ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රිතාන්‍යයේදී නිරෝධා නිවුන්හැල්ල ඝාතනය: සැමියාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
- Author, ගැවින් තෝමස් සහ එලරි ග්‍රිෆිත්ස්, බීබීසී වේල්ස්
- කියවීමේ කාලය: මිනිත්තු 5
සිය බිරිඳ වන නිරෝධා නිවුන්හැල්ල බ්‍රිතාන්‍යයේදී පිහියකින් ඇන ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි 37 හැවිරිදි ඇගේ සැමියාට බ්‍රිතාන්‍ය අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
මෙම ඝාතනය සිදුව තිබුණේ, ඇය රැකියා ස්ථානයේ සගයෙකු සමග සම්බන්ධයක් ආරම්භ කිරීමෙන් පසුව ය.
නිරෝධා හෙවත් නිවුන්හැල්ලගේ දෝන නිරෝධා නිවුන්හැල්ල ලෙස හැඳින්වෙන, වයස අවුරුදු 32ක පසු වූ මෙම කාන්තාව 2025 අගෝස්තු 21 වන දින කාඩිෆ්හි රිවර්සයිඩ්හි දකුණු මෝගන් පෙදෙසේ රථ ගාලකදී පිහි ඇනුමකට ලක්ව මිය ගියේ ය.
පෙන්ට්වින්හි වෙසෙන ඇගේ සැමියා වූ තිසර වේරගලගේ මාස ගණනාවක් ඇගෙන් වෙන්ව සිටි අතර, ඔහු මීට පෙර මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් ජනවාරි මාසයේ නිව්පෝර්ට් ක්‍රවුන් අධිකරණයේ පැවති නඩු විභාගයකදී ඔහු වරද පිළිගත්තේ ය.
කාඩිෆ් ක්‍රවුන් උසාවියේදී වේරගලගේට දඬුවම් නියම කරමින් විනිසුරු ඩැනියෙල් විලියම්ස් පැවසුවේ, ඔහුගේ "කුරිරු ආත්මාර්ථකාමීත්වය" නිරෝධාගේ ජීවිත කාලය කෙටි කළ බව ය.
මාස ගණනාවක් තිස්සේ එම යුවළ වෙන්ව සිටි බව අධිකරණයට වාර්තා වූ නමුත්, ප්‍රහාරය සිදුවූ දින උදෑසන තිසර වේරගලගේ නේවාසික රථගාලට ගොස් තිබුණේ, නිරෝධා එහි සිටින බව දැනගෙන ය.
ඇයට සෙන්ටිමීටර 15ක් පමණ දිගින් යුතු මුළුතැන්ගෙහි භාවිතයට ගන්නා පිහියකින් පහර දී තිබූ අතර, ඇගේ මුහුණ, බෙල්ල, පපුව, අත සහ කකුලට දරුණු තුවාල සිදුවී තිබිණි. රථ ගාලේ නවතා තිබූ මෝටර් රථ දෙකක් අතර නිරෝධා මිය ගොස් තිබිණි.
ඝාතනයෙන් පසු නොසන්සුන්කාරී තත්ත්වයෙන් එම ස්ථානයෙන් යමින් සිටි ඔහු ලොරි රථයක ගැටී තිබිණි.
කෙසේ වෙතත්, ඔහුගේ තුවාල බරපතළ නොවූ අතර, පොලිසිය සහ පරිපූරක වෛද්‍යවරුන් කැඳවීමෙන් පසු, මිනීමැරුම් චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
මානසික සෞඛ්‍ය පනත යටතේ ඔහුව රඳවා තබා ගත් නමුත්, ඔහුගේ මෝටර් රථයේ තිබී ලේ තැවරුණු අත්වැසුම් සහ විවෘත කළ පිහි පැකට්ටුවක් පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
මිනීමැරුමකට සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහු රහස් පරීක්ෂකයින්ට පැවසුවේ, ඔහුගේ බිරිඳ තමාගෙන් "පලා ගොස්" ඇති බවත් ඇය "තවත් කෙනෙකු සමග ජීවත් වන" බවත් ය.
ඔහු කියා සිටියේ, පිහි රැගෙන ආවේ ඇයව "බිය ගැන්වීමට" බවත්, ඇයට තුවාල සිදුවූයේ කෙසේ දැයි ඔහුට මතක නැති බවත් ය.
ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබීමෙන් පසු, වේරගලගේ පසුව වරද පිළි ගත්තේ ය.
