'Golden Crescent' සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන එන අයුරු සහ ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වන හැටි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් මත්ද්‍රව්‍ය රැගෙන ආ ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන පරික්ෂා කරන අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Lokesh Sharma / BBC

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල

මත්ද්‍රව්‍ය ජාවාරම ගෝලීයව සියලු ම රටවල් මුහුණ දෙන ප්‍රධාන පෙලේ ගැටලුවක් වී තිබේ. පසුගිය වසර කිහිපය තුළ මෙරට මුහුදු සීමාව තුළදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙරටට රැගෙන එමින් තිබූ මත්ද්‍රව්‍ය කිලෝ දහස් ගණනින් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදය ද මේ වන විටත් සිය රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට චෝදනා කරමින් ලතින් ඇමෙරිකානු රටවල ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

නැගෙනහිර ඉන්දියානු සාගර කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නැගෙනහිර ඉන්දියානු සාගර කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරමට ප්‍රධාන වශයෙන් සම්බන්ධ බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් 2024 වසරේදී ප්‍රසිද්ධියට පත් කර ඇති වාර්තාවක දැක්වේ.

මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී මාලදිවයින සහ ශ්‍රී ලංකාව එම ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇති අතර මෙම රටවල් දෙක ප්‍රධාන මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ස්ථාන බවට පත්ව ඇති බව එම වාර්තාවේ සඳහන් ය.

ආසියාවේ ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය නිපදවන රටවල්වලට සමීපව පිහිටා ඇති රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින සතුව ඇති විශාල වෙරළ තීරයන් සහ භූගෝලීය පිහිටීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.

විදෙස්ගතව සිටින සංවිධානත්මක අපරාධ නායකයින් හරහා මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වෙන ආකාරය

අතීතයේ ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ආ අයුරු

කලකට පෙර ශ්‍රී ලංකාවට හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන එනු ලැබුවේ විදෙස් රටවල සිට පැමිණි ගුවන් මගීන් විසිනි. ගුවන් තොටුපොළ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් ත්‍රීව කිරීමත් සමග ජාවාරම්කරුවන් විසින් කන්ටේනර් තුළ සඟවා මත්ද්‍රව්‍යය එවීමට කටයුතු කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධමය තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් එල්ටීටීඊ සංවිධානය ද ඉන්දියාවේ සිට හෙරොයින් ප්‍රවාහනය කළේ ය.

පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට එවන ලද කන්ටේනර් ඇසුරුම් තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට අවස්ථා රැසකදී රේගු බලධාරීන් සමත් විය. පසුව මෙම තත්ත්වය ක්‍රමයෙන් ධීවර බෝට්ටු ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරමක් දක්වා ව්‍යාප්ත වී ඇත.

එමෙන් ම රාත්‍රී සාදවලදී භාවිත කරන කුෂ්, හෂිස් සහ LSD වැනි මත්ද්‍රව්‍ය කුරියර් ඔස්සේ විදේශ රටවල සිට මෙරටට එවනු ලැබූ අවස්ථා රැසකදී රේගු නිලධාරීන් විසින් ඒවා සිය භාරයට ගනු ලැබීය.

වර්තමානය වන විට මන්නාරම, කන්කසන්තුරේ, යාපනය, මුලතිව් සහ කල්පිටිය ආශ්‍රිත මුහුදු තීරයන් ඔස්සේ වැඩි වශයෙන් රට තුළට රැගෙන එනු ලබන්නේ ඉන්දියාවේ සිට රැගෙන එන කේරළ ගංජා සහ මත්පෙති වැනි තහනම් ද්‍රව්‍ය වන අතර දකුණු මුහුද ආශ්‍රිතව හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ජාවාරම්කරුවෝ කටයුතු කරති.

'Golden Crescent' සහ 'Golden Triangle'

මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයක්.

ඡායාරූප මූලාශ්‍රය, SL Navy

ඡායාරූප ශීර්ෂ වැකිය, මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයක්
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර ඉන්දීය මුහුදු කලාපය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවරමේ නිරත පිරිස් ශ්‍රී ලංකාව සිය මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රීය ස්ථානයක් බවට පත්කර ගෙන ඇති බව 2024 එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාල වාර්තාවේ දැක්වේ.

