දකුණු මුහුදෙන් හමු වූ මත්ද්‍රව්‍ය : 'දවස් 31ක මෙහෙයුමක් සිදුකළා'

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy
- Author, බීබීසී සිංහල
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් පාර්සල් 51ක් තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839ක් ප්‍රමාණයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ඊයේ (ඔක්තෝම්බර් මස 14) දිනය පුරා දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී නාවික හමුදාවේ මුර යාත්‍රා මගින් මෙම මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 51 සොයා ගත් බවයි.
එම පාර්සල් තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 12කට ආසන්න ප්‍රමාණයක් තිබී හමුවූ බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
'බයට බෝට්ටුවලින් මුහුදේ දලා ගිහිල්ලා'
නාවික හමුදාව විසින් අඛණ්ඩව සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අතහැර දමා ගොස් තිබෙන බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.
"නාවික හමුදාව අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් සිදුකරන නිසා මේ මත්ද්‍රව්‍ය මුහුදේ අත්හැර දමලා යන්න ඇති කියලා විශ්වාස කරනවා. මේ මත්ද්‍රව්‍ය නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීලා තියෙනවා. මත්ද්‍රව්‍ය අරන් ආව යාත්‍රා ගැන අපි වැඩිදුර සොයා බැලීම් සිදුකරනවා." ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy
'දවස් 31ක මෙහෙයුමක්'
ඊයේ දිනයේදී නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය දින 31ක මෙහෙයුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ කළ විමසීමකදී පැහැදිලි කළේය.
"පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව නාවික හමුදාව සමග එක්ව මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ. මේ මත්ද්‍රව්‍ය තොගය ධීවර බෝට්ටු දෙකකින් අරන් ඇවිල්ලා තියෙන්නේ. දවස් 31ක් තිස්සේ මේ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකරනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
'පැනලා ගිය අය ඉක්මනට අත්අඩංගුවට ගන්නවා'
සංවිධානත්මක අපරාධ කණ්ඩායම් විසින් මෙම මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයන් ඔස්සේ ගෙන ඒම වැළැක්වීම ඉතා අසීරු කටයුත්තක් වුව ද මෙරට ආරක්ෂක අංශ විදෙස් බුද්ධි අංශ සමග එක්ව ඉතා සූක්ෂම අයුරින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ සංවිධානත්මක අපරාධකරුවන් ගුවනින් සහ මුහුදු මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒම සිදුකරන බවයි.
"යම් කිසි හේතුවක් නිසා මේ මත්ද්‍රව්‍ය රැගෙන ආපු පිරිස ඒවා මුහුදේ අත්හැර දමලා බෝට්ටු වලින් පැනලා ගිහින් තියෙනවා. ඔවුන්වත් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගන්න අපගේ ආරක්ෂක අංශ කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය වැටලීම් වගේම සංවිධානාත්මක අපරාධ මර්ධනය කරන්න ආරක්ෂක අංශ වලට අවශ්‍ය නිදහස වගේම මග පෙන්වීම ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජය විසින් ලබාදීලා තියෙනවා." නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.















