ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

සජීවී., ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරාන නායකයින් සිටින ස්ථාන ඉලක්ක කිරීමෙන් පසු ඉරානය මැද පෙරදිග පුරා ප්‍රහාර දියත් කරයි

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය තුළ අද උදෑසන සිට 'ප්‍රබල සටන් මෙහෙයුමක්' ක්‍රියාත්මක කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායාලයට මෙන් ම ඇමෙරිකානු හමුදා මර්මස්ථාන පිහිටා ඇති කලාපයේ රටවල් කිහිපයකට ම මිසයිල ප්‍රහාර එල්ල කරමින් පවතී.

සාරාංශය

  • ඉරාන උත්තරීතර නායකයාගේ කාර්යාලයට ප්‍රහාර එල්ල වී ඇති බවට වාර්තා
  • අබුඩාබි වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ආසියානු ජාතිකයෙකු මරුට
  • කටුනායක සිට මැදපෙරදිග බලා පියාසර කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කළ බව IDF පවසයි
  • ඉරානය තුළ 'මහා සටන් මෙහෙයුම්' ආරම්භ කර ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කරයි
  • තම රට ඉරානයට එරෙහිව 'පූර්ව ක්‍රියාමාර්ගයක්' ලෙස ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසයි

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. මැද පෙරදිග කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව, (ආසන්න වශයෙන්, 2026.02.28 වන විට)

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 350,000

    සෞදි අරාබිය - 246,139

    කුවේට් - 175,000

    කටාර් - 140,000

    ඕමාන් - 32,000

    ඊශ්‍රායල් - 30,000

    ජෝර්දානය - 14,500

    බහරේන් - 13,130

    ඉරානය - 35

    යේමනය - 27

    සිරියාව - 20

    පලස්තීනය - 4

    මූලාශ්‍රය - ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය

  2. ඉරානය තම මුස්ලිම් අසල්වැසියන්ට පහර දෙන්නේ ඇයි?

    ඉරානය ඊශ්‍රායලයට පමණක් පහර දීම වෙනුවට දෝහා සිට අබු ඩාබි, ඩුබායි කුවේට්, මනාමා සහ රියාද් දක්වා නගර තම ප්‍රහාරවලින් භීතියට පත් කර තිබෙනවා.

    මේවා අහඹු පහර දීම් නොවේ.

    සමස්තයක් වශයෙන්, එක්සත් ජනපදයට අවම වශයෙන් ගල්ෆ් කලාපයේ ස්ථාන දහනවයක හමුදා පහසුකම් පවතින අතර, ඉන් අටක් බහරේනය, ඊජිප්තුව, ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේට්, කටාර්, සෞදි අරාබිය, සිරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල පිහිටා තිබෙනවා.

    කටාර්හි දෝහා අගනුවර අසල පිහිටා ඇති අල් උඩෙයිඩ්, මැද පෙරදිග විශාලතම ඇමෙරිකානු ගුවන් කඳවුර ලෙස සැලකෙන අතර එය දහස් ගණනක් ඇමෙරිකානු නිලධාරීන්ගේ නිවහන ද වෙනවා.

    තව ද එය එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ ඉදිරි පෙළ මූලස්ථානය ද වෙනවා.

    ගල්ෆ්, රතු මුහුද සහ අරාබි මුහුදේ මුර සංචාරයේ යෙදෙන එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වන බලඇණිය බහරේනයේ සිටිනවා.

    එක්සත් ජනපද ප්‍රහාර දිගට ම පැවතුණහොත්, කලාපයේ සෑම ඇමෙරිකානු කඳවුරක් ම, ඒවා කුමන රටක පැවතිය ද, ඉලක්ක බවට පත්වන බව ටෙහෙරානය නැවත නැවතත් අනතුරු අඟවා තිබෙනවා.

  3. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හමුදා ප්‍රධානියා ඝාතනය කළ බවට පළ වන වාර්තා ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රතික්ෂේප කරයි, BBC Monitoring

    අද දින ඉරානයට එල්ල වූ ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර මාලාවෙන් එරට ජ්‍යෙෂ්ඨ දේශපාලන නිලධාරීන් සහ හමුදා ප්‍රධානියා මිය ගිය බවට පළ වන වාර්තා ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් ආරක්ෂිතව සිටින බව එරට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් X සටහනක් තබමින් පැවසුවා.