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීමේ ප්‍රධාන මර්මස්ථාන දෙකක් ලෙස 'ගෝල්ඩන් ක්‍රෙසන්ට්' සහ 'ගෝල්ඩන් ට්‍රයන්ගල්' යන කලාප දෙක හඳුනාගෙන ඇත.

'ගෝල්ඩන් ට්‍රයන්ගල්' යනුවෙන් හඳුන්වන කලාපයට මියන්මාරය, තායිලන්තය, වියට්නාමය සහ ලාඕසය යන රටවල් අයත් වේ. 'ගෝල්ඩන් ක්‍රසන්ට්' යනුවෙන් හඳුන්වන කලාපයට අයත් වන්නේ ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ ඉරානය යි.

ඇෆ්ගනිස්ථානය හෙරොයින් නිෂ්පාදනයට ප්‍රසිද්ධියක් ඉසිලුව ද මෑත කාලයේ සිට 'අයිස්' නමින් හඳුන්වන 'ක්‍රිස්ටල් මෙත්' නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පෙළඹී සිටීම සහ ඉරානය මෙන් ම පකිස්ථානය හරහා ඒවා ලෝකයේ අනෙක් රටවලට බෙදා හැරීම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සඳහන් කරන පරිදි මෙම කලාප දෙක ආශ්‍රිතව මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදා හැරීම බොහෝ කාලයක සිට සිදු කරමින් පවතී.

'ගෝල්ඩන් ට්‍රයන්ගල්' කලාපයට අයත් රටවල් ආශ්‍රිතව හෙරොයින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරුණ ද මේ වන විට 'ගෝල්ඩන් ක්‍රෙසන්ට්' කලාපයට අයත් ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය යන රටවල හෙරොයින් සහ ක්‍රිස්ටල් මෙත් මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් නිෂ්පාදනය කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම, ප්‍රවාහනය සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එම වාර්තාව සැකසීමේදී සිය දායකත්වය සැපයු නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණයේ නිලධාරියෙකු වූ කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ ය.

ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටීම නිසා 'ගෝල්ඩන් ක්‍රෙසන්ට්' ලෙස හඳුන්වන කලාපයට අයත් රටවල් හරහා මෙරටට වැඩි වශයෙන් 'අයිස්' සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැමිණෙන බව ය.

"ඇත්තට ම ඕක එන්නේ දෙපැත්තකින්. එකක් ඇවිල්ලා 'රන් ත්‍රිකෝණය' කියලා අපි හඳුන්වන්නේ. ඒකට මියන්මාරය, තායිලන්තය, වියට්නාමය සහ ලාඕසය කියන රටවල් අයිති වෙනවා. මේ රටවල් හරහා තමයි අබිං ඇතුළු ඔපියම් ආශ්‍රිත මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ. මේ රටවල්වලින් ඉන්දියාව සිංගප්පූරුව හරහා මත්ද්‍රව්‍ය ඍජුව ම මෙහෙට අරන් එන එක ටිකක් අමාරු වැඩක්.

ඒ වගේ ම සින්තටික් මත්ද්‍රව්‍ය කියලා අපි හඳුන්වන ක්‍රිස්ටල් මෙත් (අයිස්) සහ හෙරොයින් කියන කෘත්‍රිම වර්ගයේ මත්ද්‍රව්‍ය මේ වෙන කොට ඉරානය, ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය කියන රටවල්, ඒ කියන්නේ අපි 'රන් අඩ සඳ' එහෙමත් නැත්නම් 'ගෝල්ඩන් ක්‍රෙසන්ට්' කියලා හඳුන්වන තැනින් තමයි ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ම එන්නේ. ඇෆ්ගනිස්ථානය දැන් වෙන කොට ක්‍රිස්ටල් මෙත් වගේ මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්න පෙළඹිලා ඉන්නවා," ඔහු පවසයි.

"බැලොචිස්ථානය, ඉරානය පැත්තෙන් මේ මත්ද්‍රව්‍ය අරන් එන්න ලේසියි. මේ මත්ද්‍රව්‍ය අප්‍රිකාවටත් යවනවා. ඒ වගේ ම මේවා නැවත බෙදා හරින්න කටයුතු කරන්න මාලදිවයින, ශ්‍රී ලංකාවට අරන් එනවා. එතැනින් තමයි ඔස්ට්‍රේලියාවට මත්ද්‍රව්‍ය අරන් යන්නේ. බැලොචිස්ථානය සහ ඉරානය අතර පිහිටලා තියෙන 'මක්ක්‍රන් වෙරළ තීරය' හරහායි මේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම ආරම්භ වෙන්නේ.

