විෂාදය ගැන අපි සියලුදෙනා මෙතෙක් දැනසිටියේ මිත්‍යාවක් ද?

picture of serotonin in the brain

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

විෂාදය ඇතිවන්නේ "සතුටු හෝමෝනය" වන සෙරටොනින් මට්ටම අඩුවීම නිසා නොවනබවට දැක්වෙන අධ්‍යයනයක් මේ දිනවල දී වැඩියෙන්ම බෙදාහදා ගැනෙන වෛද්‍යමය ලිපිවලින් එකක්බවට පත්ව තිබේ.

මෙය, විෂාදයට ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන් නොමඟ යවනසුළු ප්‍රකාශයක් රැල්ලක් අවුළුවා ඇත. විෂාදයට ලබාදෙන ඖෂධයන්ගෙන් බොහොමයක් මොළයේ ඇති සෙරටොනින් මට්ටම ඉහළ දමනා ඖෂධයන් වේ.

එනමුත්, විෂාදය සඳහා වන ඖෂධ ප්‍රතිකාර ඵලදායී නැතැ යි මෙම අධ්‍යයනයෙන් නොපෙන්වයි.

නමුත් ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරය මඟින්, අප මානසික රෝග පිළිබඳව සිතන හා ඒවාට ප්‍රතිකාර කරනා ආකාරය සම්බන්ධයෙන් සැබෑ ගැටලු කීපයක් ද මතුකරලයි.

වයස අවුරුදු විසිගණන්හි මුල්භාගයේ දී ප්‍රථම වරට සැළකිය යුතු අන්දමේ මනෝවෛද්‍ය විද්‍යාත්මක රෝග ලක්ෂණවලට මුහුණදුන් සාරාට වෛද්‍යවරුන් පැහැදිලිකර දුන්නේ, ඇයට නිර්දේශ කෙරුණු ඖෂධ හරියට "දියවැඩියා රෝගියෙකුට ඉන්සියුලින් ලබාදෙනවා වැනිබව" යි. ඒවා ඇගේ මොළයේ වූ රසායනික අසමතුලිතතාවක් නිවැරදි කරනා, අත්‍යාවශ්‍ය මෙන්ම දිවි ඇතිතෙක් ගතයුතු ඖෂධ බැව් වෛද්‍යවරු පැවසූහ.

ඇගේ මව පළමු වර්ගයේ දියවැඩියා රෝගියෙකු වූ බැවින් ඇය මෙය ඉතා බැරෑරුම්කොට සිතුවා ය.

එනිසා, තමාට නියම කරන ලද ඖෂධ තමාගේ තත්ත්වය වඩාත් නරක අතට හරවන ලද නමුත් සාරා තමාට නියමකොට තිබූ ඖෂධ දිගින් දිගටම ලබාගත්තා ය. අවසානයේ දී, තර්ජනාත්මක කටහඬවල් විසින් සියදිවි නසාගන්නැ යි ඇයට බලකෙරුණු අතර, විද්‍යුත් කම්පන චිකිත්සාව (ECT) ලබාගැනීමට ඇයට සිදුවිය.

නමුත්, දියවැඩියා රෝගියෙකුට ඉන්සියුලින් අත්‍යවශ්‍ය වනවා සේම ඇයට ද ඖෂධයක් අවශ්‍යය යන ප්‍රකාශය කිසිදු වෛද්‍ය විද්‍යාත්මක සාක්‍ෂියක් මත පදනම්වූවක් නොවේ.

"අපි විශ්වාස කරපු අයම අපිව පාවාදුන්නා වගේ දැනෙනවා," ඇය පවසයි.

ඖෂධ සඳහා ඇය දැක්වූ ප්‍රතික්‍රියාව අතිශයින් දරුණු එකක් වන නමුදු, ඇයට පැවසූ "රසායනික අසමතුලිතතාව" සම්බන්ධ ප්‍රකාශය අසාමාන්‍ය නොවේ.

Sarah on her wedding day in a veil smiling next to her mother

ඡායාරූප මූලාශ්‍රය, Sarah Price Hancock

ඡායාරූප ශීර්ෂ වැකිය, සාරා සහ පළමු වර්ගයේ දියවැඩියාව සඳහා ඉන්සියුලින් ලබාගත් ඇගේ මව. සාරා, "දියවැඩියා රෝගියෙකුට ඉන්සියුලින් අවශ්‍යවන්නාක් මෙන්" තමාට ද විෂාදනාශක අවශ්‍ය ය යන පණිවිඩය ඉතා බැරෑරුම්ව සැළකීමට ඇගේ පුද්ගලික අත්දැකීම හේතුවිය

බොහෝ මනෝවෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ, සෙරටොනින් මට්ටම් පහළයෑම යනු විෂාදය ඇතිවීමට ප්‍රධාන හේතුව නොවනබවට තමා බොහෝ කලක් තිස්සේ දැනසිටි අතර, මෙම අධ්‍යයනය මඟින් අලුත් තොරතුරක් නොපවසනබව ය.

