තනතුරෙන් ඉල්ලා අස්වූ ජාතික කාන්තා කොමිසමේ හිටපු සභාපතිනිය බීබීසීයට පැවසුවේ කුමක් ද?

Dr. Ramani Jayasundara

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | Supporting Effective Dispute Resolution

    • Author, බීබීසී සිංහල

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්මත වී වසරකට වැඩි කාලයක් ගත වී‍මෙන් පසුව එම පනතට අනුව පිහිටුවනු ලැබූ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය පත්වීම් ලබා සිව් මාසයකට පසුව සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත 2024 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන අතර, ඉන් වසරකටත් වැඩි කාලයක් ගතවූ පසුව 2025 සැප්තැම්බර් 0‍9 වන දා සිට කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභා සමාජිකයෝ පත් කරනු ලැබූහ.

වසරකට වැඩි කාලයක් පසුවුව ද රාජකාරී ආරම්භ කිරීමට නොහැකි වූ කොමිසම

2025 වසරේ ඔක්තෝබර් මාසයේදී කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිහිටුවීම පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී, එම වසර අවසන් වන විට කාර්ය මණ්ඩලය සහ නිලධාරීන් බඳවා ගැනීමෙන් පසුව කොමිසමේ වැඩ කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන කියා සිටියේ ය.

එහෙත් මේ දක්වා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය බඳවාගෙන එහි වැඩ කටයුතු ආරම්භ කර නැත.

කාන්තාවන් පිළිබඳව මෙරට කොමිෂන් සභාවක් ආරම්භ වන්නේ ප්‍රථම වතාවට වන අතර, ඉතිහාසයේ පළමු වතාවට වැඩි ම කාන්තාවන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පසුබිමක දෙවසරකට ආසන්න කාලයක් ගත වන තුරු කොමිසම පිහිටුවා එහි වැඩ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබීම ද විශේෂත්වයකි.

ඉල්ලා අස්වීම ගැන සභාපතිනිය කියන්නේ කුමක් ද?

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ පළමු සභාපතිනිය ඉල්ලා අස්වීම පිළිබඳව විවිධ මත පළ වන අවස්ථාවක, ඒ සම්බන්ධව බීබීසී සිංහල විසින් ඇයගෙන් විමසීමක් සිදු කරන ලදී.

"මම ඊයේ අතිගරු ජනාධිපතිතුමාට මගේ ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළා," යැයි ආචාර්ය රමණි දේවිකා ජයසුන්දර ජනවාරි 28 වන දා බීබීසි සිංහල සේවයට ප්‍රකාශ කළා ය.

තමන් ධූරයෙන් ඉවත් වීමට හේතු වූ කරුණු එම ලිපියේ සඳහන් කර ඇති බව කී ආචාර්යවරිය එම කරුණු මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට මැලිකමක් දැක්වූවා ය.

තම ඉල්ලා අස්වීමේ ලිපියට මෙතෙක් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරයක් ලැබී නැති බව ද ඇය කියා සිටියා ය.

'එහෙම තීරණයක් මුකුත් නැහැ'

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිනොගතහොත් හෝ තවදුරටත් ධූරයේ කටයුතු කරන ලෙස ඉල්ලීමක් ලැබුණහොත් ඒ පිළිබඳ සලකා බලන්නේ දැයි බීබීසී සිංහල සේවය ආචාර්යවරියගෙන් විමසීය.

"ඒක මම ඒ අවස්ථාවේදී බලන්න ඕන. එහෙම තීරණයක් මුකුත් නැහැ," යැයි කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසමේ පළමු සභාපතිවරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළා ය.

මෙතෙක් කාලයක් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසමේ වැඩ කටයුතු ආරම්භ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ආචාර්ය රමණි දේවිකා ජයසුන්දර සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද ඇයගෙන් විමසීමක් කළ අතර, ඒ පිළිබඳව දැනට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ආචාර්යවරිය කියා සිටියා ය.

තවත් මාස තුනක් ගත වන බව නියෝජ්‍ය ඇමති කියයි

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පවතින ගැටලු සම්බන්ධව දින කිහිපයකට ඉහතදී කොමිසමේ සාමාජිකයන් සමග සාකච්ඡා කළ බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශනගෙන් බීබීසි සිංහල සේවය කළ විමසීමකදී කියා සිටියේ ය.

"දවස් දෙක තුනකට ඉස්සෙල්ලත් අපි සාකච්ඡාවක් කළා කොමිසමේ සාමාජිකයන් එක්ක තියෙන ගැටලු සම්බන්ධයෙන්. ඒවාට උත්තර හොයන්නත් අපි සාකච්ඡා කර ගත්තා. ඊට පස්සේ තමයි දැන් ඔය ආරංචිය ආවේ. අපේ අමාත්‍යංශයට එහෙම දැනුම් දීමක් කරන්නෙත් නැහැ, කරන්න අවශ්‍යත් නැහැ නේ අමාත්‍යංශයට සම්බන්ධ ආයතනයක් නෙමෙයි නේ," ඔහු පැවසීය.

කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, අදාළ වැටුප්තල, කාර්යාල පහසුකම් ආදී දැනට පවතින ගැටලු නිරාකරණය කර කොමිෂන් සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමට තවත් මාස තුනක පමණ කාලයක් ගත වනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසමේ වැඩ කටයුතු ආරම්භ කිරීමට අදාළ යෝජනා මේ වන විටත් අනුමැතිය සඳහා යොමු කර ඇති බව ද කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන පැවසීය.

කොමිෂන් සභාවට ඇති බලතල මොනවා ද?

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ පස් වැනි වගන්තියේ කොමිෂන් සභාවට හිමි වන බලතල සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ.

කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීම හෝ උල්ලංඝනය වීමට යාම පිළිබඳව පැමිණිලි භාර ගැනීම, පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණයේ සිදුවන නඩු විභාගයකදී අධිකරණයේ අවසර ඇතිව ඒ සඳහා මැදිහත් වීම, අදාළ පාර්ශවවලින් තොරතුරු හා වාර්තා ඉල්ලා සිටීම ඇතුළුව සාක්ෂි රැස්කිරීම, ඉහත ගැටලු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම එම බලතල වේ.

පැමිණිල්ලක් හෝ තොරතුරක් ලැබී මාසයක කාලයක් තුළ කොමිසම විසින් පරීක්ෂණයක් පවත්වනු ලැබිය යුතු අතර, නඩු පැවරීමට අවශ්‍ය යයි කොමිසම සිතන්නේ නම් අදාළ අධිකාරිය ලවා නඩු පැවරීම සිදු කළ යුතු ය.

කොමිසමේ තීන්දු සම්බන්ධයෙන් තෘප්තියට පත් නොවන්නෙකුට අභියාචනා කිරීමේ අවස්ථාව ද හිමිවෙයි.