තාලිබාන් මත්ද්‍රව්‍ය යුද්ධයේ අභ්‍යන්තරය-පොපි වගාබිම් විනාශ කෙරෙයි

Taliban destroy poppy heads against a mountain background
    • Author, යෝගිතා ලිමායේ
    • Role, බීබීසී පුවත්, ඇෆ්ඝනිස්ථානය

වම් උරයේ එල්ලාගත් AK-47 ඇසෝල්ට් රයිෆලයක් සමබර කෙරුමට උත්සාහ දරමින් දකුණතින් විශාල දණ්ඩක් දරා සිටින අබ්දුල්, ඔහුට හැකි වෙරෙන් පොපි ගෙඩි තලමින් සිටියි. පොපි දඬුත්, පොපි බල්බ වලින් වෑහෙන ඉස්මත්, ඕපියම්හි (අබිං) ඉතා පිරිසිදු ස්වරූපයෙන් නිකුත්වෙන විශේෂ, කටුක ගන්ධයෙන් වාතලය පුරවයි.

මිනිත්තු කීපයක් තුළ, අබ්දුල් හා තවත් දුසිමක් පමණ පුරුෂයෝ කුඩා ගොවිබිමක වවා තිබූ පොපි වගාව මුළුමනින්ම විනාශකර දැමූහ. අනතුරුව, සියලු දෙනා ෂල්වාර් කමිසවලින් (දිගු කමිසය හා සැහැල්ලු කලිසම්වලින් යුත් සාම්ප්‍රදායික ඇෆ්ඝන් ඇඳුම) සැරසී, බොහෝදෙනා දිගු රවුළු සහිතව ද, ඇතැමුන් දෑස් වටා ඇඳි කළු පැහැ කෝල් රේඛාවන්ගෙන් ද යුතුවූ මේ සන්නද්ධ පිරිමින්, ඊළඟ ගොවිබිම වෙත ගමන් කිරීම සඳහා පිකප් ට්‍රක් රියක පිටුපසට ගොඩවිය.

මේ මිනිසුන් අයත්වන්නේ, ඇෆ්ඝනිස්ථානයේ පෙරදිග නන්ගර්හාර් පළාතේ තාලිබාන් මත්ද්‍රව්‍ය නාශක අංශයට ය. පොපි වගාව මුලිනුපුටා දැමීමේ අරමුණින් සිදුකරන මුර සංචාරයක් සඳහා ඔවුන් හා එක්වීමට අපට ද දුලබ ප්‍රවේශයක් ලැබුණි. දෙවසරකට අඩු කලෙකට ඉහත දී, මේ මිනිසුන් ඇෆ්ඝනිස්ථානයේ බලය යළි අල්ලාගැනීම සඳහා සිදුකළ යුද්ධයේ කොටසක් ලෙස කැරලිකාර සටන්කරුවන් වශයෙන් යුදවැදී තිබුණි. දැන් ජයග්‍රාහක පාලක පක්ෂයේ සිටින ඔවුහු සිය නායකයාගේ අණ ක්‍රියාත්මක කරති.

2022 අප්‍රේල් මාසයේ දී, තාලිබාන්හි උත්තරීතර නායක හැබතුල්ලා අඛූන්සාදා විසින් පොපි වගාව (හෙරොයින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍යය වන ඕපියම් මෙයින් නිස්සාරණය කෙරෙයි) මුළුමනින්ම තහනම්බවට තීන්දු ප්‍රකාශයක් නිකුත් කළේ ය. මෙම තහනම කඩකරන ඕනෑම අයෙකුගේ ගොවිබිම වනසා දැමෙන අතර ඔවුනට ෂාරියා නීතියට අනුව දඬුවම් කෙරෙනු ඇත.