    ජනාධිපතිවරයාගේ පුත් යූසෙෆ් පෙසෙෂ්කියාන් ටෙලිග්‍රෑම් සටහනක් තබමින් "මෙවර ඔවුන්ගේ ඝාතන උත්සහයන් සාර්ථක වී නැත" යනුවෙන් පැවසුවා.

  4. අමෙරිකාවෙන් සහ ඊශ්‍රායයෙන් ඉරානයට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර

  5. තෙල් සංචිත 'මාසයක් දුවන්න ප්‍රමාණවත්, කලබලයක් ඇති කර ගන්න අවශ්‍ය නෑ', ඛනිජ තෙල් සභාපති කියයි

    රටේ ඇතැම් ප්‍රදේශවල ජනතාව කලබල වී ඇති බවත් මාසයක කාලයකට ප්‍රමාණවත් පරිදි රට තුළ ඉන්ධන ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.

    විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ, දින 37ක කාලයක් සඳහා රට තුළ පෙට්ට්‍රල් සංචිත පවතින බවයි. "ඉරානයේ යුද්ධය ආරම්භ වීමත් සමග ම රටේ සමහර ප්‍රදේශවල ජනතාව කලබල වෙලා කියලා දැන ගන්න ලැබෙනවා.

    එහෙම කලබල වෙන්න කිසි ම අවශ්‍යතාවක් නැහැ. අපි සම්පූර්ණ තොග දැන් ගණනය කරලා බැලුවා," ඔහු පැවසුවා.

    "අපිට සියලු ම දේවල් මාසයක කාලයකට දුවන්න පුළුවන්.

    "හේතුව අපිට තියෙන තොග සහ දැනට ළඟා වෙමින් තියෙන තොග එකතු කළා ම අපිට පෙට්‍රල් දවස් 37කට ප්‍රමාණවත් මේ වෙනකොටත්. ඕටෝ ඩිසල් දවස් 35කට ප්‍රමාණවත්, ගුවන් යානා ඉන්ධන දවස් 47කට ප්‍රමාණවත්.

    "අපිට ළඟා වෙමින් තියෙන නැව් සහ ළඟ තියෙන තොග එකතු කළා ම එතැනින් එහාට අපිට කිසි ම නැවක් ආවේ නැති වුණත් මේ කියන දවස් ගාණට හරියන්න කිසි ම කරදරයක් නැතිව තෙල් රටේ දුවන්න පුළුවන්.

    "ඊළඟට අපිට පිරිපහදුවට එන ඩීසල්, පෙට්‍රල් හැටියට එන තෙල් ගොඩක් වෙලාවට අපිට එන්නේ මැදපෙරදිග කලාපයෙන් නෙමෙයි එන්නේ මොකද නැව් ගාස්තු වැඩි නිසා.

    "ගොඩක් වෙලාවට අපිට තෙල් එන්නේ ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන්, කොරියාවෙන් සහ මැලේසියාවෙන්. හෝමුස් සමුද්‍ර සන්ධිය වහලා දැම්මත් ඒවාට බලපෑමක් වෙන එක ඉතා ම අල්පයි.

    "බොර තෙල්වලට විතරයි එහෙම බලපෑමක් ආවොත් එන්නේ. මෙහෙම ආව සංචිත සම්පූර්ණයෙන් මාසයක් දුවන්න ප්‍රමාණවත්. ඒ නිසා කිසි ම කලබලයක් ඇති කර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

    "අනවශ්‍ය විදිහට ජනතාව කලබල වුණොත් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ, ඒ නිසා ජනතාව කලබල වෙන්නේ නැතිව සාමකාමීව ඉන්න. මොකද ලෝක මට්ටමේ ඇතිවන දෙයක් තනියම විසඳන්න බැහැ. ඒකට අපි සියලු දෙනා මුහුණ දෙන්න ඕන. එහෙම මුහුණ දෙන්න වුණත් අපිට මාසයක කාලයක් තියෙනවා."

