මැජික්-මෂ්රූම් ඖෂධයෙන් දැඩි විෂාදයට ප්‍රතිකාර කළ හැකියි - සායනික පරීක්ෂාවක් ප්‍රතිඵල දෙයි

Psychedelic magic mushrooms

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විද්‍යාඥයින් සිලොසයිබින්හි කෘත්‍රිම ආකාරයක් නිර්මාණයකර ඇත

සති 12ක් දක්වා වන කාලයකට දැඩි විෂාදයේ රෝග ලක්ෂණ යහපත් අතට හැරවීමට භ්‍රාන්තිජනක තුවාල අඩංගු සංඝටකයක් මත පදනම්ව නිපදවනු ලබන ඖෂධයකට හැකිබව සායනික පරීක්ෂාවක් මඟින් පෙන්නුම්කර ඇත.

රෝගීන් ස්වප්නමය තත්ත්වයකට පත්කිරීමට මිලිග්‍රෑම් 25ක සිලොසයිබින් (psilocybin) පෙත්තකට හැකි අතර, මෙමඟින් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර වඩාත් සාර්ථකවීමට මඟපාදයි.

නමුත් කෙටිකාලීන අතුරු ආබාධ බියජනකවිය හැකි බැවින් රෝගියාට අවැසි සැණින් සහාය ලබාගැනීමේ අවස්ථාව තිබිය යුතුබව පර්යේෂකයෝ පවසති.

ප්‍රවීනයන් පවසන්නේ මේ සම්බන්ධයෙන් දීර්ඝ පසුවිපරමක් සහිත වඩාත් විශාල අධ්‍යයනයන් සිදුකිරීමට අවශ්‍යවනබව යි.

ලොව පුරා මිලියන 100ක ජනතාවක් දැනට පවතින කිසිදු ප්‍රතිකාරයකට ප්‍රතිචාර නොදක්වන බරපතල සායනික විෂාදයට ගොදුරුව සිටිනබව ඇස්තමේන්තුකර ඇත - මින් 30%ක් සියදිවි නසාගැනීමට උත්සාහ දරයි.

මානසික ආබාධයන් සඳහා සිලොසයිබින්හි බලපෑම විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කෙරෙන්නේ වසර ගණනාවක සිට ය.

මෑතක දී සිදුකළ අධ්‍යයනයන්ගෙන් බලාපොරොත්තු ඇතිකරවන අන්දමේ ප්‍රතිඵල ලැබී ඇතිමුත්, ඒවා ඖෂධයේ දිගුකාලීන බලපෑම් තක්සේරු කිරීමට නොහැකි තරම් කෙටි ය.

නිව් ඉංග්ලන්ඩ් වෛද්‍ය ජර්නලයේ ප්‍රකාශයට පත්කෙරුණු මෙම නවතම පරීක්ෂාවේ දී, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවල් 10ක පුද්ගලයින් 233 දෙනෙකුට 1mg, 10mg සහ 25mg මාත්‍රාවන් ලබාදී පරීක්‍ෂා කරන ලද අතර, 25mg වඩාත්ම යහපත් ප්‍රතිඵල ලබාදුන්නේ ය.

'අවදිව සිටිනවිට දකින සිහිනයක්'

මින් බහුතරයක් දෙනා වසරකට වැඩි කලක් දැඩි විෂාදයෙන් පෙළුණු, වයස අවුරුදු 40ක් පමණවූවන්බව, ලන්ඩනයේ කිංග්ස් කොලෙජ්හි මනෝවෛද්‍ය, මනෝවිද්‍යා සහ ස්නායු විද්‍යා ආයතනයේ සහ මෝඩ්ස්ලි NHS පදනම් භාරයේ පර්යේෂකයෝ පැවසූහ.

මනෝචිකිත්සාව ද සමග ලබාදුන් Comp360 සිලොසයිබින් 25mg එක් මාත්‍රාවකින් පසු:

  • සෑම තිදෙනෙකුගෙන් එක් අයෙකු සති තුනකට පසු තවදුරටත් විෂාදයෙන් පෙළෙන්නෙකු ලෙස හඳුනාගනු නොලැබිණි
  • සෑම පස්දෙනෙකුගෙන්ම එක් අයෙකු සති 12ක දී සැලකියයුතු ප්‍රගතියක් ලබනබව දක්නට ලැබුණි

අධ්‍යයනයේ කතුවරයා සහ විශේෂඥ මනෝවෛද්‍ය ජේම්ස් රුකර් පැවසුවේ ඖෂධය, "මොළය තුළ සෘජුව ක්‍රියාකර, එය වඩාත් නම්‍යශීලී තත්ත්වයකට පත්කර, ප්‍රතිකාර සඳහා අවස්ථාවක් ලබාදෙන්නේයැ"යි සිතනබව යි.