නමුත් මේ සඳහා ලැබුණු විශාල ජනතා ප්‍රතිචාරයෙන් හැඟවෙන්නේ මෙය බොහෝදෙනාට අලුත් පුවතක් වූබවකි.

නමුත් ඇතැම්හු, විෂාදයට එරෙහිව ලබාදෙන ඖෂධ ක්‍රියාකරන්නේ රසායනික අසමතුලිතතාවක් සමබර කිරීමෙන් නොවේය යන ප්‍රකාශයේ සිට, එම ඖෂධ කිසිසේත් ක්‍රියා නොකරන්නේය යන ප්‍රකාශයට දිගුදුර පිම්මක් පැන සිටිති.

මෙම ව්‍යාකූලත්වය හේතුවෙන්, ජනයා සිය ඖෂධ ලබාගැනීම එකවිට නවතා දමනු ඇතැයි ද, එනිසා ඔවුනට නිෂ්ක්‍රමණ ලක්ෂණ ඇතිවනු ඇතැ යි ද වෛද්‍යවරුන් බියට පත්ව සිටියි.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ප්‍රමිති ආයතනය වන ජාතික සෞඛ්‍ය හා සත්කාර විශිෂ්ටතා ආයතනය (NICE) පවසන්නේ, වෛද්‍යමය වශයෙන් හදිසි අවස්ථාවන්වල දී හැරුණුකොට මෙවන් ඖෂධ හදිසියේ නවතා නොදැමිය යුතුබව යි. ලබාගන්නා ඖෂධ මාත්‍රාව ක්‍රමයෙන් අඩුකිරීම මඟින් නිෂ්ක්‍රමණ ලක්ෂණ අවම කරගත හැකිබව එම ආයතනය ප්‍රකාශ කරයි.

Sarah using a wheelchair smiling

ඡායාරූප මූලාශ්‍රය, Sarah Price Hancock

ඡායාරූප ශීර්ෂ වැකිය, විද්‍යුත් කම්පන චිකිත්සාව (ECT) ලබාගැනීමෙන් පසු සාරාට කථන සහ චාලක අපහසුතා ඇතිව තිබේ

අධ්‍යයනයෙන් පෙන්වාදෙන්නේ කුමක් ද?

මෙම නවතම පර්යේෂණය පැරණි අධ්‍යයනයන් 17ක් පරීක්ෂාකර ඇති අතර, විෂාදය සහිත පුද්ගලයින්ගේ මොළයන්හි විෂාදය රහිත පුද්ගලයින්ට වඩා වෙනස් සෙරටොනින් ප්‍රමාණයන් අඩංගුයැ යි නොපෙන්වන බව සොයාගත්තේ ය.

එම සොයාගැනීම් හරහා, රෝගියා කෙරෙහි ඖෂධ ප්‍රතිකාර බලපවත්වන්නේ රසායනික අඩුවක් තුලිත කිරීම මඟින්ය යන පැහැදිලි කිරීම බැහැර කිරීමට උපකාරී වෙයි.

"පැරසිටමෝල් ගත්තම ඔළුවේ කැක්කුම අඩුවෙලා යනවා කියලා අපි හුඟදෙනෙක් දන්නවනේ. ඒත්, ඔළුවේ කැක්කුම හැදෙන්නේ මොළය ඇතුළේ ප්‍රමාණවත් තරම් පැරසිටමෝල් නැතිවුණාමය කියලා කවුරුවත් විශ්වාස කරනවා කියලා මම නම් හිතන්නේ නෑ," වෛද්‍ය මයිකල් බ්ලූම්ෆීල්ඩ් පෙන්වා දෙයි.

ඉතින්, විෂාදයට එරෙහි ඖෂධ ඵලදායී ද?

