ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
හැටන්, දික්ඔය මූලික රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා තැන්පත් කර තිබූ කාන්තා මළ සිරුරක් රෝහලේ සේවකයින් තිදෙනෙකු විසින් දූෂණය කරනු ලැබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් පරිපාලනය අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ සිද්ධිය පදනම් කරගෙන වතු කම්කරුවන් පිරිසක් (මාර්තු 03 වන දා) රෝහල ඉදිරිපිට උද්ෂණයක ද නිරත වූහ.
දික්ඔය මූලික රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ වයස අවුරුදු 23ක කාන්තාවකගේ මෘත දේහයක් එම රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු රාත්‍රී කාලයේ දූෂණය කළේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමින් වතු කම්කරුවන් ඇතුළු පිරිසක් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
හැටන් පොලිස් වසමේ පදිංචිව සිටි 23 හැවිරිදි අදාළ කාන්තාන පවුල් ආරවුලක් හේතුවෙන් පෙබරවාරි මස 23 වන දා සිය දිවි හානි කර ගැනිමෙන් පසු හැටන් පොලිසියේ නිලධාරීන් ඒ පිළිබඳ විධිමත් පරික්ෂණයක් පවත්වා සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට සිරුර එදින රාත්‍රියේ දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.
එදින ම රාත්‍රියේ මෘත ශරීරාගාරයට ඇතුළු වූ බව කියන එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු මෘත ශරීරාගාරය වෙත ගොස් ඊට ඇතුළු වී, මෘත දේහයේ තිබූ ඇඳුම් ඉවත් කර ඇති බවට රෝහලේ මෘත ශරීරාගාරයේ භාරකරු දික්ඔය මූලික රෝහලේ අධිකාරිවරයා වෙත පැමිණිලි කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුව මිය ගිය තරුණියගේ ඥාතීන් රෝහල් පරිපාලනයෙන් කරුණු විමසා තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ පාලන අධිකාරිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසමින් වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතියක ප්‍රාදේශීය නායකයින් සහ වතු කම්කරුවන් පිරිසක් හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ, දික්ඔය මූලික රෝහල ඉදිරිපිට මාර්තු 03 වන දා උදෑසන උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස නෝර්වුඩ් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු දක්වන ලෙස ය.
එම ඉල්ලීම අනුව නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ දික්ඔය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී එම්.එස්. ෆසීල් උද්ඝෝෂකයන් හමුවට පැමිණ කියා සිටියේ, මෙම සිද්ධිය වාර්තා වූ විගස ම රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදී රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු මෘත ශරීරාගාරය වෙත ගොස් පැමිණෙන අයුරු එහි සටහන් වී ඇති බව ය.
පෙබරවාරි 23 වන දා වූ බව කියන සිද්ධිය ගැන මෘත ශරීරාගාර භාරකරු තමන්ව දැනුවත් කරනු ලැබුවේ පෙබරවාරි 25 වන දා බව ද රෝහල් අධිකාරිවරයා එහිදී සඳහන් කළේ ය.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී ද මෙවැනි සිද්ධියක් පිළිබඳ අනාවරණය කර නැතැයි ද රෝහල් අධිකාරිවරයා පැවසීය.
සිද්ධිය විමර්ශනයට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කණ්ඩායමක්
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කණ්ඩායමක් පත් කළ බවත්, එම කණ්ඩායම විමර්ශන කටයුතු ආරම්භ කළ බවත් වෛද්‍ය අධිකාරීවරයා බීබීසී සිංහල වෙත සඳහන් කළේ ය.
එම පරීක්ෂණය අපක්ෂපාතීව සිදු කරන බවත්, තම රෝහලේ සේවකයන් යම් වරදක් සිදු කර ඇත්නම් ඊට අදාළව උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා උද්ඝෝෂකයින් හමුවේ කියා සිටියේ ය.
මෙහිදී උද්ඝෝෂකයින් කියා සිටියේ, පවත්නා තත්ත්වය මත රෝහලේ ප්‍රතිකාර සදහා පැමිණෙන කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවත්න බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව සිදු කරන පරීක්ෂණය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් නොමැති බවත්, ඒ අනුව පොලිසිය විසින් ද පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් ය.
මේ අතර, මිය ගිය කාන්තාවගේ සිරුර නැවත ගොඩගෙන සිද්ධිය සම්බන්ධයෙන් යළිත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට මිය ගිය තරුණියගේ ඥාතීන් අකමැත්ත පළ කර තිබේ.