂ සහිතව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක වෙත පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ, තමන් වෙත ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට විශේෂ අවසර පතක් ලබා දෙන ලෙස ය.
මීට පෙර සිට ම එවන් අවසර පතක් භාවිතා කළ බවත් එම අවසර පත්‍රය කල් ඉකුත් වීම හේතුවෙන් එය යාවත්කාලීන කර නව අවසර පත්‍රයක් ලබා දෙන ලද 2025 දෙසැම්බර් 29 වැනි දිනැති ලිපියෙන් එහිමියන් ඉල්ලා තිබේ.
"පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ජාත්‍යන්තර සාසනික කටයුතු පිළිබඳව සලකා බලා ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළුවීමේ විශේෂ අවසර පත්‍රය ඉදිරි වර්ෂයට ( 2025 - 12 - 31 සිට) ලබා දීමට කටයුතු කරන්න," යැයි බානගල උපතිස්ස හිමිගේ ලිපියට සිය අත්සන සහ මුද්‍රා සහිතව විෂය භාර අමාත්‍යවරයා, ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගමේ සභාපතිවරයා වෙත තබා ඇති සටහනක් ද ලිපියේ දැක්වේ.
ඉල්ලීම ඉටු කළ නොහැකි බව සභාපති දන්වයි
කෙසේ වෙතත්, 2026 ජනවාරි 09 වන දා ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) හර්ෂ අබේවික්‍රම සිය අත්සනින් යුතුව බානගල උපතිස්ස හිමියන් වෙත යොමු කර ඇති ලිපියකින් එහිමියන්ගේ ඉල්ලීම ඉටු කළ නොහැකි බව දන්වා ඇති අතර එහි පිටපතක් වරයා හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක වෙත ද යොමු කළ බව එහි දැක්වේ.
එමෙන් ම පෙර පැවති ආයතනයේ අභිප්‍රායයන්ට අනුකූල නොවන ක්‍රියා පිළිවෙත් මේ වන විට නිවැරදි කරමින් සිටින බව ද එම ලිපියෙන් එහිමියන් වෙත දන්වා තිබේ.
'එලවන්න තරම් හේතුවක් හෝ අස්වෙන්න තරම් හේතුවක් නෙමෙයි'
සමාජ මාධ්‍ය ඔස්සේ එලෙස සංසරණය වන ලිපි දෙක ම සත්‍ය ඒවා බව බීබීසී සිංහල සේවය මෙම සිදුවීම සම්බන්ධව කළ විමසීමකදී වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු තහවුරු කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එමෙන් ම ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගමේ සභාපතිවරයාට එම ධූරයෙන් ඉල්ලා අස්වීමට මෙම ලිපි හේතු වූවා ද සහ දේශපාලන බලපෑම් එල්ල වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමක් කළේ ය.
"චෝදනා අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ ලියුම් දෙක එයාර්පෝර්ට් එකෙන් කවුරු හරි එළියට දාපු එකක්. අපේ සභාපතිතුමන්ලා එක්ක අපි අවුරුද්දක් තිස්සේ දිගට ම වැඩ කරගෙන යනවා නේ. අපි එකඟ වෙන තැන් තියෙනවා, එකඟ නොවෙන තැනුත් තියෙනවා. හැම තිස්සේ ම සම්පූර්ණ එකඟතාව එන්නේ නැහැ නේ. ඒක ඇවිල්ලා එකඟ නොවිච්ච තැනක්. ඒක සභාපති කෙනෙක් එලවන්න තරම් හේතුවක් හෝ සභාපති අස්වෙන්න තරම් හේතුවක් නෙමෙයි," ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ධූරයෙන් ඉවත්වූ සභාපතිවරයා වැටුප් නොලබා ස්වේච්ඡාවෙන් සේවය කළ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, ඔහු ඉල්ලා අස්වීමට විශේෂ හේතුවක් දන්වා නොමැති බව ද කියා සිටියේ ය.
"අපි ආණ්ඩුව ගත්ත ගමන් ඒ වෙලාවට අපිට උදව් කරන්න ගොඩක් අය ආවා. මේක ස්වේච්ඡා සේවයක් ඒගොල්ලෝ පඩියක් ගත්තෙත් නැහැ, ඒගොල්ලෝ ඒක හැම දා ම කරන්න එකඟ වුණෙත් නැහැ අපිත් එක්ක. අපිත් ස්ථාවර වෙන ගමන්, අපිත් කට්ටිය එකතු කර ගන්න ගමනක් යන ක්‍රමයක් යන්නේ."
ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වීම සම්බන්ධව තවදුරටත් කරුණු දැන ගැනීමට එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) හර්ෂ අබේවික්‍රම දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සහය අසාර්ථක විය.