තාලිබාන් මාධ්‍ය ප්‍රකාශකයෙකු බීබීසීය වෙත පැවසූ පරිදි, ඔවුන් එම තහනම පනවා තිබෙන්නේ ඕපියම්හි (පොපි ගෙඩියෙන් ලබාගැනෙයි) අහිතකර විපාක හේතුවෙන් හා එය ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට එරෙහිව යන නිසාවෙනි. ඇෆ්ඝනිස්ථානය ලොව ඕපියම් සැපයුමෙන් 80%කට වඩා නිෂ්පාදනය කළේ ය. යුරෝපයේ මත්ද්‍රව්‍ය වෙළඳපොළේ ඇති හෙරොයින්වලින් 95%ක්ම ඇෆ්ඝන් ඕපියම්වලින් නිපදවූ ඒවා ය.

බීබීසීය දැන් ඕපියම් පොපි වගාවට එරෙහි සෘජු ක්‍රියාකාරීත්වයේ බලපෑම අධ්‍යයනය කිරීම සඳහා ඇෆ්ඝනිස්ථානයට සංචාරයකර, චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයන් භාවිතාකර තිබේ. පොපි වගාව මර්දනය කිරීමෙහිලා තාලිබාන් පාලකයින් අන් කවරෙකුටත් වඩා සාර්ථකවී ඇතිබව පෙනෙයි.

පොපි වගාවේ වැටීමක්

ඕපියම් වගාකරන ප්‍රධාන පළාත්වල පොපි වගාවේ විශාල කඩාවැටීමක් අප නිරීක්ෂණය කළ අතර, එක් ප්‍රවීණයෙකු අපට පැවසුවේ ගිය වසරට සාපේක්ෂව මෙවර වාර්ෂික ඵලදාව 80%කින් පමණ පහත වැටෙනු හැකිබව යි. පොපිවලට ආදේශක ලෙස අඩු-ලාභ ගෙනදෙන තිරිඟු වගාකර තිබෙන නමුත් බොහෝ ගොවීන් පවසන්නේ ඔවුන් මූල්‍යමය වශයෙන් දුෂ්කරතා අත්විඳිනබවකි.

ඉඳින් නන්ගර්හාර්, කන්දහාර් හා හෙල්මන්ඩ් පළාත්වලට ගිය අපි වලගොඩැලි ගහණ මඩ සහිත මාර්ග හරහා රිය පදවා, හුදෙකලා, කඳුකර ප්‍රදේශවල, ගොවිබිම් මැදින් සැතැප්ම ගණනක් පයින්ම ඇවිදිමින්, ගුලු ගුලු හඬ නගමින් ගලා බසින දිය පහරවලට උඩින් පැන, බිමේ යථාර්ථය දැකීමට ගියෙමු.

වීඩියෝ ශීර්ෂ වැකිය, තාලිබානය ඕපියම් පොපි වගාවක් බිම හෙළයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තාලිබාන් තීන්දු ප්‍රකාශය 2022 වසරේ ඕපියම් අස්වැන්නට බලපැවැත්වුණේ නැත. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයයට (UNODC) අනුව එය 2021 වසරේ අස්වැන්නට වඩා තුනෙන් එකකින් විශාල ය.

නමුත් මෙවසරේ දී එය බොහෝ වෙනස් ය. ඉහළ සිට ලබාගන්නා ලද ඡායාරූප, බිමේ දී අපට හමුවූ සාක්ෂිවලට ගැලපෙයි.

චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය සඳහා විශේෂඥතාවක් දරන එක්සත් රාජධානි ආයතනයක් වන Alcis සමග කටයුතු කරන ආචාර්ය ඩේවිඩ් මැන්ස්ෆීල්ඩ්, ඇෆ්ඝනිස්ථානයේ මත්ද්‍රව්‍ය වෙළඳාම පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි.

"[මෙවර] අස්වැන්න 2022 අවුරුද්දේ අස්වැන්නෙන් 20%කටත් වඩා අඩුවෙන්න ඉඩ තියෙනවා. අඩුවීමේ පරිමාණය පෙර නොවූ විරූ එකක් වේවි," ඔහු පවසයි.