විෂාදයට එරෙහි ඖෂධවල ක්‍රියාකාරීත්වය අස්වැසුම් ඖෂධවල (එනම්, ඒවායේ කිසිදු ඖෂධමය බලපෑමක් නැතත්, එවන් බලපෑමක් ඇතැ යි එය ලබාගන්නා තැනැත්තාට ඒත්තු ගන්වා ඇති 'බොරු ඖෂධ') ක්‍රියාකාරීත්වයට වඩා සාර්ථක වන්නේ මඳකින් පමණක්යැ යි පර්යේෂණවලින් යෝජනා කෙරෙයි. සාර්ථකත්වයේ මෙම වෙනස කෙතරම් විශාල වෙනසක් ද යන්න සම්බන්ධයෙන් පර්යේෂකයින් අතර වාද විවාදයන් පවතියි.

ඒ සාමාන්‍යය තුළ විෂාදයට එරෙහි ඖෂධ සඳහා වඩාත් යහපත් ප්‍රතිචාරයක් දක්වන්නන් පිරිසක් ද සිටියි - නමුත් රෝගීන් සඳහා ඖෂධ නියම කරන මොහොතේ දී, මෙම පුද්ගලයින් කවුරුන් ද යන්න හඳුනාගැනීමට මඟක් වෛද්‍යවරුන් සතු නැත.

රාජකීය මනෝවෛද්‍ය සභාවේ මහාචාර්ය ලින්ඩා ගැස්ක් පවසන්නේ විෂාදයට එරෙහි ඖෂධ යනු, විශේෂයෙන්ම අර්බුද අවස්ථාවන්හි දී, "බොහෝදෙනාට ඉක්මණින් සහනයක් ලබාදීමට උපකාර කරනා යමක්" ලෙස ය.

නමුත් සෙරටොනින් පිළිබඳ අධ්‍යයන පත්‍රිකාවේ කතුවරුන්ගෙන් අයෙකු වන මහාචාර්ය ජොඈනා මොන්ක්‍රීෆ් පෙන්වා දෙන්නේ ඖෂධ සමාගම් විසින් සිදුකෙරෙන බොහෝ පර්යේෂණයන් කෙටිකාලීන බව යි. එනිසා, [ඖෂධ ප්‍රතිකාර ලබාගන්නා] පුද්ගලයින් පළමු මාස කීපයෙන් පසු කුමන තත්ත්වයේ පසුවේ ද යන්න පිළිබඳව අප දන්නේ අල්පයක් පමණක් බව ඇය පවසයි.

"ඒගොල්ලන්ට කියන්න සිද්ධවෙනවා 'අපි මේවා දිගටම සමාලෝචනය කරනවා, ඒ වගේම ඔයාට ඒ ඖෂධ ඕනේ කරනවට වඩා වැඩි කාලයක් අපි ඔයාට ඒවා ලබාදෙන්නේ නෑ' කියලා" - මෙසේ පැවසීම නිතර සිදුවන්නක් නොවේ - මහාචාර්ය ගැස්ක් ඊට එකඟත්වය පළකරයි.

විෂාදයට ප්‍රතිකාර ලබානොදීම අවදානම්සහගත වුව ද, විෂාදයට එරෙහි ඖෂධවල බරපතල අතුරුඵල අත්විඳීමට ඇතැම් පුද්ගලයන්ට සිදුවේ - මෙය රෝගියා වෙත වඩාත් පැහැදිලිව සන්නිවේදනය කළ යුතුබව සෙරටොනින් අධ්‍යයනයේ කතුවරුන් සිතයි.

NICE ආයතනයට අනුව මෙම අතුරුඵල අතරට සියදිවි නසාගැනීමේ සිතුවිලි හා ඊට තැත් දැරීම, ලිංගික ක්‍රියාකාරීත්වය අඩුවීම, චිත්තවේගයන් දැනීම හීනවීම හා අනිද්‍රාව (නින්ද නොයෑම) අඩංගු ය.

එක්සත් රාජධානියේ වෛද්‍යවරුන්ට පසුගිය වසරේ සරත් සෘතුවේ පටන් ලබාදී ඇති උපදෙසක් වන්නේ, මඳ විෂාද තත්ත්වයක් ඇති පුද්ගලයින් සඳහා ඖෂධ ප්‍රතිකාර ඇරඹීමට පෙර මනෝ චිකිත්සා ප්‍රතිකාර, ව්‍යායාමයන්, කායගතාසති ක්‍රියාකාරකම් හෝ භාවනා ක්‍රම හරහා ප්‍රතිකාර කිරීමට රෝගියාට යෝජනා කළ යුතුබව යි.

hand holding tablet with water

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අධ්‍යයනය සම්බන්ධයෙන් පළවූ ප්‍රතිචාර කුමනාකාරයේ ද?