A treatment room where patients in the trial were given a psilocybin tablet
ඡායාරූප ශීර්ෂ වැකිය, දැඩි විෂාදයෙන් පෙළෙන රෝගීන්ට සායනික පරීක්ෂාවේ දී භ්‍රාන්තිජනක ඖෂධයකින් ප්‍රතිකාර කෙරුණු කාමරය

සන්සුන් කාමරයක සයනයක් මත වැතිර සිටින රෝගීන් පැය හයේ සිට අට දක්වා කාලයක් මනෝභ්‍රමික "ගමනක්" අත්වින්දේ ය - ඔවුන්ගෙන් අයෙකු එක "අවදිව සිටිනවිට දකින සිහිනයක්" ලෙස විස්තරකර තිබුණි.

"ඒක ඉතාම ධනාත්මකවෙන්න පුළුවන් වගේම සෘණාත්මකවෙන්නත් පුළුවන්," වෛද්‍ය රුකර් BBCය හා ප්‍රකාශ කළේ ය.

"උදාහරණයක් විදියට, දරාගැනීමට දුෂ්කර අතීත මතකයන් මතුවෙලා එන්න පුළුවන් වගේම, ඔබට ඔබ සමගමත්, ඔබේ හැඟීම් සමගත් ප්‍රතිසම්බන්ධයක් ඇතිවෙනබව දැනෙන්න පුළුවන්."

අවශ්‍ය සහාය සැපයීම සඳහා සෑම විටම මනෝචිකිත්සකයෙකු ද එහි සිටියේ ය.

ආරක්ෂිතබව පිළිබඳ ගැටලු

පරීක්ෂණයෙන් පසු දිනයේ දීත්, ඉන් සතියකට පසුත්, රෝගීන්ට සිය අත්දැකීම් සම්බන්ධයෙන් කතාබහ කිරීමට අවශ්‍ය මනෝවිද්‍යාත්මක සහාය ලබාදෙනු ලැබුණි.

"[කලින්] 'මට මොකද්ද වෙලා තියෙන්නේ' කියලා අහපු රෝගීන් දැන් 'මට මොකද වුණේ?' කියලා අහනවා," මනෝචිකිත්සක නාදාව් ලයෑම් මොඩ්ලින් පැවසුවේ ය.

සියලු කණ්ඩායම්වල ඇතැම් රෝගීන් හිසරදය, ඔක්කාරය, අධික තෙහෙට්ටුව මෙන්ම සියදිවි නසාගැනීම පිළිබඳ සිතුවිලි වැනි අතුරු ආබාධයන් ද අත්විඳ ඇත.

මෙය අසාමාන්‍ය දෙයක් නොවනබව පර්යේෂකයෝ පවසති - නමුත් අනෙකුත් ප්‍රවීනයන් පවසන්නේ එය ආරක්ෂිතබව පිළිබඳ ගැටලුවක්විය හැකිබව යි.

'දිගුකාලීන ගැටලුවක්'

එඩින්බරෝ විශ්වවිද්‍යාලයයේ මනෝවෛද්‍ය අංශ ප්‍රධානී මහාචාර්ය Andrew මැකින්ටොෂ් කියා සිටින්නේ, "මනෝභ්‍රමික සංඝටක පරීක්ෂා කෙරෙන තවත් විශාල හා දිගුකාලීන සසම්භාවී අත්හදාබැලීම් සිදුකිරීම යුක්තිසහගතයැ යි යෝජනා කිරීමට මෙතෙක් ඇති ප්‍රබලතම සාක්ෂිය" මෙම පරීක්ෂාවබව යි.

"දශක ගණනාවක් තිස්සේ නිර්දේශ කෙරුණු විෂාදනාශක සඳහා සිලොසයිබින් [කවදාහෝ දිනෙක] විකල්පයක් සපයන්නට ශක්‍යතාවක් තිබෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

නමුත් අනෙකුත් ප්‍රවීනයන් පෙන්වාදෙන්නේ සති 12කට පසු එහි බලපෑම පහවයාම ඇරඹුණුබව යි.

"විෂාදය දිගුකාලීන ගැටලුවක් විය හැකියි. එනිසා සති 12කට වඩා දිගු පසුවිපරම් කාලපරිච්ඡේදයන් භාවිතා කළ යුතු යි," ලන්ඩනයේ යුනිවර්සිටි කොලෙජ්හි ආචාර්ය රවී දාස් ප්‍රකාශ කළේ ය.

නුදුරු අනාගතයේ ඇරඹීමට නියමිත විශාල සායනික පරීක්ෂාවක් මඟින්, විෂාදය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කොපමණ මාත්‍රාවන් ගණනක් අවශ්‍යදැ යි අධ්‍යයනය කරනු ඇත.

පර්යේෂකයන් පවසන්නේ ඖෂධය අනුමත කිරීමේ ආසන්නයට හෝ පැමිණීමට වසර තුනක් ගතවිය හැකිබව යි.