ගොවීන්ගෙන් විශාල පිරිසක් පොපි වගා තහනමට අනුකූලව සිටින අතර, එසේ නොවූ තැනැත්තන්ගේ වගාවන් තාලිබාන් සටන්කරුවන් විනාශ කරමින් සිටියි.

නන්ගර්හාර්හි දී අප එක්වූ තාලිබාන් මුර සංචාර කණ්ඩායමේ අණදෙන නිලධාරියා වන තූර් ඛාන්, ඔහු හා ඔහුගේ මිනිසුන් දැනට මාස පහක් පමණ තිස්සේ පොපි වගාවන් වනසමින් උන් අතර පොපි හෙක්ටයාර දස දහස් ගණනක් විනාශකර දමා ඇතැ යි පවසයි.

ගොවීන්ගේ කෝපය

"උඹලා මගේ කුඹුර විනාස කරනවා, දෙයියෝ උඹලගේ ගෙවල් විනාස කරන්න ඕන," එක් කාන්තාවක් ඇගේ පොපි කෙත වනසමින් සිටිනා තාලිබාන් ඒකකය වෙත මොරදෙයි.

"මං උඹට උදේම කිව්වා ඒක විනාස කරලා දාන්න කියලා. උඹ එහෙම කළේ නෑ, ඉතින් දැන් මට ඒක කරන්න වෙනවා," තූර් ඛාන් මහ හඬින් ආපිට පිළිතුරු දෙයි. කාන්තාව ඇගේ ගෙතුළට ඇදෙයි.

ඇගේ පුත්‍රයා තාලිබානය විසින් රඳවාගනු ලැබෙතත්, පැය කීපයකට පසු අනතුරු හැඟවීමක් ද සමග නිදහස් කෙරිණ.

Toor Khan (right) razing a poppy field to the ground along with Taliban members
ඡායාරූප ශීර්ෂ වැකිය, තූර් ඛාන් (දකුණේ) සෙසු තාලිබාන් සාමාජිකයන් සමග පොපි වගාවක් බිම හෙළයි

තාලිබාන්වරුන් සන්නද්ධව හා පිරිස් බලය සහිතව ගමන් කරන්නේ මේ පෙදෙසේ කෝපගත් ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රතිරෝධය එල්ලවූ අවස්ථාවන් ඇතිබැවිනි. පොපි මුලිනුපුටා දැමීමේ ව්‍යාපාරයක් අතරතුරේ ඇතිවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් එක් සාමාන්‍ය වැසියෙකු මියගොස් ඇති අතර, ප්‍රචණ්ඩ ගැටුම් පිළිබඳ වාර්තාවන් ද පවතියි.

තාලිබාන් ඒකකය ඔහුගේ කෙත විනාශ කරද්දී, අලි මුහම්මද් මියා නම් ගොවියාගේ මුහුණෙහි වූයේ දුහ්ඛිත පෙනුමකි. ඒකකයේ වැඩ අවසන්වීමෙන් පසු රෝස පැහැ පොපි මලින් ද, කොළ පැහැ පොපි ගෙඩිවලින් ද, බිඳුණු නටුවලින් ද ඔහුගේ කෙත වැසී තිබුණි.

තහනම තිබිය දී පොපි වගාකළේ මන්දැ යි අපි ඔහුගෙන් විමසීමු.

"ගෙදර කෑම නැත්නම්, ළමයි බඩගින්නේ ඉන්නවා නම්, අපි වෙන මොනවා කරන්න ද," ඔහු කියයි. "අපිට මහලොකු ඉඩකඩම් නෑ. අපි මේවයෙ තිරිඟු වැව්වොත් අපට ලැබෙන්නේ ඕපියම්වලින් ලැබෙන ආදායමෙන් කොටසක් විතරයි."