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් විදිහට භාවිත කරන්නේ. හෙරොයින්, අයිස් වගේ දේවල් ලංකාවට ගෙනල්ලා මෙහෙට අවශ්‍ය ප්‍රමාණය තියාගෙන ඉතුරු ටික ට්‍රාන්සිට් කරනවා. මේ ගේන ඔක්කො ම මත්ද්‍රව්‍ය ලංකාවේ භාවිත කරන්න තරම් පිරිසක් නැහැ. රටින් අරන් එන මත්ද්‍රව්‍යවලට තවත් කෙමිකල් වගේ දේවල් එකතු කරලා ඒ බර ප්‍රමාණය වැඩි කරලා ඔස්ට්‍රේලියාව වගේ වෙනත් රටවල්වලට නැවත බෙදා හැරීම සිදු කරනවා," හෙතෙම පවසයි.

වසරින් වසර මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම වෙනස් වූ අයුරු මෙම සිතියමේ දැක්වේ.

මක්ක්‍රන් වෙරළේ සිට ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය මක්ක්‍රන් වෙරළ ඔස්සේ ශ්‍රී ලංකාව, මාලදිවයින ඇතුළු රටවල් දක්වා ප්‍රවාහනය කරනු ලබන්නේ ඉරාන සහ පකිස්ථාන ජාතිකයින් විසිනි.

ඔවුන් විසින් විශාල ප්‍රමාණයේ බහු දින ධීවර යාත්‍රා මෙන් ම විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකා උපයෝගී කර ගනිමින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකාවට දකුණින් වූ ගැඹුරු මුහුදේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට එම මත්ද්‍රව්‍ය හුවමාරු කිරීම සිදුකරනු ලබන බව අප සමග අදහස් දැක් වූ විමර්ශන නිලධාරීහු පවසති.

"2020 අවුරුද්දට කලින් මේ ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු මාර්ගය වෙනකම් ඇවිල්ලා ඒ අයගේ මත්ද්‍රව්‍ය බෙදාහැරිමේ ජාලය ක්‍රියාත්මක කළා. නමුත් අපේ ආරක්ෂක අංශ මෙහෙයුම් වැඩි කිරීම, බුද්ධි තොරතුරු හුවමාරු කිරීමත් එක්ක මේ ජාවාරම්කරුවන් දැන් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ කලාපයෙන් ඈතට වෙන්න තමයි එයාලගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සිදුකරන්නේ.

සාමාන්‍යයෙන් ඔවුන් ජාත්‍යන්තර නෞකා යාත්‍රා කරන මාර්ගයට ආසන්නයේ ඉඳලා මේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීම් කරන්න පියවර අරන් තියෙනවා. මේ ජාවාරම්කරුවන් දැන් චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන දුරකතන උපයෝගී කර ගන්නවා ඔවුන්ගේ බෙදා හැරීමේ කටයුතු සිදුකරන්න. ඒ සැටලයිට් ෆෝන්වලින් තමයි එයාලා කමියුනිකේෂන් කරන්නේ කොතැනට ද එන්න ඕන කියලා තොරතුරු හුවමාරු කර ගන්න.

ගොඩක් වෙලාවට ලංකාවේ ඉදලා මාළු අල්ලන්න කියලා යන ට්‍රෝලර් බෝට්ටු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයි ද කියලා දැන ගන්න එක අපේ ආරක්ෂක අංශවලට මොනිටර් කර ගන්න පුළුවන්. මොකද ඒ අයගේ ක්‍රියාකලාපයන් වගේ ම සමහර කරුණු ගැන ආවේක්ෂණ නිලධාරීන් අවධානයෙන් ඉන්නේ," කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ පැවසුවේ ය.

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය පැමිණෙන මුහුදු මාර්ග මෙම සිතියමේ දැක්වේ. අරාබි මුහුද සහ ඉන්දියන් සාගරය, මාලදිවයින සහ මොරිෂස් දූපත වටා ගමන් කරමින් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට පැමිණෙන ආකාරය මෙමගින් නිරූපණය කර ඇත.

