ජනාධිපති කාර්යාලය අසල ගංජා වැවූ 'කිං කොයිසන්' අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, AFP
දකුණු අප්‍රිකානු පොලිසිය, ප්‍රිටෝරියාහි පිහිටි ජනාධිපති සිරිල් රමෆෝසාගේ කාර්යාලය අසල තිබූ ගංජා පැළ කිහිපයක් ගලවා දමා තිබේ.
මෙම ගංජා පැළ, ආදිවාසී කොයිසාන් ප්‍රජාවේ සමාජ ක්‍රියාකාරීන්ට අයත් වූ අතර, ඔවුන්ගෙන් සමහරෙක් වසර තුනක් තිස්සේ මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන හිඳ ඇත.
තමා 'කොයිසාන් රජු' ලෙස හඳුන්වාගන්නා ඔවුන්ගේ නායකයා පොලිසිය ඇදගෙන යද්දී, ඔහු විශාල ගංජා පැළයක එල්ලී සිටියේ ය.
AFP ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ, ඔහු ඒ අවස්ථාවේ "පොලිසිය... උඹලා යුද්ධයක් පටන්ගත්තේ"යි කෑ ගැසූ බව යි.
"අපි සාමකාමීව මෙහේ හිටියා. අපි උඹලා ගැන බලාගන්නම්," ඔහු තවදුරටත් පොලිසියට අභියෝග කළේ ය.
ඔහු ඒ මොහොතේ සිට අත්අඩංගුවේ පසුවේ.
ඔහුත්, ඔහුගේ මිත්‍ර ක්‍රියාකාරීන් කීපදෙනෙකුත්, "දගා (ගංජා) විකිණීම, දගා නීතිවිරෝධී ලෙස වගා කිරීම මෙන්ම පොදු ස්ථානයක මුහුණු ආවරණයක් පළඳින ලෙස පොලිස් නිලධාරියෙකු අණ කළ පසුවත් එසේ කිරීමට අපොහොසත් වීම," හේතුවෙන් රඳවාගෙන සිටින බව AFP වෙත ප්‍රකාශකර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
2018 දී, මෙම පිරිස තම භාෂාව නිල වශයෙන් පිළිගන්නැ යි ඉල්ලමින් උද්ඝෝෂණය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයෙන් පිටත ඇති, නෙල්සන් මැන්ඩෙලාගේ යෝධ පිළිරුව අසල පිහිටි හරිත අවකාශයේ සිය කඳවුරු බැඳ ගත්හ.
දකුණු අප්‍රිකාවේ IOL ප්රවෘත්ති වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කොයිසන් රජුගේ බිරිඳ සිද්ධිය පිළිබඳව සිය කෝපය පළ කළා ය.
"මට මේ ගැන හරිම කේන්තියි," සින්තියා රැජින පැවසුවා ය. ඔවුන් සමග කතා කිරීම සඳහා "එන්න ජනාධිපතිතුමාට ඕනකමක් නැහැ," ඇය පැවසුවා ය.
ඇය IOL වෙත වැඩිදුරටත් පවසා සිටියේ කොයිසන් ජනතාවට අවශ්‍ය වන්නේ පිළිගැනීම පමණක් බව යි.
අතීතයේ සිටම, පිළිකා සහ අධි රුධිර පීඩනය වැනි ලෙඩරෝග සඳහා ප්‍රතිකාර ලෙස මිනිසුන් ගංජා භාවිතා කර ඇතැ යි ඇය තවදුරටත් පැවසුවා ය. මේ ගංජා වගා කර තිබුණේ එළවළු කොරටුවක ය.
2018 දී දකුණු අප්‍රිකාව පුද්ගලික ස්ථානවල පුද්ගලික ගංජා භාවිතය සාපරාධී වරදක් නොවන බව ප්‍රකාශ කළේ ය.
කොයිසන්වරුන් දකුණු අප්‍රිකාවේ පැරණිතම ජන වර්ගය වන අතර, දැන් එරට සුළුතරයක් බවට පත්ව සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, AFP










