අයිස් භීතිකාව: 'එක පැත්තකින් මේක ඇතිවුණා. තවත් පැත්තකින් මේක ඇති කළා'

Methamphetamine drug dealer

ඡායාරූප මූලාශ්‍රය, iStock

‘අයිස්’ හෙවත් මෙතැම්ෆෙටමින් මත්ද්‍රව්‍ය භීතිකාව මේ දිනවල සමාජය තුළ පැතිර යන, සංවාදයට ලක්වන මාතෘකාවකි.

අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සොයා පාසල් ළමුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන්ද යොදවා තිබේ.

එහෙත් මාධ්‍ය මඟින් අනාවරණය කරන අන්දමට පාසල් දරුවන් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියි ද යන්නත්, බෑග් පරීක්ෂාවෙන් අයිස් ව්‍යාප්තිය මර්දනය කළ හැකි ද යන ප්‍රශ්නයත් විවිධ පාර්ශව විසින් මතු කොට තිබේ.

පාසල් ළමුන් පරීක්ෂා කිරීමේ පොලිස් මෙහෙයුම

නුවරඑළියේ දී දෙසැම්බර් 20 වැනිදා අහඹු ලෙස පාසල් ළමුන් පරීක්ෂා කෙරුණු අතර, ඒ සඳහා පොලිස් නිල සුනඛයින් ද යොදා ගැණින.

පාසල් ළමුන් රැගෙන චාරිකාවක් පැමිණි බස් රථයක් ද මෙහිදී පරීක්ෂාවට ලක් කෙරිණ.

මේ පරීක්ෂා කිරීම් රැල්ල ගැන අදහස් දක්වමින්, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා සිතාරා කුලරත්න මෙසේ පැවසුවා ය: "මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න නම්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පියවර ගන්න ඕනේ. ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්න ඕනේ. ඊට සම්බන්ධ පොලිසියේ ඉහළ නිලධාරීන් ඉන්නවා නම්, දේශපාලනඥයින් ඉන්නවා අපි දන්නවා, ඔවුන්ට විරුද්ධව පියවර ගන්න ඕනේ. ගුරුවරු පුහුණුකරලාවත්, ළමයිගේ බෑග් පරීක්ෂාකරලාවත් මේක කරන්න පුළුවන් කමක් නැහැ.” 

පාසල් ළමුන් ඉලක්කකර අයිස් සහ වෙනත් මත්පෙති අලෙවිකරන ජාවාරම්කරුවන් අත්අඩංගුංවට ගැනීමේ සිද්ධි හේතුවෙන් මේ වන විට අයිස් පිළිබඳ දෙමව්පියන්ගේ ද විශේෂ අවධානයක් යොමුවී තිබේ.

මත්ද්‍රව්‍යයට යොමුවූ තරුණයින්ගේ සහ පාසල් ළමුන් බව කියන තැනැත්තන්ගේ පාපොච්ඡාරණයන් මාධ්‍ය මඟින් විකාශය කිරීම ද එය තවත් තීව්‍ර කිරීමට හේතුවී ඇත. 

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අයිස් මත්ද්‍රව්‍ය භීතිකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර සඳහන් කළේ “එක පැත්තකින් මේක ඇතිවුණා. තවත් පැත්තකින් මේක ඇති කළා,” යනුවෙනි. 

“තරුණයෝ, ශිෂ්‍යයෝ ඉතාම සංවේදියි සමහර මාතෘකාවලට. ඔවුන් විවිධ රැළිවලට ඇඳා ගන්න, ඒගොල්ලෝ ග්‍රහණයකර ගන්න කිසියම් සංවිධානාත්මක වැඩපිළිවෙලක උත්සාහයකුත් පැහැදිලිවම මෙතන තියෙනවා,” පුබුදු සුමනසේකර ප්‍රකාශ කළේ ය. 

“අපි කරපු සොයා බැලීමේ දී අපිට පේන එක තමා ඉතාම අතලොස්සක් - සමහර තැන්වල තරුණයෝ, ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, පාසල් වෙන්න පුළුවන්, ශිෂ්‍යාවෝ වෙන්න පුළුවන් - යම් පිරිසක් අතර හිතාමතා මේ මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීමේ වැඩපිළිවෙලක් ගිහිල්ලා. විචාරශීලිබවින් අඩු, දෙපාරක් හිතන්න අමාරු, එතරම්ම බුද්ධිමත් නැති සමහර පිරිසක් මේකට රැවටෙනවා. එහෙම කණ්ඩායමකුත් ඉන්නවා,” සුමනසේකර පැවසීය.