රට තුළ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වෙන අයුරු

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සහයෝගයෙන් බව කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ පවසයි. ඔහු කියා සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කණ්ඩායමේ නායකයා බොහෝ විට විදේශ රටක සිට එසේත් නැත්නම් බන්ධනාගාරගතව සිට සිය ජාවාරම මෙහෙයවන බවයි.

"මේ ජාවාරමේ ප්‍රධාන නායකයා ඉන්නේ ඩුබායි, ඉන්දියාව හෝ වෙනත් විදේශ රටක එහෙම නැත්නම් බන්ධනාගාරගතව. ඒ වගේ ම මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙහෙයුම් නායකයෙක් ඉන්නවා. ඒ කෙනා අනිවාර්යෙන් ම ලංකාවේ ඉන්නේ. ගොඩක් වෙලාවට එක්කෝ බන්ධනාගාරය ඇතුළේ එහෙමත් නැත්නම් එළියේ තමයි මේ කෙනා ඉන්නේ. මේ කියන මෙහෙයුම් නායකයාගේ යටින් ඉන්නවා ටැක්ටිකල් ලීඩර් කෙනෙක්. මේ කෙනාගේ වගකීම තමයි මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය නගර හෝ ගම ඇතුළේ කරගෙන යන එක.

ඩුබායි එහෙමත් නැත්නම් වෙනත් රටක ඉන්න මේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ නායකයා තමයි ඇණවුම ලබා දෙන්නේ ඇෆ්ගනිස්ථානයේ හරි පකිස්ථානයේ ඉන්න මත්ද්‍රව්‍ය සැපයුම් කරන කෙනාට. ගොඩක් වෙලාවට මේ ඇනවුම් ලබා දෙන්නේ වට්ස්ඇප්, බොටීම් (BOTIM) ඇප් වලින් එහෙමත් නැත්නම් සැටලයිට් ෆෝන් හරහා.

ඊට පස්සේ ඇණවුම භාර ගන්න කෙනා පකිස්ථානයේ වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඇෆ්ගනිස්ථානයෙන් මේ මත්ද්‍රව්‍ය ටික ලෑස්ති කරලා ඒ ටික මක්ක්‍රන් වෙරළ තිරයට ගේනවා.

මේ වෙද්දී මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න කෙනෙක් සූදානම් කර ගන්න එක ඩුබායි එහෙමත් නැත්නම් විදේශගතව ඉන්න ප්‍රධාන ජාවාරම්කරු සිදුකරනවා. එයාලා මුලින් ම කුඩා බෝට්ටුවලින් මේ මත්ද්‍රව්‍ය ටික අරන් ගිහින් භාර දෙනවා මුහුදේ තියෙන ඉරාන බෝට්ටුවලට.

මේ අරන් එන මත්ද්‍රව්‍ය ලංකාවට දකුණින් ගැඹුරු මුහුදට එන්න කලින් ලංකාවේ ඉන්න ඔපරේෂන් ලීඩර්ට, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ නායකයාට දැනුම් දෙනවා මත්ද්‍රව්‍ය අරන් බෝට්ටුව එනවා කියලා.

එතකොට අර ඔපරේෂන් ලීඩර් හැටියට කටයුතු කරන කෙනා ලංකාවෙන් බහුදින ධීවර යාත්‍රාවක් ලෑස්ති කරනවා මුහුදට යවන්න. ගොඩක් වෙලාවට බෝට්ටුව අහුවුණා ම බෝට්ටුවේ අයිතිකාරයා කියනවා මෙහෙම ජාවාරමකට බෝට්ටුව යොදා ගන්නවා කියලා එයා දන්නේවත් නැහැ කියලා. සමහර වෙලාවට ස්කිපර් (ට්‍රෝලර් යාත්‍රාවේ නියමුවරයා) බෝට්ටුවේ යන අනිත් මිනිස්සු හැමෝම සම්බන්ධ වෙලත් මේක කරනවා.

මේ විදිහට මත්ද්‍රව්‍ය අරන් එන බෝට්ටුවත් එක්ක සම්බන්ධ වෙන්න ලංකාවෙන් යන බහුදින ධීවර යාත්‍රාවේ ඉන්න අයයි. ඉරාන හරි පකිස්ථාන හරි යාත්‍රාව මත්ද්‍රව්‍ය අරන් එද්දී මුහුදේදී එයාලා මුණගැහෙන තැන තීරණය කරන්නේ සැටලයිට් ෆෝන්වලින් සම්බන්ධ වෙලා. පස්සේ ලංකාවෙන් යන ට්‍රෝලර් බෝට්ටුවට මත්ද්‍රව්‍ය හුවමාරු කරනවා. ඊට පස්සේ ඒ බෝට්ටුව ආපහු ගොඩබිමට එනවා සාමාන්‍යයෙන් මුහුදු රස්සාවේ ගියපු යාත්‍රාවක් විදිහට," ඔහු පවසයි.