Farmer Ali Mohammed Mia
ඡායාරූප ශීර්ෂ වැකිය, පොපි වගාව තහනම් කිරීම නිසා, අලි මුහම්මද් මියා වැනි ගොවීන්ට තිරිඟු වැනි වඩාත් ලාභ බෝග වගා කිරීමට සිදුවී තිබේ

මෙහි අපූර්වත්වය නම්, තාලිබානය රිටි පමණක්ම යොදාගෙන වගා විනාශකර දමනා වේගය යි. එකක් වර්ග මීටර 200 - 300 අතර වන කෙත්බිම් හයක් එළිකර දමන්නට ඔවුනට ගතවූයේ පැය බාගයකට මඳක් වැඩි කාලයකි.

කුසගින්නේ පසුවන ඔවුන්ගේම මිනිසුන්ගේ ආදායම් ලැබීමේ මාර්ගය විනාශකර දැමීම ගැන ඔවුනට දැනෙන්නේ කුමක්දැ යි අපි තූර් ඛාන්ගෙන් විමසීමු.

"ඒක අපේ නායකතුමාගෙ අණ. එතුමාට අපේ පක්ෂපාතකම කොච්චර ද කියනව නම්, එතුමා මගෙ යාලුවට කිව්වොත් මාව එල්ලලා මරන්න කියලා, මම ඒක පිළිඅරන් මගෙ යාලුවට බාරවෙනවා," ඔහු කියයි.

ඇෆ්ඝනිස්ථානයේ ඕපියම් නිෂ්පාදනයෙන් අඩකට වැඩි ප්‍රමාණයකට වග කියන, නිරිතදිගට වන්නට පිහිටි හෙල්මන්ඩ් පළාත එරට ඕපියම් වගාවේ හදවත මෙන්විය. අප තාලිබාන් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් මිදී තනිවම එහි ගමන් කරන්නේ, එය දැන් දිස්වන්නේ කෙසේදැ යි සියැසින් දැක ගැනීම සඳහා ය.

පසුගිය වසරේ අප මේ පළාතට පැමිණ සිටි විට දී පොපි කුසුමින් වැසීගත් බිම් පදාසයන් දුටිමු. මෙවර, පොපි වැවූ එකදු කෙතක් හෝ දැකගැනීමට අප අසමත්විය.

Graphic: Helmand poppy cultivation has collapsed - shows two satellite pics of the province (2022 and 2023) demonstrating the fall-off in poppy farming

හෙල්මන්ඩ් පළාතේ පොපි වගාව 99%කින්ම පහත වැටී ඇතිබව Alcis ආයතනයේ විශ්ලේෂණයෙන් පෙන්වයි. "හෙල්මන්ඩ් පළාතේ චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නන විදියට පොපි වගාව හෙක්ටයාර 1000කට වඩා පහත වැටිලා, නමුත් ගිය අවුරුද්දේ ඒ අගය හෙක්ටයාර 129,000ක්," ඩේවිඩ් මැන්ස්ෆීල්ඩ් පවසයි.

තිරිඟු වගාව

අපට හෙල්මන්ඩ් පළාත් අගනුවර වන ලෂ්කර් ගාට දකුණින් පිහිටි මර්ජා දිස්ත්‍රික්කයේ ගොවියෙකු වන නියමතුල්ලා දිල්සොස් හමුවුණේ, ඔහු තිරිඟු අස්වැන්න නෙළනා අතරේ දී ය. ඔහු පසුගිය වසරේ දී එම කෙතෙහි පොපි වවා තිබිණි. තාලිබාන් බල කඳවුරක්වන හෙල්මන්ඩ්හි ගොවීන් සියල්ලන්ම පාහේ තහනමට අවනතවී ඇතැ යි ඔහු පවසයි.

"ගොවියො කීපදෙනෙක්, ඒ අයගෙ තාප්පවලින් වටවෙච්ච මැද මිදුල්වල පොපි වවන්න හැදුවා. ඒත් තාලිබාන් එක ඒවා හොයාගෙන විනාස කරලා දැම්මා," නියමතුල්ලා කියයි.

