ආණ්ඩුවේ සභාපතිවරු හයක් ඉල්ලා අස්වෙති

ඡායාරූප මූලාශ්‍රය, Chinthaka D Hewapathirana
ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙර නොවූ විරූ දැවැන්ත ජනවරමකින් බලයට පත්ව මාස හතරක් ගත වීමටත් මත්තෙන් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පත්කරන ලද සභාපතිවරුන් ඉල්ලා අස්වන ආකාරයක් දක්නට ලැබේ.
සෙනේෂ් බණ්ඩාර දිසානයක පළමුව ඉල්ලා අස්වූ අතර අනතුරුව ඉල්ලා අස්වූයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ (SLTB) සභාපති රමාල් සිරිවර්ධනය. එම ලැයිස්තුවට අලුතින් ම එක්ව සිටින්නේ, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි , ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක හේවාපතිරණය.
ඒ අනුව ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පත් කරන ලද සභාපතිවරුන් පස් දෙනෙකු මේ වන විට ඉල්ලා අස්වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AEB
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නව සභාපතිවරිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක පත් කර තිබේ.
වසර 5කට අධික කාලයක් එම මණ්ඩලයේ සභාපති ධූරය දැරූ මහාචාර්ය S. R. D. රෝසා බීබීසී සිංහල වෙත පැවසුවේ, විෂය භාර අමාත්‍යවරයා විසින් නව සභාපතිවරික් පත් කිරීම නිසා තමා ධූරයෙන් ඉවත් වූ බවය.
තමා මෙතෙක් කළ සේවයට කිසිදු ඇගයීමකින් තොරව සහ කිසිදු දැනුම් දීමකින් තොරව නව සභාපතිවරිය පත් කර ඇති බවත් ඔහු කියා සිටියේ ය.
ඒ අනුව නව සභාපතිවරිය පිළිගෙන, රාජකාරි කටයුතු භාර දෙමින් තමා ඉවත් වූ බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අදාළ ධුරයට පත් කෙරුණූ මහචාර්ය S. R. D. රෝසා 2025 ජනවාරි 31 වැනිදා දක්වා ම අඛණ්ඩව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.
පිළිකා ඖෂධයක් සැකසීම, න්‍යෂ්ටික බලශක්තිය සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රකාවක් ඉදිරිපත් කිරීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් තම ධූර කාලය තුළ ඉටු කිරීමට හැකි වූ බවද ඔහු සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, x
ජනාධිපතිවරණයෙන් පසු දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය යටතේ විජිත හේරත් අමාත්‍යවරයා විසින් සෙනේෂ් බණ්ඩාර දිසානයක රූපවාහිනී සභාපති ධූරයට පත් කරනු ලැබූ අතර රමාල් සිරිවර්ධන (SLTB) සභාපති ධූරයට පත් කරනු ලැබුවේ ද, ඔහු විසිනි.
ඉල්ලා අස්වූ සභාපතිවරුන් දරන වත්මන් රේඛීය අමාත්‍යංශ අයත් වන්නේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන අමාත්‍යවරුන්ට ය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අයත් රේඛීය අමාත්‍යංශය අමාත්‍ය බිමල් රත්නායකට අයත් වේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අයත් වන අමාත්‍යවරයා වන්නේ ආචාර්ය අනුර කරණාතිලක ය.
ඉල්ලා අස්වීමට හේතු ?
ආණ්ඩුවේ සභාපතිවරුන් අතරින් ඉල්ලා අස්වූ පළමු වැන්නා ලෙස, 2024.12.25 දිනට සිය ධූර කාලය තුන් මසක් සම්පූර්ණ කරමින් සෙන්ෂ් බණ්ඩාර දිසානායක ජාතික රූපවාහිනී සභාපති ධූරයන් ඉල්ලා අස්වීය.
ජාතික ජන බලවේගය රජයේ මුල් පත්වීම් අතරට ඔහු ද ඇතුළත්ව සිටියේ ය.
ධූරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ෆේස්බුක් සටහනක් තබමින් සෙනේෂ් බණ්ඩාර දිසානායක මෙසේ සඳහන් කර තිබිණි.
"ජාතික රූපවාහිනියෙන් සමුගත්තත් වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගෙන් සමුගැනීමට මට අවස්ථාවක් නොමැත. නව වසරේ තවත් ජාතික මට්ටමේ වගකීමක් දරමින් නැවත ඔහු හා කටයුතු කිරීමට සිදුව තිබේ. "ඒකත් කරන්න ම වෙනවා.." අල්ලාප සල්ලාප අතරේ ම නලින්ද ආයෙත් එහෙම කිව්වා."

ඡායාරූප මූලාශ්‍රය, Senesh Dissanaike Bandara
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර ඉල්ලා අස්වූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි බීබීසී සිංහල වෙත කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත තමා ධූරයෙන් ඉල්ලා අස්වූ බවය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට සම්බන්ධ වීමට පෙර වෛද්‍ය රුවන් විජයමුණි කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස සේවය කළේ ය.
එම කාල සීමාව තුළ, විශේෂයෙන් ම කොවිඩ් කාලසීමාව තුළ මෙන් ම, පසුව සිදුකළ එන්නත්කරණ වැඩසටහන්වලදී මෙන් ම, ඩෙංගු වසංගතය පාලනය සඳහාත් ඔහුගේ නායකත්වය යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) සභාපති රමාල් සිරිවර්ධන ද සිය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් ප්‍රකාශ කළේ, පෞද්ගලික හේතුවක් මත තමා ධූරයන් ඉල්ලා අස්වන බව ය.
රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ, බිමල් රත්නායක ඇමතිවරයා සමග ඇති කර ගත් මතභේදාත්මක හේතුවක් මත යැයි සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබිණි.
ඒ පිළිබඳව, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේනගෙන් විමසීමක් කළ විට ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, එවැන්නක් සිදුව නොමැති බවත් පෞද්ගලික හේතුවක් මත සභාපතිවරයා ඉල්ලා අස්වී ඇති බවත් ය.
බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක හේවාපතිරණ පැවසුවේ, "පක්ෂය කෙටි කාලෙකට මට පවරපු වගකීමක් මම ඉටු කරේ.ඒක අවසන්.ආපහු මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වෙනුවෙන් නව වගකීමක් පක්ෂය ලබා දුන්නා .ඒ අනුව ඉල්ලා අස්වුණේ" යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, NHDA
ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සංසරණය වන දීර්ඝ ලිපිය
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංගගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලදැයි කියන දීර්ඝ පැහැදිලි කිරීමක් සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
එහි නිරවද්‍යතාව ස්වාධීනව තහවුරු කර ගැනීමට බීබීසී සිංහල ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත් ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නොමැත.
කෙසේ වෙතත්, බීබීසී සිංහල කළ විමසීමකදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ඔහුගේ ඉල්ලා අස්වීම තහවුරු කළේ ය.