මේ, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සංවිධාන ව්‍යුහය පෙන්වන සටහනකි. එහි ඉහළින් ම සිටින්නේ ඩුබායි / ඉන්දියාවේ හෝ
බන්ධනාගාරයේ සිට ක්‍රියාත්මක වන නායකයා, දෙවනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මෙහෙයුම් නායකයා, තෙවනුව උපායශීලි නායකයා සහ පසුව ගම් මට්ටමේ ක්‍රියාකරු හා නගරයේ ක්‍රියාකරු සම මට්ටමින් ක්‍රියාත්මක වේ.

'සල්ලි වෙනුවට රත්තරන් යවන්නේ'

මෙරට තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන මුදල් විදේශ රටවලට රැගෙන යන්නේ නීතිවිරෝධී මුදල් හුවමාරු ක්‍රමවලින් සහ ඇතැම් විට රත්තරන්වලින් බවට කරුණු අනාවරණය වී ඇති බව ද නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණයේ නිලධාරියෙකු වූ කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ කියා සිටියේ ය.

"මේ මත්ද්‍රව්‍යවලින් උපයන මුදල් ලංකාවෙන් පිට කරන්නේ හවාල් හරි උණ්ඩියල් හරි කියන නීතිවිරෝධී ආකාරයෙන් මුදල් හුවමාරු කිරීමේ ක්‍රමයට. ඒ වගේ ම මේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ගේ සංවිධානාත්මක අපරාධවලට, රාත්‍රී සමාජ ශාලාවලට, ගණිකා ජාවාරම්වලට වගේ දේවල්වලට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්න මුදල් යොදා ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේ ම ආරක්ෂක අංශ වල ඉඳලා ආපු කෙනෙක්ව දිරිමත් කරලා ඒ කෙනාව යොදා ගන්නවා තුවක්කුකරුවෙක් හැටියට. මේවට මුදල් වියදම් කරන්නේ මේ ලැබෙන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබෙන සල්ලිවලින්.

ඒ වගේ ම ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවේ සිදු කරන කේරළ ගංජා වගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලදී කෙලින් ම ඉන්දියාවට සල්ලි යවන්න විදිහක් නැති නිසා ඔවුන් ඒවායේ වටිනාකම හැටියට ශ්‍රී ලංකාවේ ඉන්දියාවට රත්තරන් යවනවා," ඔහු පවසයි.

'බන්ධනාගාර පද්ධතියේ වෙනසක් කරන්න අවශ්‍යයි'

මෙරට බන්ධනාගාර තුළ සිදුවන ක්‍රියාකාරකම් මැඩලීම සඳහා වගකිවයුතු බලධාරීන් ඉක්මන් පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ පෙන්වා දුන්නේ ය.

"උදාහරණයක් හැටියට මහර බන්ධනාගාරය ඇතුළේ මොබයිල් ෆෝන් සිග්නල් ජෑම් කරන ජෑමර් සෙට් කරන්න විදිහක් නැහැ. මොකද ඒ බන්ධනාගාරය අවට සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන ගෙවල් තියෙනවා. මේ නිසා ඒ බන්ධනාගාරය වෙන තැනකට අරන් යන්න වෙනවා. ඒ වගේ ම බන්ධනාගාර ඇතුළේ ඉන්න අපරාධකරුවන්ගේ අතට ෆෝන් ලැබෙනවා."

"මම මේ වාර්තාව හදන කොට ගොඩක් බන්ධනාගාර නිලධාරීන්, මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ක සාකච්ඡා කළා. මට තේරුම් ගිය එක දෙයක් තමයි බන්ධනාගාර පද්ධතිය සම්පූර්ණයෙන් ම වෙනස් කරන්න වෙනවා කියන එක. ඒකේ ඇතුළේ ඉඳලා තමයි මේ මත්ද්‍රව්‍ය මෙහෙයුම් වැඩියෙන් ම සිදුකරන්නේ. ගොඩක් විශාල පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරය ඇතුළේ ඉදලා එයාලගේ මෙහෙයුම් සිද්ධ කරගෙන යනවා. මේ වගේ දේවල් පාලනය කරන්න වගකිවයුතු අංශ දැන් ඉඳලා ම කටයුතු කරන එක වැදගත්." ඔහු කියා සිටියේය.

