ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දැන් කාන්තාවන් සමාජ මාධ්‍ය තුළ තම පෙම්වතුන් කවුද යන්න සඟවන්නේ ඇයි?
- Author, කෙරීනා කොබීනා
- කියවීමේ කාලය: මිනිත්තු 6
ටවානා මස්වාබුරිගේ 33,000ක් පමණ වන ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින්හට ඔවුන් ඇගේ ජීවිතය ගැන සියලු දේ දන්නා බව සිතෙනවා විය හැකි යි. නමුත් බොහෝ පිරිසක් ඇගේ සහකරු කුමන ආකාරයේ කෙනෙකු දැයි නොදනිති.
රාත්‍රී ආහාර වේලක් සඳහා එක්වූ අවස්ථාවකදී හිස පිටුපසින් පෙනෙන සේ හෝ වයින් වීදුරු දෙකක් එකිනෙක ගැටෙන ආකාරය පෙනෙන සේ ලබා ගන්නා ඡායාරූප ඇයට පෙම්වතෙකු සිටින බව පෙන්නුම් කෙරෙන සියුම් සලකුණු වුව ද, 24 හැවිරිදි ඇය පවසන්නේ, ඔහුගේ මුහුණ ප්‍රසිද්ධියේ පළ කිරීමට තමන්ට කිසිදු අදහසක් නොමැති බව ය.
"මම ගැහැනු ළමයෙක්," ටවානා පවසයි. "කාන්තාවක් විදිහට, 'මා විසින් ම මගේ ජීවිතය පාලනය කරනු ලබන බව' සිතමින් ශක්තිමත්ව පෙනී සිටීමට කැමති යි."
සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑමක් ඇති කළ හැකි මෙම තරුණිය සිය සන්නාමය ගොඩනගාගෙන ඇත්තේ පෙම්වතා ඇතුළත් නොවන ආකාරයට ය.
"කිසි ම දෙයක් පිරිමියෙකුගේ උදව්වෙන් ලැබුණා වගේ හැඟීමක් ඔබට දැනෙන්න අවශ්‍ය නැහැ. 'මේක මම ම තමයි කර ගත්තේ' කියලා කියන්න ලැබෙන එක මට ලොකු සතුටක්."
ඇගේ ස්ථාවරය ඉක්මනින් වෙනස් නොවනු ඇත. ඇය සහ ඇගේ පෙම්වතා ඊළඟ අදියරට ගිය ද, ඇගේ "සම්බන්ධතාව ප්‍රසිද්ධියේ බෙදා ගැනීමට තරමට මුද්දක් දමා ගැනීම ප්‍රමාණවත් නොවන බව" ඇය පවසයි.
Vogue සඟරාවේ පළවූ ලිපිය
ටවානා යනු තම සම්බන්ධතාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ ඍජුව ප්‍රකාශ කිරීමට අකැමති කාන්තාවන් බොහෝ පිරිසකගෙන් කෙනෙකු වන අතර, සමාජ මාධ්‍ය පරිශීලකයින්ට ද එය දැන් අවබෝධ වෙමින් තිබේ.
පසුගිය මාසයේ බ්‍රිතාන්‍යයේ වෝග් සඟරාව Is Having a Boyfriend Embarrassing Now? [පෙම්වතෙකු සිටීම කරදරයක් ද?] යන සිරස්තලය යටතේ ලිපියක් ප්‍රකාශයට පත් කළ අතර, එම ලිපිය ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් සටහන්වලට එම ප්‍රශ්නය ම ඇසීමට පෙළඹවීමක් ඇති කළේ ය.
වේගයෙන් සංසරණය වූ එම ලිපිය මගින් එහි ලේඛිකා චාන්ටේ ජෝසෆ් යෝජනා කරන්නේ, සමලිංගික නොවන කාන්තාවන් තම සබඳතා ඉන්ටර්නෙට් හරහා ඉදිරිපත් කරන ආකාරයෙහි වෙනසක් සිදුවී ඇති බව සහ කාන්තාවන්ට "පෙම්වතාට උමතු වී සිටීම" නොපෙන්වා සහකරුවෙකු සිටීමේ "සමාජ ප්‍රතිලාභ" භුක්ති විඳීමට අවශ්‍ය බව ය.
ඔබේ සහකරු පිළිබඳව නිතර පළ කිරීමෙන් "අවුල් සහගත හැඟීමක්" [cringe] හෝ "සමාජීය අවශ්‍යතා ඉදිරියේ පරාජිතයෙකු" [culturally loser-ish] ලෙස පෙනී යා හැකි බව ද ජෝසෆ් සඳහන් කරයි.
වඩාත් බැරෑරුම් කරුණක් නම්, පෙම්වතෙකු සිටීම තවදුරටත් "ජයග්‍රහණයක් ලෙස නොසලකන" අතර පෙර කාලයේ මෙන් එය කාන්තාවක ලෙස ඔබ වටිනාකමෙන් අඩු හෝ වැඩි පුද්ගලයෙකු ලෙස නොපෙන්වන බවත් ඇය පවසයි.