තිරිඟු නටු කැපෙන හඬත්, කුරුළු නාදයත් හැරුණුකොට මේ කෙත නිහඬ ය. යුද්ධය අතරතුර, මේ කෙතෙහි යුද පෙරමුණක් තිබුණි. එක්සත් රාජධානි බලකායන්ගේ කඳවුරක් හෙල්මන්ඩ්හි පිහිටි අතර, ඔවුන් එහි දී ඔවුන්ගේ දරුණුම සටන් කීපයක් සිදුකළේ ය.

Graph: How poppy cultivation in Helmand has fallen (shows drop from 51.9% of crops in 2022 to 0.4% in 2023)

නියමතුල්ලා වයස විසි ගණන්වල මුල්භාගයේ සිටින්නෙකි. ඔහු ඔහුගේ ජීවිතය තුළ, බෝම්බයක් වැදීමේ බියකින් තොරව එළිපහළියේ ඇවිදින පළමු සමය මෙය යි. නමුත්, දැනටත් දීර්ඝ යුද්ධයකින් බැටකා ඇති ජනතාවකට, ඇෆ්ඝනිස්ථානය තුළ අන්ත දරිද්‍රතාවකට තුඩුදෙමින් ඇතිවූ ආර්ථික බිඳවැටීමක් මධ්‍යයේ පැමිණි මේ ඕපියම් තහනම දැඩි පහරක් එල්ලකර තිබේ. එරට ජනගහණයෙන් තුනෙන් දෙකක පිරිසක්, සිය මීළඟ ආහාරවේල ලැබෙනු ඇත්තේ කෙසේදැ යි නොදනිති.

"අපි හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ. අපි ඕපියම්වලින් හම්බකළා වගෙ හතරෙන් එකක්වත් තිරිඟු වවලා උපයන්න බෑ," ඔහු පවසයි. "මට මගෙ පවුලෙ අයට ඕනෙ දේවල් දෙන්න විදියක් නෑ. මට ණයට ගන්න සිද්ධවෙලා තියෙනවා. බඩගින්න උපරිම යි, ඒත් අපට ආණ්ඩුවෙන් කිසි උදව්වක් නැහැ."

Farmer Niamatullah harvesting wheat in his fields
ඡායාරූප ශීර්ෂ වැකිය, නියමතුල්ලා, දැන් පොපි වෙනුවට වගාකෙරෙන තිරිඟු නෙළාගනියි

තාලිබාන් රජය ජනතාවට උපකාර පිණිස කුමක් සිදුකරන්නේදැ යි, අපි තාලිබාන් රජයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක සබියුල්ලා මුජාහිද්ගෙන් විමසීමු.

"අපි දන්නවා මිනිස්සු හරිම දුප්පත්, එයාලා දුක් විඳිනවා කියලා. නමුත් ඕපියම්වලින් වෙන හානිය, ඒකෙ ප්‍රතිලාභවලට වඩා වැඩියි. අපේ මිලියන 37ක ජනගහණෙන් අපේ මිනිස්සු මිලියන හතරක් මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා දුක් වින්දා. ඒක ලොකු අංකයක්," ඔහු පවසයි. "විකල්ප ජීවනෝපාය ගැන කතා කරනවා නම්, අපට ඕන පාඩු විඳින ඇෆ්ඝනිවරුන්ට ජාත්‍යන්තර ප්‍රජාව උදව් කරන එක."

හිටපු ඇෆ්ඝන් රෙජීමයට හා බටහිර බලවේගවලට එරෙහිව තාලිබානය සටන් වදිමින් සිටි සමයේ දී ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්වූයේ ඕපියම්යැ යි, එක්සත් ජාතීන්, ඇමෙරිකා එක්සත් ජනපදය හා වෙනත් රාජ්‍යයන් සිදුකරන ප්‍රකාශයන් ඔහු ප්‍රතික්ෂේප කරයි.

තාලිබාන් රජය විසින් කාන්තාවන් සියලු රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම වළකමින් තහනමක් පනවා, ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු හා අරමුදල් උවදුරෙහි හෙළා ඇතිවිට, ජාත්‍යන්තර සංවිධාන උපකාර කරනු ඇතැ යි අපේක්ෂා කරන්නේ කෙසේදැ යි අපි තාලිබානයෙන් ඇසුවෙමු.