“නමුත් අපිට මවපු තරම්, අපිට මේ වෙලාවේ මවමින් සිටින තරම් මේ ගැටලුව එච්චරම ලොකු නැහැ. නමුත් ගැටලුවක් තිබෙන බව පැහැදිලි යි,” ඔහු අවධාරණය කළේ ය.

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයා ද මෙසේ ප්‍රකාශ කළේ ය: “ප්‍රශ්නයක් තියෙනවා, ඇත්ත. නමුත් අපි දැන් බලන්න ඕනේ මේ ප්‍රශ්නය අපිට පෙන්වන ප්‍රමාණයක් තියෙනවා නේ? ඒ පෙන්නන ප්‍රමාණය හරිම ප්‍රමාණයදැ යි අපි බලන්න ඕනේ.” 

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පාසල් ළමුන් හා විශ්වවිද්‍යාල සිසුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇතැ යි සිතීමට නොහැකි කරුණු කිහිපයක් ඇති බව ය. 

සංඛ්‍යා ලේඛන සැලකීමේ දී විවිධ වැරදි සම්බන්ධයෙන් 2021 වසර තුළ දී ළමුන් 1700 ක් අත්අඩංගුවට පත්ව ඇති අතර, මේ වසර තුළ දී එම සංඛ්‍යාව 1400ක ආසන්න අගයකි. ඉන් බහුතරයක් මත්ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම් ය. 

“හෙරොයින් හා අයිස් භාවිත කරනවා නම් දිනකට රුපියල් 2000ක්වත් අවශ්‍ය යි. දවසට 2000ක් යනවා නම් ගෙදරට දැනෙනවා නේ. එහෙම නැත්නම් හොරකම් වැඩි වෙන්න ඕනේ. කොල්ලකෑම් වැඩි වෙන්න ඕනේ,” අදාළ නිලධාරියා සඳහන් කළේ ය. 

ළමුන් ඖෂධහල්වලන් සිරප් අධිමාත්‍රවන් ලබාගැනීමේ සිද්ධි බොහෝ වර්තා වී ඇතැ යි ද ඔහු පැවසීය.

 “ගුරුවරු කියනවා දිව යට මොනවහරි තියන් ඉන්නවා කියනවා, මොකක් හරි හපනවා කියලා කියනවා. ඒක හෙරොයින්වත්, අයිත්වත් වෙන්න බැහැ. වැරදි මතයක් යන්නේ.”

“කියන්නේ නම් සමස්ත පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය වැහි වැහැල කියලා. නැත්තේ නැහැ, යම් ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි කියන තරම් නැහැ,” අදාළ නිලධාරියා ප්‍රකාශ කළේ ය. 

මේ වන විට අයිස් මත්ද්‍රව්‍යවලට අදාළ මෙරට නීති දැඩිකර ඇති අතර, සන්තකයේ තබාගන්නා ප්‍රමාණය ග්‍රෑම් පහට වැඩිනම් මරණ දණ්ඩනය පවා නියම කිරීමේ හැකියාව පවතියි.

“ඉතා අවදානම් සමාජ ව්‍යසනයක්”

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය දා මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ නව යොවුන්වියේ පසුව දරුවන්ගෙන් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් අවම වශයෙන් කුමන හෝ ආකාරයක නීතිවිරෝධී මත් සංඝටක වර්ගයක් හෝ භාවිතා කර ඇති බව ය. 

මෙම සංඛ්‍යාත්මක දත්ත පෙන්වා දෙන ආකාරයට 'අප ඉතා අවදානම් නම් සමාජ ව්‍යසනයකට මුහුණදෙමින් සිටින' බව ඔහු කියා සිටියේ ය. 

ආගමික නායකයින්, සමාජ මාධ්‍ය හරහා සමාජයට ආමන්ත්‍රණය කරන්නන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් වැඩි වශයෙන් මේ වසංගතයෙන් අපේ දරු පරපුර බේරා ගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම් කරමින් හඬ අවදි කළ යුතු කාලය එළැඹ ඇතැ යි ද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තැබූ ෆේස්බුක් සටහන

ඡායාරූප මූලාශ්‍රය, Namal Rajapaksha|Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තැබූ ෆේස්බුක් සටහන

නමුත් රාජපක්ෂගේ මේ ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ විහිලු සහගත හා උපහාසාත්මක ප්‍රතිචාර ලැබෙනු දක්නට හැකිවිය.

Namal's post comments

ඡායාරූප මූලාශ්‍රය, Namal Rajapaksa/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ලැබී තිබු ප්‍රතිචාර වලින් කිහිපයක්

අයිස් භීතිකාව දේශපාලනිකව මැවූ ගෝනිබිල්ලෙක් ද?

