අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමට නව මෙහෙයුමක්

A file picture of a Malaysia Airlines Boeing 777-200 - similar to the one which operated flight MH370

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කෝ එව්
    • Role, බීබීසී පුවත්

මීට වසර 10 කට පෙර, ගුවන් සේවාවේ විශාලතම අභිරහසක් ඉතිරි කරමින් අතුරුදහන් වූ මගී ජෙට් යානය සෙවීම නැවත ආරම්භ කිරීමට එකඟ වූ බව මැලේසියානු රජය පවසයි.

මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය, 2014 මාර්තු මාසයේදී, 239 දෙනෙකු සමඟ මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං බලා පියාසර කරමින් සිටියදී අතුරුදන් විය.

බෝයිං 777 යානයේ සුන්බුන් සොයා ගැනීමට වසර ගණනාවක් තිස්සේ ගත් උත්සාහයන් ව්‍යර්ථ වී ඇති අතර, එම යානයේ සිටි මගීන්ගේ පවුල්වල සාමාජිකයන් තම ආදරණීයයන්ට සිදු වූ දෙය පිළිබඳ අවිනිශ්චිතතාවය නිසා දැඩි වේදනාවට පත්ව සිටිති.

මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය ඇන්තනි ලොකේ පසුගිය සිකුරාදා කියා සිටියේ ගුවන් යානය සොයා ගැනීම සඳහා එක්සත් ජනපදයේ සාගර ගවේෂණ සමාගමක් වන ඕෂන් ඉන්ෆිනිටි සමඟ ඩොලර් මිලියන 70 ක් හෙවත් පවුම් මිලියන 56ක ගනුදෙනුවක් වෙනුවෙන් කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දුන් බවයි.

"සොයා ගැනීමක් නොමැති නම්, ගාස්තු ගෙවන්නේ නොමැත" යන විධිවිධානය යටතේ ක්‍රියාත්මක ගිවිසුම යටතේ, ඕෂන් ඉන්ෆිනිටි වෙත සිය ගෙවීම ලැබෙන්නේ යානයේ සුන්බුන් සොයාගත් විට පමණි.

2018 දී ඕෂන් ඉන්ෆිනිටි විසින් MH370 සුන්බුන් සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, මාස තුනකට පසු එය අසාර්ථක ලෙස අවසන් කෙරුණි.

වසර දෙකක කාලයක් පුරා, විශාල මුහුදු ප්‍රදේශයක් සෝදිසි කිරීමට ඩොලර් මිලියන 150 ක් හෙවත් පවුම් මිලියන 120 ක් වැය වූ බහුජාතික සෝදිසි මෙහෙයුම 2017 දී අවසන් විය. මැලේසියාව, ඔස්ට්‍රේලියාව සහ චීනය යන රටවල් තුනේ රජයන් කියා සිටියේ යානය ඇති ස්ථානය පිළිබඳ "විශ්වසනීය නව සාක්ෂි මතු වුවහොත්" පමණක් සෝදිසි කිරීම නැවත ආරම්භ කරන බවයි.

රජය "ප්‍රතිපත්තිමය වශයෙන්" ඕෂන් ඉන්ෆිනිටි යෝජනාව පිළිගෙන ඇතත්, ගනුදෙනුවේ නිශ්චිත කොන්දේසි පිළිබඳ සාකච්ඡා තවමත් සිදුවන බවත්, එය ලබන වසර මුලදී අවසන් වනු ඇති බවත් ලොකේ පැවසුවේ ය.

ක්වාලාලම්පූර් බලධාරීන් විසින් සොයාගත් නව ' විශ්වසනීය' දත්ත මත පදනම්ව දකුණු ඉන්දියානු සාගරයේ වර්ග කිලෝමීටර් 15,000 ක ප්‍රදේශයක් ආවරණය වන පරිදි නව සෝදිසි කිරීම සිදු කෙරෙනු ඇතැයි ඇමතිවරයා කියා සිටියේ ය

"මේ වතාවේ සුබවාදී යමක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා," ලොකේ පැවසීය. සුන්බුන් සොයා ගැනීම, යානයේ සිටි අයගේ පවුල්වලට යම් සැනසීමක් ලබා දෙනු ඇතැයි ඔහු කියා සිටියේ ය.