"ජාත්‍යන්තර ප්‍රජාව මානුෂීය ගැටලු දේශපාලනික ගැටලු එක්ක පටලවාගන්න හොඳ නැහැ," මුජාහිද් පිළිතුරු දෙයි. "ඕපියම් හානි කරන්නේ ඇෆ්ඝනිස්ථානෙට විතරක් නෙවේ, මුළු ලෝකෙටම ඒකෙන් බලපෑම් ඇතිවෙලා තියෙනවා. ඉතින් ලෝකය මේ මහා නරකෙන් ගලවාගත්තොත්, ඒකට ප්‍රත්‍යුපකාර විදියට ඇෆ්ඝන් ජනතාවට උදව් ලැබෙන එක තමයි සාධාරනේ."

ඕපියම් මිල ඉහළට

ඇෆ්ඝනිස්ථානය තුළ, ඕපියම් තහනම විසින් එහි මිලට ඇතිකර ඇති බලපෑම පැහැදිලිවම පෙනෙයි. සාම්ප්‍රදායිකව පොපි වගාකරන ප්‍රදේශයක් හා තාලිබානයේ අධ්‍යාත්මික නිවහන ද වන කන්දහාරයේ දී, පසුගිය වසරේ සිය ඕපියම් අස්වැන්නෙන් ස්වල්පයක් - අඳුරු, කටුක ගන්ධයක් සහිත ඕපියම් ලාටුවෙන් පිරි, පාපන්දුවක ප්‍රමාණයේ ප්ලාස්ටික් මළු දෙකක් - සඟවාගෙන සිටින ගොවියෙකු අපට හමුවිය. ඔහුගේ ආරක්ෂාව පතා අපි ඔහුගේ අනන්‍යතාව සඟවමු.

"ගිය අවුරුද්දෙ, තහනමට පොඩි කාලෙකට කලින් මං මේ වගෙ මල්ලක් වික්කෙ දැන් මට ලැබෙන ගාණෙන් පහෙන් එකකට වගෙ. මං බලාගෙන ඉන්නෙ මිල තවත් ඉහළ යනකල්, එතකොට මට වැඩි කාලයක් මගෙ පවුල නඩත්තු කරන්න පුළුවන්. අපේ තත්ත්වෙ හරි නරක යි. මං දැනටමත් කෑමබීම, ඇඳුම් පැළඳුම් ගන්න ණයක් අරන් තියෙන්නෙ. ඇත්තටම මං දන්නවා ඕපියම් හානිකර යි කියලා, ඒත් විකල්පෙ මොකද්ද?" ඔහු අසයි.

Two bags of opium resin
ඡායාරූප ශීර්ෂ වැකිය, අප හා කතාබහ කළ ගොවියෙකු, මර්දනය නොතකා තවමත් තම ඕපියම් අස්වැන්න විකුණාගැනීමට බලාපොරොත්තු වෙයි

වෙළඳුන්ට හෙරොයින් සපයන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් දාමය වෙත මේ මිලෙන් බලපෑමක් එල්ලවීම සඳහා යම් කාලයක් ගතවනු ඇත.

"ඕපියම් සහ හෙරොයින් අවුරුදු 20කින් වාර්තාවුණු ඉහළම මිලක පැවතුණත්, ඒවායේ මිල පහුගිය මාස හය තිස්සෙම පහත වැටෙමින් පැවතුණා. ඒ, මේ අවුරුද්දේ පොපි වගාව මෙච්චර පහත වැටිලා තිබියදීත්," මැන්ස්ෆීල්ඩ් පවසයි. "මේකෙන් හැඟවෙන්නේ සිස්ටම් එක ඇතුළෙ තවමත් සැලකිය යුතු තරම් තොග පවතිනබවත්, හෙරොයින් නිෂ්පාදනය සහ වෙළඳාම දිගටම සිද්ධවෙනබවත් තමයි. අසල්වැසි ප්‍රාන්තවලිනුත්, ඉන් ඔබ්බටත් සිදුකරන වැටලීම්වලින් ද පෙන්නුම් කරන්නේ හෙරොයින් හිඟයක් අත ළඟට ඇවිත් නැතිබව යි."