"අපි ජීවත් වන පීතෘමූලික සමාජය සහ එය කාන්තාවන්ට කොපමණ පීඩාකාරී වනවා ද?" යන කාරණය නිසා කාන්තාවන් තම සහකරුවන් පිළිබඳ ප්‍රසිද්ධියේ පළ කිරීමට පසුබට වන බව ඇය විශ්වාස කරයි.
"ගොඩක් කාන්තාවන් කියන්නේ පෙම්වතෙක් ඉන්න එක හොඳයි. ස්වාමිපුරුෂයෙක් ඉන්න එක හොඳයි කියලා," ජෝසෆ් BBC Radio 4 ඔස්සේ විකාශය වූ Woman's Hour වැඩසටහනට එක්වෙමින් පැවසුවා ය.
"ඒක එහෙම නැහැ. මේ දේශපාලන වාතාවරණය තුළ පිරිමින් සමග අප පවත්වන සම්බන්ධතාව ගැන නැවත අගැයීමට ලක් කරන්න අවශ්‍ය යි."
'පුද්ගලයින් 1,000ක් මාව අන්ෆලෝ කළා'
ලන්ඩනයේ දකුණු ප්‍රදේශයේ ජීවත් වන කතුවරියක වන ස්ටෙෆනි ඉබෝවා, තම පෙම්වතා පිළිබඳ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පළ කිරීම සම්බන්ධයෙන් පසුතැවිලි වන බව බ්‍රිටිෂ් වෝග් සඟරාවට පැවසුවා ය.
ඇය බීබීසී පුවත් සේවයට පැවසුවේ, ඇයට පෙම්වතෙකු ලැබී සිටින බැවින් ඇයගේ නිර්මාණ සමග තවදුරටත් සම්බන්ධ විය නොහැකි නිසා ඔවුන් ඇයව ෆලෝ කිරීම නවතා දැමූ බවත් පවසමින් තමන්ට "පෞද්ගලික පණිවුඩ ඉතා විශාල ප්‍රමාණයක්" ලැබුණු බව ය.
"මම හිතන්නේ එදා පරිශීලකයින් 1,000ක් විතර මාව අන්ෆලෝ කළා," යෙබෝවා සිහිපත් කරයි.
නමුත් පෙම්වතා සම්බන්ධ අන්තර්ගතයන් පරිශීලකයින්ට ඕනෑවට වඩා හමුවන්නේ මන්දැයි තේරුම් ගෙන ඇති බව ඇය පවසයි.
"සම්බන්ධතා පෙන්නුම් කරන බොහෝමයක් අන්තර්ගතයන් පරණ තාලේ ඒවා - මම හිතන්නේ දැන් මිනිස්සු ඒක දකිනකොට ටිකක් අවුල් වෙනවා."
ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි බලපෑම්සහගත භාවය සහ සමාජ මාධ්‍ය අලෙවිකරණය පිළිබඳ සහය මහාචාර්ය ආචාර්ය ගිලියන් බෲක්ස් පවසන්නේ, සමාජ මාධ්‍යවලින් මුදල් උපයන පුද්ගලයින් තම අන්තර්ගතය ස්ථාවරව තබා ගැනීම සඳහා සිය සහකරුවන් පිළිබඳ තොරතුරු පළ නොකිරීමට තීරණය කළ හැකි බව ය.
"ඔවුන් අලෙවි කරන්නේ සුවිශේෂී දෘශ්‍ය ශෛලියක්, සුවිශේෂී රසයක්," ආචාර්ය බෲක්ස් පැහැදිලි කරයි. "ඔවුන් ඉතා ළෙන්ගතු සහ සුවිශේෂී ප්‍රේක්ෂක පිරිසකට සේවය සපයනවා, ඒ නිසා ඔවුන් ඒ සන්නාමයෙන් ඉවත් වුණොත් ඔවුන් තම ප්‍රේක්ෂක පදනම ව්‍යාකූල කරනවා, මිනිස්සු ඔවුන්ව දාලා යයි."
'යැපෙන්නෙක් ලෙස පෙනී සිටීමට මට අවශ්‍ය නැහැ'
නමුත් ඔවුන්ගේ පෙම්වතුන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමට අකමැති වන්නේ බලපෑම් කරන්නන් පමණක් නොවේ.
මිලී, වසර පහකට ආසන්න කාලයක් පුරාවට ඇගේ සහකරු සමග විවාහ ගිවිසගෙන සිටින නමුත් 25 හැවිරිදි වියේ පසුවන ඇය පවසන්නේ, තම පෙම්වතා පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමට ඇය පසුබට වන බව ය.