  6. අද උදෑසන ඉරානයට ප්‍රහාර එල්ල වූ ස්ථාන

  7. ඉරාන නායකයින් රැස්වූ ස්ථාන වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාර

    ටෙහෙරානයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන සහ ආරක්ෂක නිලධාරීන් රැස් වූ ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල් හමුදාව, පවසන්නේ ඉරානයේ පාලක නායකත්වය රැස් වූ අවස්ථාවක තොරතුරු ලබා ගැනීමට තම හමුදා බුද්ධි ඒජන්සිය වන අමාන් මාස ගණනාවක් පුරා සැලැස්මක් සහිතව මෙම මෙහෙයුම සඳහා සූදානම් වූ බවයි.

    රාත්‍රී කාලයේදී නොව උදෑසන කාලයේ පහර දීමෙන් ඔවුන් "උපායශීලීව පුදුමයට" පත් කිරීමට හැකි වූ බව ද එම නිවේදනයේ සඳහන්. ප්‍රහාරයේ ප්‍රතිඵල පිලිබඳ තොරතුරු තක්සේරු කරමින් සිටින බව ඊශ්‍රායල් හමුදාව වැඩිදුරටත් පවසයි.

  8. ඇමෙරිකානු ප්‍රහාරවලට 'කිසිදු හේතුවක් නැහැ , අනීතිකයි' - ඉරාන විදේශ අමාත්‍ය

    ඇමෙරිකා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර "සම්පූර්ණයෙන්ම කිසිදු හේතුවක් නොමැතිව අනීතික" ක්‍රියාවක් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.

    සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු තවදුරටත් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් "ඇමෙරිකාව පළමුව වෙනුවට ඊශ්‍රායලය පළමුව බවට පත් කර ඇති බවත් එහි තේරුම සැමවිටම ඇමෙරිකාව අන්තිමයා"බවයි. ඉරානයේ බලවත් සන්නද්ධ හමුදා "මේ දවස සඳහා සූදානම්ව සිටින අතර ආක්‍රමණිකයින්ට පාඩම උගන්වනු ඇති" බව ද ඔහු සිය සටහනේ කරුණු දක්වා තිබෙනවා.

  9. ඉරානයේ බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් 40 දෙනෙකු මිය ගිය බවට වාර්තා, BBC Monitoring

    ඉරානයේ හෝර්මොස්ගන් පළාතේ දකුණු මිනාබ් ප්‍රාන්තයේ බාලිකා ප්‍රාථමික පාසලකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇතැයි, ප්‍රාදේශීය නිලධාරියෙක් රාජ්‍ය IRNA ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබෙනවා.

    මෙම බාලිකා පාසලට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් 48 දෙනෙකු තුවාල ලබා ඇති බවත් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් ආණ්ඩුකාර මොහොමඩ් රඩ්මෙහර් ප්‍රකාශ කර ඇත.

    බීබීසීයට මෙය ස්වාධීනව සත්‍යාපනය කිරීමට නොහැකි වී තිබෙනවා.ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංවිධානවලට ඉරානයට ඇතුළු වීම සඳහා වීසා බලපත්‍ර බොහෝ විට ප්‍රතික්ෂේප කරනු ලබන අතර එමඟින් රට තුළ සිදුවන දේ පිළිබඳ තොරතුරු රැස් කිරීමේ හැකියාව දැඩි ලෙස සීමා වේ.

    ඉරානයේ "සම්පූර්ණයෙන්ම" අන්තර්ජාල විසන්ධි කිරීමක් ඇති අතර මීට පෙර සයිබර් ප්‍රහාරයක් ද එල්ල වී තිබිණි.

  10. විදේශ කටයුතු අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

    මැද පෙරදිග කලාපයේ සියලු ම ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමග සමීප සම්බන්ධතා පවත්වන බවත් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් ජනතාවට දූත මණ්ඩලය හා සම්බන්ධ වීමට සහ සම්බන්ධතා පවත්වා ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා දූත මණ්ඩල හදිසි දුරකතන අංක හඳුන්වා දී ඇති බව ද එම අමාත්‍යංශය පැවසුවා.