මෙම යුවළ 2017 දී ශ්‍රී ලංකාවේදී ඔවුන් දෙදෙනාගේ ම මිතුරෙකු හරහා හමුවීමෙන් පසු විවාහ වූ බව අධිකරණයට දන්වන ලදී.
පසුව මෙම යුවළ විවාහ වී ඇති අතර, වැඩිදුර අධ්‍යාපනය සහ වෘත්තීය අවස්ථා අපේක්ෂාවෙන් විදේශගත ගතවී තිබිණි.
අවසානයේදී ඔවුන් 2022 දී කාඩිෆ්හි පදිංචියට ගිය අතර එහිදී වේරගලගේ පවසා තිබුණේ, ඔහුට එම නගරයේ සම්බන්ධතා තිබූ බව ය. නමුත් එක්සත් රාජධානියේ ව්‍යාපාර අංශයේ නිරෝධා කළ රැකියාව සාර්ථක නොවූ අතර ඒ වෙනුවට ඇය සුරැකුම් නිවාසයක රැකියාවක් ලබා ගත්තා ය.
මේ කාලය වන විට ඔවුන්ගේ විවාහය විවිධ අර්බුදවලට මුහුණ පා තිබිණි. නිරෝධා තම රැකියා ස්ථානයේ සගයා වන ජේම්ස් ස්ටීවන්සන්ට හෙළි කර තිබුණේ, තම සැමියා ඇයට පහර දුන් බවත් ඔවුන්ට ලිංගික ගැටලු ද ඇති බවත් ය.
ඇය ස්ටීවන්සන්ට වැඩි වැඩියෙන් සමීප වූ බව අධිකරණයේදී අනාවරණය විය. වේරගලගේ මෙම සමීපභාවය ගැන දැන ගත් විට, ඔහු "උමතු වී" ඔවුන් සේවය කළ රැකවරණ නිවාසයේ සිට මෙම යුවළ ගැන ඔත්තු බැලීමට පටන්ගෙන තිබිණි.
ඔහු තම බිරිඳට ප්‍රචණ්ඩකාරී අයුරින් සැලකූ බවට කළ යෝජනාවට මුහුණ දුන් විට, ඇයගේ හැසිරීම නිසා "අත එසවීමට" සිදුවූ බව ඔහු පැවසීය.
මෙම හැසිරීම නිසා ස්ටීවන්සන්ට තමාගේ සහ නිරෝධාගේ ආරක්ෂාව ගැන බියක් ඇති වූ අතර ඔහු සම්බන්ධතාව නතර කර තිබිණි.
නමුත් 2025 අප්‍රේල් වන විට, නිරෝධා සහ වේරගලගේ ඔවුන්ගේ හවුල් නිවසින් ඉවත් වී වෙන ම ලිපිනවල පදිංචි වී සිටියහ.
මේ කාලය තුළ ඇය නොමැතිව තමාට ජීවත් විය නොහැකි බව ඔහු පැවසූ අතර, ශ්‍රී ලංකාවේ සිටින ඇගේ පියාට දුරකතන ඇමතුම් 15ක් ලබා දී තිබූ අතර, "පසුගිය වසර දෙක තුළ සිදුවූ සියල්ල ආපසු හැරවීමට" අවශ්‍ය බව පවසමින් ස්ටීවන්සන්ට කෙටි පණිවිඩයක් යවා තිබිණි.
සැමියා ඇයට තර්ජනය කරන බව පවසමින් ඇගේ මිතුරියකට කෙටි පණිවිඩයක් යැවූ නිරෝධා, ස්ටීවන්සන් සමග නැවත සම්බන්ධතාවක් ඇති කර ගත්තා ය.
"එයා ජේම්ස්ව මරන්න යි යන්නේ, එයා මාව මරන්න යි යන්නේ," ඇය සටහන් කර තිබිණි.
ඊර්ෂ්‍යාවට පත්වූ සැමියා
පැමිණිල්ල මෙහෙයවූ මයිකල් ජෝන්ස් කේ.සී. පැවසුවේ, මෙම ඝාතනය කලින් සැලසුම් කර ඇති බවත්, දැඩි ප්‍රචණ්ඩත්වයකින් කටයුතු කර ඇති බවත් ය.
"නඩුවේ සඳහන් වෙන්නේ ඇයට එල්ල කරන ලද ප්‍රහාරයේ දරුණුකම නිසා පහර දීමේදී පිහිය කැඩී ගිය බව," ඔහු තවදුරටත් පැවසීය.