මෙතෙක් ලද හොඳම නත්තල් තෑග්ග

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

MH370 හි මගීන්ගේ ඥාතීන් මැලේසියානු රජයේ නව සෝදිසි කිරීමේ මෙහෙයුමට ලැබුණු අනුමැතිය පිළිබඳව බොහෝ සෙයින් සතුටට පත්ව සිටිති.

"මේ ආරංචිය මට සතුටක්. එය මෙතෙක් ලැබුණු හොඳම නත්තල් තෑග්ග ලෙස දැනෙනවා."යි, MH370 හි සුපරීක්ෂක ලෙස කටයුතු කළ පැට්රික් ගෝමස්ගේ බිරිඳ ජැක්විටා ගොන්සාලෙස් නිව් ස්ට්‍රේට් ටයිම්ස් වෙත පැවසුවාය.

"මෙම නිවේදනය නිසා බලාපොරොත්තුව, කෘතඥතාව වගේම ශෝකයක් දැනෙනවා. වසර 11 කට ආසන්න කාලයක්, කිසිදු පිළිතුරක් නොලැබී සිටීමේ අවිනිශ්චිතතාවය ඇදහිය නොහැකි තරම් දුෂ්කරයි."යි, ඉන්ටන් මයිසුරා ඔතාමන් පවසා සිටියා ය. ඇගේ සැමියා වන මොහොමඩ් හස්රින් මොහොමඩ් හස්නාන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් විය.

සිය මව ගුවන් යානයත් සමඟ අතුරුදන් වූ ජ්යං හුයි රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ මෙහෙයුම්වලට තවත් පිරිස්වලට සහභාගී වීමට හැකි වන සේ මැලේසියානු රජයට "වඩාත් විවෘත ප්‍රවේශයක්" තිබිය යුතු බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඕෂන් ඉන්ෆිනිටි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඔලිවර් ප්ලන්කට් මැලේසියානු රජයේ තීරණය "විශිෂ්ට" බව පැවසුවේ ය. "අපි මෙම මෙහයුම පිළිබඳව අවසන් එකඟතාවයකට පැමිණි පසුව නව වසරේදී වැඩිදුර තොරතුරු හුවමාරු කරගන්නම්."

MH370 ගුවන් යානය 2014 මාර්තු 8 වන දින අලුයම ක්වාලාලම්පූර් සිට ගමන ආරම්භ කළ අතර, ගුවන් ගත වී පැයකටත් අඩු කාලයකදී ගුවන් ගමනාගමන් පාලක මධ්‍යස්ථානය සමඟ එහි වූ සන්නිවේදනය බිඳ වැටිණි. රේඩාර් පෙන්නුම් කළේ යානය එහි සැලසුම් කළ පියාසැරි මාර්ගය වෙනස් කර ඇති බවයි.

යානය දකුණු ඉන්දියානු සාගරයේ කොතැනකට හෝ කඩා වැටී ඇති බවට විමර්ශකයන් සැක කරන අතර, එය සිදු වූයේ මන්දැයි පැහැදිලි නැත.

ගුවන් යානයේ යැයි සැලකෙන සුන්බුන්, අතුරුදහන් වීමෙන් පසු වසර කිහිපය තුළ ඉන්දියානු සාගරයේ වෙරළතීරවලට ගොඩ ගසා තිබුණි.

ගුවන් නියමුවා හිතාමතාම ගුවන් යානය බිම හෙළා ඇති බවට මෙන්ම, විදේශීය හමුදාවක් විසින් එය බිම හෙළන ලද බවටදකුමන්ත්‍රණ කතා රාශියක් යානය අතුරුදන් වීම වටා ගොඩනැගී තිබුණි.

2018 දී ගුවන් යානයේ අතුරුදන්වීම පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ ගුවන් යානයේ පාලනය, හිතාමතාම වෙනස් කර ඇති බවයි. නමුත් එය සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව කිසිදු නිගමනයකට එළඹී නැත.

"එයට පිළිතුර නිශ්චය කළ හැක්කේ සුන්බුන් හමුවුවහොත් පමණයි" යනුවෙන් විමර්ශකයින් එම අවස්ථාවේ කියා තිබුණි.