    මේ වන විට මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයින්ට එතරම් බලපෑමක් සිදුව නොමැති බව එම නිවේදනයේ තවදුරටත් සඳහන්.

    දූත මණ්ඩල ප්‍රධානීන් විදේශ අමාත්‍යංශය සමග සම්බන්ධතා පවත්වනු ලබන බවත් හදිසි දුරකතන අංකයක් කඩිනමින් ස්ථාපනය කරන බව ඔවුන් දැනුම් දෙනවා.

  11. කටුනායක සිට මැදපෙරදිග බලා පියාසර කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පියාසර කරන සියලු ගුවන් ගමන් අවලංගු කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් කපිතාන් දමිත් රඹුක්වැල්ල පවසනවා.

    මේ වනවිට මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය , ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ෆිට්ස් එයාර් ගුවන් සේවය සහ මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබදතා පවත්වන විදේශීය ගුවන් සේවාවන් වන එමිරේට්ස් , එටිහාඩ් , ෆ්ලයි ඩුබායි , සෞදියා , ඕමාන් එයාර් සහ කටාර් ගුවන් සේවා ප්‍රධානීන් සමග අද (පෙබරවාරි 28) දින ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ පැවති සාකච්ඡාවක දී මෙම තීරණවලට එළඹි බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා බීබීසී සිංහල වෙත කියා සිටියා.

    එමෙන්ම මැදපෙරදිග බලා යෑමට සූදානම් වී සිටින ගුවන් මගීන් කෙළින්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත නොපැමිණ ඒ පිළිබද තම ගුවන් සේවා ආයතන වලින් හෝ කටුනායක ගුවන් තොටුපොළ අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද ඔහු දැනුම් දී සිටිනවා.

    එසේම මේ වනවිටත් මැදපෙරදිග රටවල සිට විශේෂයෙන් චීනය , ඉන්දුනීසියාව , මැලේසියාව යන රටවල සිට මැදපෙරදිග බලා පිටත්ව ඇති ගුවන් යානා වලට සිය ගමනාන්ත කරා ළගා වීමට නොහැකි නිසා එම යානා ගොඩබෑම සඳහා කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ සූදානම් කර ඇති බවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් දමිත් රඹුක්වැල්ල සඳහන් කළා.

  12. ඉරාන උත්තරීතර නායකයාගේ කාර්යාලයට ප්‍රහාර එල්ල වී ඇති බවට වාර්තා

    ටෙහෙරානයේ සහ ඉරානය පුරා නගර ගණනාවක පිපිරීම් ගණනාවක් ඇසුණු අතර ඉරානයේ උත්තරීතර නායකයාගේ කාර්යාලය සහ ටෙහෙරානයේ ජනාධිපති කාර්යාලය ද ඉලක්ක කර ඇතැයි වාර්තා වේ.

    කර්මන්ෂා, කෝම්, ඉස්ෆහාන්, ටැබ්‍රිස්, කරාජ් යන ප්‍රදේශවල හමුදා ස්ථාන මෙන්ම රටේ දකුණේ කෙනරක් හි ඉරාන නාවික කඳවුර ද ප්‍රහාරයෙන් ඉලක්ක වී තිබෙනවා.

    හිටපු ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ජීවත් වන ටෙහෙරානයේ නර්මාක් ප්‍රදේශයේ නිවසට පහර දී ඇති බව ටෙහෙරානයෙන් ලැබෙන ඡායාරූප වලින් පෙන්නුම් කෙරන අතර ඉන් හිටපු ජනාධිපතිවරයා තුවාල ලබා ඇත්ද යන්න පැහැදිලි නැහැ.

    ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ තත්ත්වය සාමකාමිව තබා ගැනීමට ආරක්ෂක හමුදා සූදානම් බවත් රට පුරා බොහෝ රෝහල් සූදානම්ව ඇති බවයි.

  13. අබුඩාබි වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ආසියානු ජාතිකයෙකු මරුට

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම රට "ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයකට" ලක්ව ඇති බවයි.

    "එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති ඉහළ කාර්යක්ෂමතාවයකින් මිසයිල වලට එරෙහිව කටයුතු කළ අතර මිසයිල ගණනාවක් සාර්ථකව වළක්වා ගත්" බව එම නිවේදනයේ තවදුරටත් සඳහන්.

    කෙසේ වෙතත්, අමාත්‍යාංශය පවසන්නේ අබුඩාබි හි නේවාසික ප්‍රදේශයකට මිසයිල සුන්බුන් පතිත වූ අතර එමඟින් යම් හානියක් සිදු වූ අතර ආසියානු ජාතිකයෙකු මිය ගිය බවයි. මියගිය පුද්ගලයා ගේ අනන්‍යතාවය හෙළිකර නැහැ.

    ප්‍රහාරය "භයානක උත්සන්න වීමක් සහ බියගුළු ක්‍රියාවක්" ලෙස එය හෙළා දකින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය "ප්‍රතිචාර දැක්වීමට එහි සම්පූර්ණ අයිතිය තමන් සතුව ඇති බවට " එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

    ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සමඟ අබුඩාබියට දකුණින් පිහිටි අල් දෆ්රා ගුවන් කඳවුරේ සිට ක්‍රියාත්මක වේ.

  14. ඊශ්‍රායලයේ ඉලක්කය වී ඇති ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ජීවිත කතාව

  15. කටාරය තුළ පිහිටි 'අල් උඩෙයිඩ් කඳවුර' ගැන ඔබ දැනගත යුතු දේ

    කටාර් හී අගනුවර වන දෝහා අසල පිහිටා ඇති අල් උඩෙයිඩ්, මැද පෙරදිග ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියාගේ ගුවන් මෙහෙයුම් සඳහා මූලස්ථානය ලෙස කටයුතු කරන අතර ඇමෙරිකානු හමුදා භටයින් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් එහි සේවය කරනවා.

    මෙය දැනට ඉරාකයේ ඇමෙරිකා එක්සත් ජනපද මෙහෙයුම් සඳහා මූලස්ථානය සහ සැපයුම් මධ්‍යස්ථානය ලෙස සේවය කරන අතර ගල්ෆ් කලාපයේ ඇති දිග ම ගුවන් ධාවන පථය ද ඊට ඇතුළත් වේ.

    බ්‍රිතාන්‍ය හමුදා ද එම කඳවුර භාවිතා කරන අතර එය ඇතැම් විට අබු නක්ලා ගුවන්තොටුපළ ලෙස ද හැඳින්වේ.

    2000 දී කටාර් රාජ්‍යය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට අල් උඩෙයිඩ් කඳවුර භාවිතා කිරීමට අවසර දුන්නේය. 2001 දී ඇමෙරිකා එක්සත් ජනපදය එහි පාලනය භාර ගැනීමෙන් පසු, එක්සත් රාජධානිය පදනම් කරගත් බුද්ධි සමාගමක් වන ග්‍රේ ඩයිනමික්ස්ට අනුව, කටාර් රාජ්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදය 2002 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමරිකානු හමුදාව එහි සිටීම නිල වශයෙන් පිළිගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇත.

    2024 දී, ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය තවත් වසර 10 ක් කටාර්හි රැඳී සිටීමට එකඟ වූ බවයි.

  16. ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි යනු කවුද? ඔහුගේ පවුල කෙතරම් බලගතු ද?

  17. දෝහාහි පිපිරීම් හඬවල් ඇසේ

    කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහාහි පිපිරීම් සහ ගුවන් ප්‍රහාරක සයිරන් ඇසී තිබෙනවා.

    "රටේ භූමිය ඉලක්ක කර ගත් ප්‍රහාර ගණනාවක් සාර්ථකව මැඩපැවැත්වූ" බව කටාර් ආරක්ෂක අමාත්‍යංශය පැවසූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

    කටාර් නිලධාරියෙක් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ, එක්සත් ජනපදයේ නිෂ්පාදිත පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතියෙන් ඉරාන මිසයිලයක් බිම හෙළූ බවයි.

    කටාර් රාජ්‍යයේ, කලාපයේ විශාලතම ඇමෙරිකානු හමුදා පහසුකම වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර පිහිටා තිබෙනවා.

  18. බහරේනයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන බලඇණියේ සේවා මධ්‍යස්ථානයට මිසයිල ප්‍රහාර

    බහරේනයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ 5 වන බලඇණියේ සේවා මධ්‍යස්ථානය “මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති” බව බහරේන් ප්‍රවෘත්ති ඒජන්සිය (BNA) උපුටා දක්වමින් එරට ජාතික සන්නිවේදන මධ්‍යස්ථානය පවසනවා.

    “වැඩිදුර විස්තර ඉදිරියේදී ලබා දෙන බව,” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    “අදාළ නිල බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් අනුගමනය කරන ලෙසත්, නිල මූලාශ්‍රවලින් පමණක් තොරතුරු ලබා ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා" යැයි එහි සඳහන්ව ඇත.

    බහරේනයේ පිහිටි ඇමෙරිකා නාවික හමුදාවේ 5 වන බලඇණියේ මූලස්ථානය පිහිටා ඇති අතර ගල්ෆ්, රතු මුහුද, අරාබි මුහුද සහ ඉන්දියානු සාගරයේ කොටස් ඉන් ආවරණය කරන කලාපයට ඇතුළත් වේ.

  19. කලාපයේ ඇමෙරිකානු තානාපති කාර්යාලවලින් නිවේදන

    ඇමෙරිකාව විසින් ඕමානය, කටාර්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන සිය පුරවැසියන්ට වහා ආරක්ෂිත ස්ථානවලට යන ලෙස දැනුම් දී ඇති බව අදාළ රටවල පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල මගින් නිවේදන නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

  20. මැද පෙරදිග පවතින තත්ත්වය ශ්‍රී ලංකන් ගුවන් ගමන්වලට බලපා ඇත්තේ කෙසේ ද?

    මැදපෙරදිග කාලපයේ තත්ත්වය හේතුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් යනා සෞදි අරාබිය හරහා පියාසර කිරීමට පියවර ගෙන ඇතැයි, ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.

    එහි මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා සඳහන් කළේ, වෙනත් දිනවල ශ්‍රී ලංකන් ගුවන් යානා ඉරානය හරහා පියසර කළත් පවතින තත්ත්වය හමුවේ, ‘නොර් ෆ්ලියි සෝන් හින්දා අපි දැන් ඉරානය සහ ඊශ්‍රායල දෙසින් පියාසර කරන යානා සෞදි අරාබිය හරහා තමා පියාසර කරන්නේ’ ඔහු කියා සිටියේය.

    “ඒකෙන් අපිට පැය එකමාරක් විතර ගමනාන්තයට කාලය ගතවෙනවා.”

    “අපි කිසිම ෆ්ලයිට් එකක් කැන්සල් කරන්නේ නැහැ. ගුවන් තොටුපලවල් විවෘත කර ඇති පරිදි ඔපරේට් වෙනවා.”

    “අපේ ෆ්ලයිට් නියමිත වෙලාවට යනවා. කිසිම චේන්ජ් එකක් නැහැ. ලන්ඩන් ෆ්ලයිට් එක විතරක් ටිකක ප්‍රමාද කරලා තියෙනවා.” ඔහු කියා සිටියේය.

    යම් ගැටලුවක් ඇතොත්, 1979 දුරකථන අංකයට හෝ ගුවන් ප්‍රවේශපත්‍රය මිලදී ගත් ගුවන් ගමන් නියෝජිත ආයතනය අමතන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනුම් දෙනවා.

    බීබීසී සිංහල කළ විමසිකමදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේ ඉරාන - ඊශ්‍රායල් ගුවන් කලාපය වසා දමා තිබීම නිසා අද සවස ලන්ඩන් සහ පැරිසිය බලා පියාසර කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ යානාවල ගුවන් මාර්ගයන් වෙනස් කිරීමට පියවර ගන්නා බවය.