මෙය "දීප්තිමත් අනාගතයක් සහිත, අභිලාෂකාමී සහ උගත් පුද්ගලයන් දෙදෙනෙකු" සම්බන්ධ "ඛේදජනක සිදුවීමක්" බව ඇන්ඩෲ ටේලර් විත්තිකරු වෙනුවෙන් කරුණු දක්වමින් පැවසීය.
ටේලර් පැවසුවේ, ඔහු සිය බිරිඳ කෙරෙහි "උමතුවෙන්" පසුවූ බවත්, ඇය සගයෙකු කෙරෙහි වැඩි වැඩියෙන් සෙනෙහස දක්වන බව දැනගත් පසු "ඊර්ෂ්‍යාවෙන් පසුවූ" බවත් ය.
"ඇය නොමැතිව ජීවිතයක් ගැන ඔහුට සිතාගත නොහැකි වුණා," ඔහු තවදුරටත් පැවසීය.
විනිසුරු ඩැනියෙල් විලියම්ස් පැවසුවේ, නිරෝධාට ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට "අවස්ථාවක් නොතිබූ" බව ය.
වෙරගලගේගේ "ම්ලේච්ඡ ආත්මාර්ථකාමිත්වය" නිසා ඇයට ලැබීමට තිබූ දිගු හා ප්‍රීතිමත් ජීවිතය අහිමි වී ගිය බව විනිසුරුවරයා පැවසීය.
දකුණු වේල්ස් පොලිසියේ රහස් පරීක්ෂක ග්‍රැහැම් විලියම්ස් පැවසුවේ, නිරෝධාට "ඇගේ පවුලේ අය සහ මිතුරන් බොහෝ සේ ආදරය කළ බවත්, ඊර්ෂ්‍යාසහගත ඇගේ හිටපු සැමියා ඇගේ ජීවිතය අවසන් කළ බවත්" ය.
"ජීවිත හානියකට වන්දි ගෙවීමට කිසිදු දඬුවමකින් නොහැකි වුව ද අපරාධ නඩු කටයුතු අවසන් වීම ඔවුන්ට යම් සාමයක් ගෙන ඒමට උපකාරී වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා," ඔහු තවදුරටත් පැවසීය.
"ඔහුගේ ප්‍රහාරය සැලසුම් කළ බවත්, ඊට පෙර කිහිප වතාවක් ම එම ප්‍රදේශයට ගොස් මිනීමැරුම සඳහා අවශ්‍ය ආයුධ මිල දීගෙන ඇති බවත්" නඩුව මෙහෙය වූ (CPS) එමා ඩේවිස් පැවසුවා ය.
"මෙම කම්පනසහගත ඝාතනයට ඔහුගේ පූර්ව සැලසුම් කිරීම සැලකිය යුතු සාධකයක් වුණා," ඇය පැවසුවා ය.
"මෙවැනි පිළිකුල්සහගත හා විනාශකාරී අපරාධවලට ගොදුරු වූ තවත් පිරිසකට ඔවුන්ට ලැබිය යුතු යුක්තිය ලැබෙන බව" සහතික කරමින්, කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරින්නන්ට එරෙහිව ශක්තිමත් නඩු ගොඩනැගීම සඳහා CPS ආයතනය පොලිසිය සමග සමීපව කටයුතු කරන බව ඩේවිස් පැවසුවා ය.
"ඛේදජනක වියෝවකින් පෙළෙන නිරෝධාගේ පවුලේ අය සහ මිතුරන්ට අපගේ ශෝකය පළ කරනවා," ඇය පැවසුවා ය.
ඇයගේ මරණයත් සමග නිකුත් කරන ලද සටහනක, නිරෝධාගේ පවුලේ අය ඇය පිළිබඳව විස්තර කර තිබුණේ, "ආදරණීය දියණියක, පවුලේ සාමාජිකාවක සහ බොහෝ දෙනෙකුට ආදරණීය වූ මිතුරියක" ලෙස ය.
"නිරෝධා සදහට ම ආදරයෙන් සිහිපත් වෙනවා."
"ඇය ඇගේ කරුණාවෙන් හා උණුසුමෙන් බොහෝ ජීවිත ස්පර්ශ කළා, ඇගේ මතකය අපට ධෛර්යයක්. ඇගේ දිවි ගමන කෙටි වුව ද, ඇය බෙදා ගත් ආදරය හැම මොහොතක ම අප සමග පවතිනවා," ඔවුහු පැවසූහ.