හිටපු UNODC නිලධාරියෙකු වන මයික් ට්‍රේස්, තාලිබානයේ පළමු රෙජීමය 2000 වසරේ දී (එක්සත් ජනපදය ප්‍රමුඛවූ ඇෆ්ඝනිස්ථාන ආක්‍රමණයට වසරකට පෙර) ඕපියම් වගාව තහනම් කරන විට එක්සත් රාජධානි රජයේ මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්ව සිටියේ ය.

"ඒකෙන් බටහිර [හෙරොයින්] මිල ගණන්වලට හා වෙළඳපොළට විශාල හෝ ක්ෂණික බලපෑමක් ඇතිවුණේ නැහැ, මොකද මත්ද්‍රව්‍ය ජාවාරම් දාමයට සම්බන්ධ තැනැත්තන් [හෙරොයින්] මහා ගොඩක් ගොඩගහගෙන හිටපු නිසා," ඔහු පවසයි. "මේ වෙළඳපොළේ ස්වභාවය ඒක යි. ඒක පහුගිය අවුරුදු 20 තුළ මූලිකවම වෙනස්වෙලා නැහැ."

Poppies in field, photographed from close-up

ඇමෙරිකානු ගුවන් ප්‍රහාර

තාලිබානයේ අරමුදල්හි මූලය වනසාදැමීමේ අරමුණින්, ඕපියම් නිෂ්පාදනය හා ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා එක්සත් ජනපදය විසින් ඇෆ්ඝනිස්ථානය තුළ දී ඩොලර් බිලියන ගණනක් වියදම් කෙරිණි.

ඔවුහු තාලිබාන-පාලිත ප්‍රදේශවල පොපි වගාබිම්වලට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, ඕපියම් තොග පිළිස්සීම හා මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර වැටලීම සිදුකළහ.

නමුත්, එක්සත් ජනපද හිතවාදී හිටපු ඇෆ්ඝන් රෙජීමය පාලනය කළ ප්‍රදේශවල ඕපියම් නිදහසේ වගා කෙරිණි. මෙය 2021 වසරේ දී තාලිබානය යළි බලයට පැමිණීමට ප්‍රථම බීබීසීය විසින් නිරීක්ෂණය කෙරුණු යමක්විය.

දැනට, ඇෆ්ඝනිස්ථානය තුළ දී බටහිර ජාතීන්ට සිදු කිරීමට නොහැකිවූ දෙය තාලිබානය විසින් ඉටුකර ඇතැ යි පෙනෙන්නට තිබේ. නමුත්, ඔවුන්ට ද මෙය තව කොපමණ කලක් පවත්වාගෙන යා හැකිවේ ද යන්න ගැටලුවකි.

එක්සත් රාජධානියේ සහ යුරෝපයේ අනෙකුත් රටවල හෙරොයින් ඇබ්බැහිය සම්බන්ධයෙන් මයික් ට්‍රේස් පවසන්නේ, ඇෆ්ඝනිස්ථානයේ ඕපියම් වගාව විශාල ලෙස පහත වැටීම හරහා යුරෝපය පරිභෝජනය කරන මත්ද්‍රව්‍ය වර්ගය වෙනස්වීමට ඉඩක් ඇතිබවකි. "මිනිසුන් ඕපියම්වලට වඩා අන්තවෙන්න පුළුවන් කෘත්‍රිම මත්ද්‍රව්‍ය භාවිතාව වෙත යොමුවෙන්න ඉඩක් තියෙනවා."

Additional reporting by Imogen Anderson and Rachel Wright

අතිරේක වාර්තාකරණය ඉමොජන් ඇන්ඩර්සන් සහ රේචල් රයිට් විසිනි