මුහුදේ ඇති බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු සුනඛයින් දෙදෙනෙකු යොදා ගෙන සෝදිසි කරන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, SL Navy

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවට බටහිරින් වූ මුහුදු තිරයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 335ක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා නිලධාරීන් විසින් පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගනු ලැබිණි

'බුද්ධි තොරතුරු ඔස්සේ මෙහෙයුම් අඛණ්ඩව සිද්ධ කරනවා'

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් බීබීසී සිංහල වෙත පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ය.

"අපි මෙහෙයුමක් දියත් කරන්න කලින් අපිට ලැබෙන බුද්ධි තොරතුරු ගැන ආවේක්ෂණය කරලා ඒ මත්ද්‍රව්‍ය රැගෙන එන මුහුදු මාර්ගය, අරන් එන්නේ කොහොම ද, කියන එක ගැන වගේ ම ඇතිවෙන්න පුළුවන් තර්ජනයන් ගැන අපි තක්සේරුවක් කරලයි අපි මෙහෙයුම් සිදුකරන්නේ.

"මේ මත්ද්‍රව්‍ය අරන් එන පිරිස් කවුද, ඒවා අරන් එන බෝට්ටු මොනවා ද කියන එක ගැන අපි හොඳ අවබෝධයකින් ඉන්නේ. මෙතැනදී තියෙන තවත් අභියෝගයක් තමයි ශ්‍රී ලංකාව වටා තියෙන මුහුදු සීමාව විශාල වීම නිසා නාවික හමුදාවට විශාල ප්‍රයත්නයක් දරන්න වෙනවා. නමුත් අපි එයාලගේ උපක්‍රම හඳුනාගෙන ඒ අනුව අපේ මෙහෙයුම් සිදුකරනවා.

"මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාලයෙන් කාලයට විවිධ උපක්‍රම අනුගමනය කරනවා. අපි එතැනදී ලංකාව වටා ම මුහුදු කලාපය ආවරණය වෙන විදිහට අපේ නාවික හමුදා මෙහෙයුම් සිද්ධ කරනවා. මෙතැනදී නාවික හමුදාවේ නිලධාරීන්ට මත්ද්‍රව්‍ය මෙහෙයුමක් සිද්ධ කරන්න කොච්චර කාලයක් යනවා ද කියලා කියන්න අමාරුයි. එතැනදී දැඩි පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා.

මෙතැනදී අපි සාමූහික වශයෙන් මුහුදු තීරය ආරක්ෂා කරන්නේ කියන එක ගැන අවධානය යොමු කරනවා. එතැනදී අපිට විදෙස් බුද්ධි සේවා වගේ ම දේශීය බුද්ධි තොරතුරු අනුව මෙහෙයුම් සිදුකරනවා. ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන එන මුහුදු මාර්ගය, ඒ ජාවාරම්කරුවන් මොනවගේ කාලවලදී ද ලංකාවට මේවා අරන් එන්නේ කියන එක ගැන අපි අවධානයෙන් ඉන්නේ. ඒ වගේම ඔවුන් කරන උපක්‍රම ඔක්කොම අපි දන්නවා," නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඊට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බහරේන්, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය ඇතුළු ලෝකයේ රටවල් 47ක නාවික හමුදා විසින් ඒකාබද්ධව මෙම සමුද්‍රීය බලකායට සම්බන්ධව සිටි.

ඡායාරූප මූලාශ්‍රය, CTF

'CMF එක ලොකු වැඩක් කරනවා'

ලෝකයේ වැදගත් ම නැව් මාර්ග කිහිපයක් ආවරණය වන පරිදි වර්ග සැතපුම් මිලියන 3.2ක පමණ වන ජාත්‍යන්තර ජල තීරයේ ආරක්ෂාව, ස්ථාවරත්වය වෙනුවෙන් ඇමෙරිකානු මධ්‍යම සේනා විධානය විසින් ඒකාබද්ධ සමුද්‍රීය බලකාය නමින් විශේෂ මෙහෙයුම් ඒකකයක් පවත්වාගෙන යනු ලබයි.