සාමාන්‍ය අන්දමේ එක් නොමඟ යවනසුළු ප්‍රතිචාරයකින් කියා සිටියේ, විෂාදනාශක ඖෂධ නියම කිරීම "මිථ්‍යාවක් මත ගොඩනැගී ඇතැ"යි අධ්‍යයනයෙන් පෙන්නුම් කළබව යි.

නමුත් මෙම අධ්‍යයනය විෂාදනාශක ඖෂධ භාවිතාව ගැන කිසිදු අවධානයක් යොමු නොකරන්නකි.

සෙරටොනින්, මනෝභාවය සම්බන්ධයෙන් කාර්යයභාරයක් ඉටුකරන වග අප දනියි. එනිසා, සෙරටොනින් මට්ටම අනුකූලනය හරහා යමෙකුට කෙටිකාලීන වශයෙන්වුව ද වැඩි සතුටක් ලබාදිය හැකි ය. ඖෂධ ලබාදීමට පෙර අදාළ තැනැත්තාගේ සෙරටොනින් මට්ටම අසාමාන්‍ය ලෙස අඩුව නොතිබුණ ද මෙය මෙසේ සිදුවේ. එසේම එය මොළයට නව සබඳතා ඇතිකර ගැනීමට ද උපකාරවනු විය හැකි ය.

තවත් සමහරුන් කියා සිටියේ, විෂාදය කිසි විටෙකත් මිනිස් මොළයේ ඇතිවන රෝගයක් නොව, ඔවුන් සිය පරිසරයට දක්වන ප්‍රතිචාරයකැ යි මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කරන වගකි.

"ඇත්තෙන්ම ඒකට මේ දෙකම බලපානවා," අධ්‍යයන පත්‍රිකාවේ සම-කතු, වෛද්‍ය මාක් හොරොවිට්ස් ප්‍රකාශ කරයි.

උදාහරණයක් ලෙස, "ඔබේ ජානමය සැකැස්ම, ඔබ පීඩනයක් වෙත දක්වන සංවේදීතාව වෙත බලපෑම් කරනවා."

දුෂ්කර තත්ත්වයන් කෙරෙහි ගම්‍යමාන ප්‍රතිචාරයක් දක්වන පුද්ගලයින්ට "සබඳතා උපදේශනය, මූල්‍යමය උපදේශයන්, හෝ රැකියාව වෙනස්කිරීම," ඖෂධ ප්‍රතිකාර ලබාදීමට වඩා උපකාරීවනු ඇතැ යි ඔහු සිතයි.

නමුත් නිරිතදිග ඕස්ට්‍රේලියාවේ වෙසෙන, දැඩි විෂාදය හා සයිකෝසීය තත්ත්වයන්ගෙන් පෙළෙන සෝයී සිතන්නේ, විෂාදය යනු "සමාජයීය ගැටලු සියල්ල විසඳීම" මඟින් ඉබේම සුව අතට හැරෙනු ඇති "දැඩි දොම්නසක්" ලෙස නම්කිරීම ද පමණ ඉක්මවා සරලකොට දැක්වීමක් ලෙස ය. ඒ හරහා, වඩාත් දරුණු මානසික රෝග ඇති පුද්ගලයින් නොසලකා හරිනබව ද ඇය පවසයි.

සයිකෝසීය තත්ත්වය ඇගේ පවුලෙන් "ආරයට එන" රෝගයක්වුව ද, එහි දැඩි රෝගී පරිච්ඡේදයන් ඉස්මතු වන්නේ විභාග කාලසීමාවන් වැනි ආතති ඇතිකරවන සිදුවීම් හේතුවෙනි.

එවන් දැඩි රෝගී පරිච්ඡේදයන් මඟ හැරීම සඳහා ලබාගන්නා ඖෂධයන්හි "අතුරු ආබාධ" ඉන් ලැබෙන සහනයට සාපේක්ෂව නොගිණිය හැකි තරම්යැ යි තමා "ගණනයකර" ඇති බව ඇය පවසයි.

BBCය හා කතාබහ කළ සියලුම ප්‍රවීණයන් එකඟවන එක් කරුණක් වන්නේ ද එය යි - මෙම දුෂ්කර ගණනය කිරීම් තමන්ටම සිදුකරගත හැකි පරිදි රෝගීන්ට සිය රෝග තත්ත්වය පිළිබඳ වැඩි තොරතුරු පැහැදිලිව ලබාගත හැකිවිය යුතු ය.