"මගේ සහකරු මත යැපෙන කෙනෙක් කියලා හෝ අපගේ සම්බන්ධතාව තමයි මගේ මුළු පෞරුෂය ම කියලා පෙන්වන්න මට ඕනේ නැහැ," ඇය පැහැදිලි කරයි.
"සමාජ මාධ්‍යවලින් පුද්ගලයෙකු පිළිබඳ නිර්මාණය කරන්නේ ඉතා පටු ප්‍රතිරූපයක්" ඇය තවදුරටත් පවසයි. "ඒකෙ මගෙයි මගේ සහකරුගෙයි පින්තූරයි කතන්දරයි විතරක් තියෙනකොට ඒක ටිකක් පිස්සුවක් වගේ."
'සම්බන්ධතා අතිශයින් පෞද්ගලික විය යුතුයි'
චාලට් ඇගේ සහකරු සමග වසර දෙකක් පුරාවට ඇසුරක් පවත්වා ගෙන යයි. 20 හැවිරිදි වියේ පසුවන ඇය පවසන්නේ, හේතු කිහිපයක් නිසා සමාජ මාධ්‍ය ඔස්සේ ඇගේ පෙම්වතා පිළිබඳව සඳහන් නොකිරීමට තීරණය කළ බව ය.
සෞන්දර්යාත්මක මට්ටමින් බලන විට ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පළකළ හැකි ඔවුන් දෙදෙනා එකට එක්ව ගනු ලැබූ ඡායාරූප වැඩි වශයෙන් නොමැති බව ඇය කියයි.
නමුත් මෙයින් ඔබ්බට ඇය විශ්වාස කරන්නේ සම්බන්ධතාවක් "මිත්‍රත්වයට වඩා පෞද්ගලික" විය යුතු බව යි.
මම (මගේ සම්බන්ධතාව) සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනවා නම්, මට හිතෙන්නේ ඒක 'මාව බලන්න, මගේ පරිපූර්ණ සම්බන්ධතාව බලන්න' කියන අදහසක් පෙන්වන්න වගේ දෙයක්නේ. නමුත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි," ඇය තව දුරටත් පවසයි.
අතීරා යනු ඇගේ සැබෑ නම නොවන අතර ඇය පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට කැමැත්තක් දක්වයි. 21 හැවිරිදි වියේ පසු වන ඇය පවසන්නේ, ඇගේ මිතුරියන් බොහෝ දෙනෙකු ද ඒ හා සමානව සිතන අතර, ඔවුන්ගේ සහකරුවන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ නොකිරීමට හේතුවක් ලෙස "යක්ෂයාගේ ඇස" (Evil eye) පෙන්වා දෙන බව ය.
"යක්ෂයාගේ ඇස" යනු ද්වේෂසහගත බැල්මක් හරහා සම්ප්‍රේෂණය වන ශාපයක් පිළිබඳ පවතින අද්භූත විශ්වාසයකි. එය සාමාන්‍යයෙන් ඊර්ෂ්‍යාවෙන් ආභාසය ලබා ඇතැයි පැවසෙයි.
"මම එයාව පෝස්ට් කරන්නේ නෑ, කෙනෙක්ට හදිසියෙන් හරි ඉරිසියාවක් ඇති වෙයි කියලා, සිතාමතා ම නැතිව, හිත යටින් හරි එහෙම වෙලා මගේ සම්බන්ධයට යක්ෂයාගේ ඇස වැටෙයි කියලා," අතීරා පවසයි.
පෝස්ට් පළ කිරීම පිටුපස පවතින බිය
මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සමාජ මනෝවිද්‍යාඥවරියක වන ආචාර්ය ග්වෙන්ඩොලින් සීඩ්මන්, ආදර සබඳතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, මිනිසුන් ඉන්ටර්නෙට් හරහා සන්නිවේදනය කරන ආකාරය අධ්‍යයනය කරයි.
සීඩ්මන් විශ්වාස කරන්නේ, මෙය සදහට ම ඉන්ටර්නෙට්හි පවතිනු ඇතැයි මිනිසුන් බිය වන නිසා ඔබේ ජීවිතයේ එවැනි පෞද්ගලික කොටසක් ඉන්ටර්නෙට් හරහා බෙදා ගැනීම ඇතැම් අවස්ථාවල කණස්සල්ලට හේතු විය හැකි බව ය.
"මිනිස්සු දැන් කලින් වගේ ඉන්ටර්නෙට් එකේ බොහෝ දේවල් පළ කරන්නේ නැහැ," ආචාර්ය සීඩ්මන් පවසයි. "ඒකට හේතුවක් වෙන්නේ, මේ දේවල් සදාකාලිකව ම තියෙනවා කියලා මිනිස්සු ටිකක් තේරුම් අරගෙන ඉන්න එක යි."
"ඔබට ඒකෙන් සම්පූර්ණයෙන් ම අයින් වෙන්න පහසු නැහැ. ඒක නිසා ඔබ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ."