ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සජීවී., ඊශ්‍රායලය ටෙහෙරාන් සහ බේරූට් වෙත නව ප්‍රහාර එල්ල කරයි
ඉරානයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර සහ ඉරානය මැදපෙරදිග රටවලට එල්ල කරන ප්‍රහාර සිව්වන දිනටත් සිදුවෙමින් පවතී.
සාරාංශය
- ඊශ්‍රායලය ටෙහෙරාන් සහ බේරූට් වෙත නව ප්‍රහාර එල්ල කරයි
- ගැටුම ආරම්භ වූ සෙනසුරාදා (පෙබ. 28) දා සිට ඊයේ (මාර්තු 2) දක්වා අප ඔබ වෙත ගෙන ආ තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න...
- "මහා පරිමාණ සටන් මෙහෙයුම්" අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ට්‍රම්ප් පවසයි.
- හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සහ කරන ඕනෑ ම නෞකාවකට තම රට "ගිනි තබන" බවට ඉරාන නිලධාරියෙකුගෙන් අනතුරු ඇඟවීම්.
- ටෙහෙරානයේ යුනෙස්කෝ ලෝක උරුම අඩවියට හානි වී ඇතැයි ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි.
- රියාද්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි.
- ඇමසන් දත්ත මධ්‍යස්ථාවලට ඩ්‍රෝන ප්‍රහාරවලින් බලපෑම් සිදුවෙයි.
- ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයින් 52 දෙනෙකු මිය ගොස් ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය නිලධාරීහු පවසති.
- ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදා සාමාජිකයින් 6 දෙනෙකු මිය ගොස් 18 දෙනෙක් තුවාල ලබති.
සජීවී වාර්තාකරණය
බීබීසී සිංහල
ඊශ්‍රායලය ටෙහෙරාන් සහ බේරූට් වෙත නව ප්‍රහාර එල්ල කරයි
ඉරානය සමග ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධයේ සිව්වන දිනයේ, නවතම වර්ධනයන් මෙන්න:
- ඊශ්‍රායලය ටෙහෙරාන් සහ බේරූට්හි "මිලිටරි ඉලක්ක" ලෙස හඳුන්වන ස්ථාන වෙත "පුළුල් ගුවන් ප්‍රහාර" මාලාවක් එල්ල කර තිබෙනවා.
- සෞදි ආරක්ෂක අමාත්‍යංශයට අනුව රියාද්හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකකින් පහර දී ඇති අතර එමගින් "සුළු" ගින්නක් ඇතිව තිබුණා.
- බහරේනයේ ඇමෙරිකානු ගුවන් කඳවුරක අණදෙන සහ මාණ්ඩලික ගොඩනැගිල්ලක් විනාශ වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසනවා.
- ගෝලීය බලශක්ති සැපයුම් සඳහා ප්‍රධාන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සහ කරන ඕනෑ ම නෞකාවකට "ගිනි තබන" බවට ඉරාන නිලධාරියෙක් තර්ජනය කර තිබෙනවා.
- ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාවේ "දැඩි ම ප්‍රහාර තවමත් එල්ල කර නැත" යනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඊයේ පැවසුවා.
- යුද්ධය ආරම්භ වූ දා සිට ඇමෙරිකානු හමුදා හය දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ කුවේට්හිදී ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා තුනක් වෙඩි තබා බිම හෙළන ලද අතර එය "පැහැදිලිව ම මිත්‍ර පාක්ෂිකයින්ගෙන් සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමක්" බව සඳහන් වුණා. කෙසේ වෙතත් එම යානාවල සිටි කාර්ය මණ්ඩලය දිවි ගලවා ගත්තා.
අලුත්ම පුවතක්, බහරේනයේ ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරක විධාන ගොඩනැගිල්ල විනාශ වී ඇති බවට වාර්තා
බහරේනයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් කඳවුරක ප්‍රධාන විධාන ගොඩනැගිල්ල විනාශ කළ ඉරාන ප්‍රහාරයක් පිළිබඳ ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් පළ කරන ලද දර්ශනවලට අනුව දූරස්ථ ඉලක්ක වෙත එල්ල කළ රොකට් විශාල ගණනක් පුපුරා යන අයුරු දක්නට ලැබෙනවා.
ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරය බහරේනයේ ෂෙයික් ඊසා කලාපයේ ඇමෙරිකා එක්සත් ජනපද අණදෙන සහ කාර්ය මණ්ඩල ගොඩනැගිල්ලක් විනාශ කළ බවත් එය ඉන්ධන ටැංකි පුපුරා යාමට හේතු වූ බවත් එහි සඳහන්.
මෙම ප්‍රහාරය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය තවමත් අදහස් දක්වා නැහැ.
මීට පෙර, බහරේනයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යනු ලබන නාවික කඳවුරකින් දුමාරයක් නැගෙන අයුරු දක්නට ලැබුණා.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානු පුරවැසියන්ට වහා ම බහරේනය ඇතුළු මැදපෙරදිග රටවල් රැසකින් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.
මැදපෙරදිග සිටින ඇමෙරිකානුවන්ට ඉවත්වන්නැයි දැනුම් දීමක්
මැදපෙරදිග රටවල සිටින ඇමරිකානු ජනතාවට එල්ල වී ඇති "බරපතළ ආරක්ෂක අවදානම්" හේතුවෙන් එම කලාපයෙන් පිටවන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බහරේන්, ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, බටහිර ඉවුර, ගාසා, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවල සිටින ඇමෙරිකානු පුරවැසියන්ට එම නිවේදනය අදාළ වන බවයි.
ඉන්ධන නැව්ගත කිරීමේ පිරිවැය ඉහළම මට්ටමට: වෙළෙදපොලේ ඉන්ධන සහ ගෑස් මිල ඉහළට, ඔස්මන්ඩ් චියා ව්‍යාපාරික වාර්තාකරු
ලන්ඩන් කොටස් හුවමාරු සමූහයේ දත්ත වලට අනුව, මැදපෙරදිග සිට චීනයට තෙල් නැව්ගත කිරීම සඳහා ඉන්ධන ප්‍රවාහන නෞකාවක් කුලියට ගැනීමේ පිරිවැය ඩොලර් 400,000 (පවුම් 298,300) ඉක්මවූ ඉහළම අගයකට ළඟා වී තිබේ. එය මෙතෙක් වාර්තා වූ ඉහළ ම මිල වනවා.
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පහර දෙන බවට තර්ජනය කළ පසුගිය සතියේ පැවති මිලට වඩා මෙන් එය අද වන විට දෙගුණයක් වී තිබෙනවා.
ගෝලීය තෙල් හා ගෑස් අවශ්‍යතා වලින් පහෙන් එකක් පමණ නැව්ගත කරනු ලබන ඉරානයේ දකුණ දෙසින් පිහිටි තීරණාත්මක ජල තීරයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් ඉරානය ඉලක්ක කර තිබෙනවා.
වාර්තාගත ගාස්තු වන්නේ බොරතෙල් බැරල් මිලියන දෙකක් දක්වා ප්‍රවාහනය කළ හැකි විශාලතම තෙල් රැගෙන යන නෞකා සඳහායි.
මැදපෙරදිග ගැටුම් හේතුවන් ඉන්ධන නිෂ්පාදන සැපයුම් සීමා කිරීමට ඉඩ ඇති නිසා ජාත්‍යන්තර වෙළෙදපොලේ බලශක්ති මිල ගණන් අඛණ්ඩව ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 1.9%කින් පමණ ඉහළ ගොස් ඇති අතර එහි මිල දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 79.25ක් (පවුම් 59.11) ලෙසයි.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සති අන්තයේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා සිට ගෝලීය වශයෙන් තෙල් සහ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.
ලොව විශාලතම ගෑස් අපනයනකරුවන කටාර් LNG සමාගම සිය ගෑස් පහසුකම්වලට එල්ල වූ "හමුදා ප්‍රහාරවලින්" පසුව ගෑස් නිෂ්පාදනය නැවැත්වීමෙන් පසු සඳුදා (මාර්තු 2) වැනි දා සිට ස්වාභාවික ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.
රියාද්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක්, ඉක්මනින් ම ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ට්‍රම්ප් කියයි
මූලික තොරතුරුවලට අනුව, රියාද්හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකකින් ප්‍රහාර එල්ල කළ බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.
සෞදි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ X පණිවිඩයක ඩ්‍රෝන ප්‍රහාරයෙන් "සීමිත ගින්නක් සහ ගොඩනැගිල්ලට සුළු හානියක්" සිදුව ඇති බව සඳහන්.
සෞදි අරාබියේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද මෙහෙයුම ජෙඩා, රියාද් සහ ධහාරාන්හි වෙසෙන ඇමෙරිකානු ජනතාවට ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස නිවේදනයක් නිකුත් කර ඇති අතර කලාපයේ පිහිටි ඕනෑ ම හමුදා කඳවුරු පිහිටි ස්ථාන වෙත ගමන් නොකරන ලෙසට ද උපදෙස් නිකුත් කර තිබෙනවා.
මේ අතර, රියාද්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සහ ගැටුම්වලදී සිදුවූ හමුදා සාමාජිකයින්ගේ මරණවලට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය "ඉක්මනින්" ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිව්ස්නේෂන් වෙත කියා සිටිනවා.
මේ වන විට ඇමෙරිකානු හමුදා සාමාජිකයින් හය දෙනෙකු ඉරාන ගැටුම්වලදී මිය ගොස් ඇති අතර 18 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජනපදය සඳුදා )මාර්තු 2) රාත්‍රියේ පැවසුවා.
ආයුබෝවන්, සුබ උදෑසනක්!
පෙබරවාරි මස 28 වන දා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ප්‍රධාන පෙළේ හමුදා සහ පරිපාලන නායකයින් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.
ඉන් පසුව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේ, එහිදී ඔහු සහ ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අද (මාර්තු 3) සිව්වන දිනටත් ඉරානයට එරෙහිව ගුවනින් සහ මුහුදෙන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
සිය උත්තරීතර නායක අලි කමේනි ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ඉරානය ද සිය අසල්වැසි මැදපෙරදිග කලාපයේ පිහිටි රටවල පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු සහ තානාපති කාර්යාල ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
ඉරානයට සහය පළකිරීමක් වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සඳුදා (මාර්තු 2) අලුයම ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය බේරූට් අගනුවර ඇතුළු ලෙබනනයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙම ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙදපොළේ ඉන්ධන සහ ගෑස් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඉදිරි පැය 48 කාලය තුළ කලාපයේ වර්ධනය වන තත්ත්වයන් පිළිබඳ තොරතුරු මෙම සජීව වෙබ් පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට බීබීසී සිංහල සූදානමින්.
රැඳී සිටින්න අප සමගින්...