ඉන්දීය ගුවන් සේවාවන්ට ව්‍යාජ බෝම්බ අනතුරු ඇඟවීම් 1,000ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2024 නොවැම්බර් 14 වන දා වන විට ඉන්දියාවේ ගුවන් සේවා සහ ගුවන් තොටුපළවලට ව්‍යාජ බෝම්බ තර්ජන 999ක් ලැබී ඇති බව එරට නියෝජ්‍ය සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉන්දීය පාර්ලිමේන්තුවට පැවසීය.
මෙය 2023 දී ලැබුණු තර්ජනවලට වඩා 10 ගුණයක වැඩිවීමක් බව නියෝජ්‍ය සිවිල් ගුවන් සේවා අමාත්‍ය මුරලිදර් මොහොල් ප්‍රකාශ කළේ ය.
එම අනතුරු ඇඟවීම්වලින් 500කට අධික සංඛ්‍යාවක් ලැබී ඇත්තේ, ඔක්තෝබර් මාසයේ අවසන් සති දෙකේදී ය.
ව්‍යාජ තර්ජන ශීඝ්‍ර ලෙස වැඩිවීම නිසා ගුවන් ගමන් කාලසටහන් ව්‍යාකූල වී ඇති අතර එමගින් සේවා පුළුල් වශයෙන් බිඳ වැටිණි.
මෑත කාලීන තර්ජන සියල්ල ම ව්‍යාජ ඒවා වූ අතර, "ඉන්දියාවේ කිසිදු ගුවන් තොටුපළකින් හෝ ගුවන් යානයකින් සැබෑ තර්ජනයක් අනාවරණය වී නැත," යනුවෙන් මොහොල් පැවසීය.
මෙම තර්ජන සම්බන්ධයෙන් පොලිසිය පැමිණිලි 256ක් ලියාපදිංචි කර ඇති අතර පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එහෙත්, එවැනි ව්‍යාජ තර්ජනවල පෙර නොවූ විරූ වැඩිවීමක් මෙම පැමිණිලිවලින් අනාවරණය වෙයි.
2014 සහ 2017 අතර, බලධාරීන් විසින් ගුවන් තොටුපළවල ව්‍යාජ බෝම්බ අනතුරු ඇඟවීම් 120ක් පමණක් වාර්තා කර ඇති අතර, අඩකට ආසන්න සංඛ්‍යාවක් රටේ විශාලතම ගුවන් තොටුපළවල් වන දිල්ලි සහ මුම්බායි වෙත යොමු කර ඇත.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පසුගිව ඔක්තෝබර් මාසයේදී සිදුවූ ව්‍යාජ තර්ජන හේතුවෙන් බලපෑමට ලක්වූ ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වූ අතර අනෙක් ඒවා හරවා යවා තිබිණි.
වෙනත් රටවල් වෙත පියාසර කරන ගුවන් යානාවලට එල්ල වන ව්‍යාජ තර්ජන ජාත්‍යන්තර ආයතන සමග ද සම්බන්ධ වේ.
ඔක්තෝබර් මාසයේදී සිංගප්පූරු ගුවන් හමුදාව බෝම්බ තර්ජනයක් හේතුවෙන් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ආරක්ෂිතව රැගෙන යාමට ප්‍රහාරක ජෙට් යානා දෙකක් යවා ඇත.
එම මාසයේ ම නවදිල්ලියේ සිට චිකාගෝ වෙත තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් කැනඩාවේ දූරස්ථ ගුවන් තොටුපළකට ගොඩ බැස්සවීමට සිදු විය.
අදාළ ගුවන් යානයේ සිටි මගීන් පසුව කැනේඩියානු නිලධාරීන් විසින් යොදවන ලද ගුවන් හමුදා යානයකින් චිකාගෝ වෙත රැගෙන යන ලදී.
ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ගුවන් ගමන් මෙහෙයුම් ආරක්ෂා කිරීම සඳහා "හැකි සෑම උත්සාහයක් ම" ගන්නා බව පවසා තිබිණි.
ඉන්දියාවේ ගුවන් තොටුපළවල බෝම්බ තර්ජන තක්සේරු කිරීමේ කමිටුවක් ඇති අතර එය තර්ජනයේ බරපතළකම තක්සේරු කර ඒ අනුව පියවර ගනී. තර්ජනයක් වෙනුවෙන් බෝම්බ නිෂ්ක්‍රීය අංශය, නිල සුනඛයන්, ගිලන් රථ, පොලිසිය සහ වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීමට සිදුවිය හැක.
මැදිරි ගමන් මලු, පිරික්සුම් ගමන් මලු සහ භාණ්ඩ සමග මගීන් ගුවන් යානයෙන් ඉවත් කරන අතර, ඔවුන් සියල්ල නැවත පරීක්ෂා කරනු ලැබේ. ඉංජිනේරු සහ ආරක්ෂක කණ්ඩායම් ද යානය නැවත පියාසර කිරීම සඳහා නිෂ්කාෂණය කිරීමට පෙර සෝදිසි කරති.
එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ප්‍රමාදය නිසා ගුවන් සමාගම්වලට සහ ආරක්ෂක ආයතනවලට ඩොලර් දහස් ගණනක අලාභයක් සිදු විය හැකි ය.
ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අනුව පසුගිය වසරේ මිලියන 150කට වැඩි මගීන් පිරිසක් ඉන්දියාවේ දේශීයව ගුවන් ගමන් භාවිත කර ඇත.
ජාත්‍යන්තර ගුවන් තොටුපළ 33ක් ඇතුළුව ගුවන් තොටුපළ 150කට අධික සංඛ්‍යාවකින් දිනකට ගුවන් ගමන් 3,000කට වැඩි සංඛ්‍යාවක් ඉන්දීය ගුවන් තොටුපළවල් හරහා සිදුවෙයි.