ඊට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බහරේන්, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය ඇතුළු ලෝකයේ රටවල් 47ක නාවික හමුදා ඒකාබද්ධව මෙම සමුද්‍රීය බලකායට සම්බන්ධව සිටියි.

මෙම ඒකාබද්ධ සමුද්‍රීය බළකාය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට, මුහුදු මංකොල්ලකරුවන්ගෙන් නෞකා ආරක්ෂා කිරීම ඇතුළු සමුද්‍රීය මෙහෙයුම් සිදුකරනු ලබයි.

මෙම ඒකාබද්ධ සමුද්‍රීය බළකාය හරහා ශ්‍රී ලංකාව ඇතුළු නැගෙනහිර දකුණු ආසියාවේ රටවල් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම සඳහා සක්‍රීය සහයෝගය ලබා ගත හැකි බව නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණයේ නිලධාරියෙකු වූ කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ පැවසුවේය.

"කම්බයින්ඩ් මැරිටයිම් ෆෝස් එකේ මූලස්ථානය තියෙන්නේ බහරේන්වල. අපේ නේවි එකේ නිලධාරියෙකුත් එහෙ ඉන්නවා. මේ අය ත්‍රස්ත ක්‍රියාකාරකම්, මුහුදු මංකොල්ලකෑම් වගේ ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලන්න විශේෂයෙන් මෙහෙයුම් කරනවා. ලංකාව දැනටමත් මේ ඒකාබද්ධව සමුද්‍රීය බළකායේ සාමාජික රටක් හැටියට අපිට මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධව උදව් ගන්න පුළුවන්. ඒකාබද්ධව සමුද්‍රීය බලකාය මත්ද්‍රව්‍ය වැටලීම් කළා ම බෝට්ටුව ආපහු ගොඩබිමට අරන් එන්නේ නැහැ. එයාලා ගොඩක් වෙලාවට මුහුදේ දීම ඒ බෝට්ටුව විනාශ කරනවා. සැකකරුවන් භාර දෙනවා නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මේක අපිට හොඳ අවස්ථාවක්," ඔහු පැහැදිලි කළේ ය.

ගතවූ වසර 5 තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණ

මෙරටදී පසුගිය වසර 5 තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 8,000ක්, කංසා කිලෝග්‍රෑම් 82,000ක් සහ අයිස් කිලෝග්‍රෑම් 5,491ක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ය. මෙම මෙහෙයුම්වලදී සැකකරුවන් ලක්ෂ 9කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පත්වල පවතින හිඟතාවන් පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාල වාර්තාවේ සඳහන් ව තිබේ.

"ශ්‍රී ලංකා නිලධාරීන් පැවසුවේ ක්‍රියාවලිය ඵලදායී ලෙස නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රමාණවත් සම්පත් හෝ හඳුනාගැනීමේ පද්ධති ඔවුන් සතුව නොමැති බවයි. ඔවුන් බොහෝ දුරට රඳා පවතින්නේ බුද්ධි තොරතුරු රැස් කිරීම සහ මුහුදේ සැක සහිත ධීවර බෝට්ටු සහ කුඩා නැව් ලුහුබැඳීම මත ය," යනුවෙන් එම වාර්තාවේ සඳහන් ය.

"ශ්‍රී ලංකාවට තියෙන ප්‍රධාන ගැටලු තමයි මෙහෙයුම්වලට අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික ක්‍රමවේදයන්වල තියෙන හිඟතාව. ගුවන් තොටුපොළ සහ වරායන් ආශ්‍රිතව තව එක්ස්රේ මැෂින් එහෙම අඩුපාඩු තියෙනවා. බුද්ධි තොරතුරු හුවමාරු කරගන්න වෙන ම නෙට්වර්ක් එකක් හදාගෙන තියෙනවා. නමුත් ආණ්ඩු මාරු වෙද්දී ඒවයේ ඉන්න නිලධාරීන් මාරු වෙනවා. එහෙම නැතිව නිසි විදිහට ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හරහා මේ ජාවාරම් මැඩලන්න පුළුවන්," නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණයේ නිලධාරියෙකු වූ කමාන්ඩර් (විශ්‍රාමික) චතුර ගමගේ අවධාරණය කළේ ය.