අයිස් මත්ද්‍රව්‍ය සොයා පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අදහස් දැක්වනු ලැබීය. 

“දැන් අද හැම ශිෂ්‍යයෙකුගේම බෑග් චෙක් කරනවා. මම අහන්න කැමතියි පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන්ගේ, එහෙම නැත්නම් මහජන නියෝජිතයින්ගේ බෑග් චෙක් කරනවා ද කුඩු තියෙනවද කියලා? ඒවා කරනවා ද? මම අහන්න කැමතියි අපේ ශිෂ්‍ය පරපුර මේ විදිහට මිලේච්ඡත්වයට පත්කරනකොට පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් පිළිබඳව කිසිම වැඩපිළිවෙලක් නැහැ.” 

කම්කරු අරගල මධ්‍යස්ථානයේ ලේකම් දුමින්ද නාගමුව පෙන්වා දුන්නේ රටට මත්ද්‍රව්‍ය පැමිණෙන මාර්ග අවහිර කිරීමෙන් තොරව පාසල් ළමුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයකට මේ වන විට රජය යොමුවී ඇති බව ය.

“මත්ද්‍රව්‍ය ගේන උන් ඉන්නවා පාර්ලිමේන්තුව ඇතුළේ. මත් කුඩු ගේන උන් ඇමතිවරු බවට පත්වෙලා තියෙනවා. අපි ඉස්කෝලේ ළමයිගේ බෑග්වල මේක පරීක්ෂා කරනවා,” ඔහු කියා සිටියේ ය. 

"රටේ ඒයාර්පෝට් එකක් තියෙනවා. වරායක් තියෙනවා. රට වටේ ඕවා මුහුදු මාර්ගයෙන් ගේන්න පුළුවන් තැන්, ඒවා ගැන මේගොල්ලෝ දන්නවා. ඉතින් ඒ ඔක්කොම දැනගෙන ඉද්දි, එතනින් වහන්නේ නැතිව මෙතන ආවට පස්සේ බෙදලා රටපුරාම ගියාට පස්සේ, ගියපු තැන් හොයන්න ගන්නවා. තාක්ෂණික වශයෙන් ගත්තාම මේක කොයි තරම් විහිළු සහගත දෙයක් ද?"

විෂ මත්ද්‍රව්‍ය වැළැක්වීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත. 

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 19 වැනිදා ජනාධිපති කාර්යාලයයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය කෙරිණි. 

මත්ද්‍රව්‍ය නිවාරණයට සම්බන්ධ සියලුම ආයතන ඒකාබද්ධකර ගනිමින්, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් මෙම කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත අතර එම කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. 

පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීමේ ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමුවූ අතර එය වැළැක්වීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මත්ද්‍රව්‍ය නිවාරණය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් වෙන්කර හඳුනා ගැනීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා ලබාදීම පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් කෙරිණි. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී දැනට සිරගතව සිටින රැඳවියන් සහ ඔවුන් පිළිබඳ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හා බන්ධනාගාර තුළ ඔවුන් වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිකාර විධිමත්ව ලබාදීම යන කරුණු කෙරෙහි ද අවධානය යොමු විය. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදාගැනීම වෙනුවෙන් පවත්වාගෙන යන ස්වේච්ඡා මධ්‍යස්ථාන, ප්‍රජා මූලික පුනරුත්ථාපනය, පරිවාස සේවා සවිබල ගැන්වීම පිළිබඳව මෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ පනත සම්මතකර ගැනීම පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

පාසල් මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු!

වර්තමානයේ ළමුන් අතර ද මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්තවීමට අවස්ථාව පවතින බැවින්, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. 

ඒ අනුව, ඉදිරියේ දී පාසල්වලට ඇතුළුවන්නන් සහ සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂා කිරීමට අවශ්‍යවන්නේ නම්, පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායකයින් සහ පාසල් සංවර්ධන සමිති නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් මඟින් එම කාර්යය සිදුකළ යුතු බවට මෙහි දී සාකච්ඡා කර තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතා කළ අය හඳුනාගැනීම සහ ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අඛණ්ඩව පැවැත්වීමටත්, පාසල් පරිසරය සිසුන්ට ප්‍රියජනක පරිසරයක් ලෙස පවත්වාගෙන යාමටත් පියවර ගත යුතුබවට මෙහිදී අවධානය යොමුවී ඇත.

පාසල් කලාප සහ පළාත් මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා, සුදුසු ක්‍රමවේද මඟින් මත්ද්‍රව්‍ය පාසල් පරිශ්‍ර තුළින් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව උපදෙස් ලබාදීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය වූ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ ය.