අන්තර්ජාලය හරහා බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීම ගැන පරීක්ෂණ යටපත් වේවිද?

ළමා ලිංගික සේවනය

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර බාලවයස්කාර දැරියක සිය මව සහ ඇයගේ අවිවාහක සැමියා විසින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් අපයෝජනය කිරීමේ චෝදනාව මේ දිනවල ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයකට ලක් වී තිබේ.

ශ්‍රී ලංකාවේ මේ දිනවල වාර්තාවන ළමා අපයෝජන රැල්ල ගැන අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතීඥ අජිත් රෝහණ පැවසුවේ ලොව පුරා සිදුවන ළමා අපචාර වලින් තුනෙන් දෙකක් පමණක් වර්තාවන අතර තුනෙන් එකක් වර්තානොවන බවය. නව පියවර ගනිමින් ශ්‍රී ලංකා පොලිසිය මෙවැනි සිද්ධීන් හඹාගොස් කටයුතු කරන බව ද ඔහු පැවසීය.

"අද තියෙන අභියෝගය තමයි අන්තර්ජාලය, යූටියුබ් එක වයිබර් වට්ස් ඇප්, ඉමෝ, ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, ඒ නිසා අර මෙයින් අවුරුදු 20කට ඉස්සෙල්ලා තිබුණ අභියෝගවලට වඩා ලොකු අහියෝගයක් බවට අන්තර්ජාලයත් එක්ක පත්වෙලා," යනුවෙන් කියා සිටි ඔහු, එහෙත් පොලිසිය විසින් අන්තර්ජාල ආවේක්ෂන (cyber patrol) සිදු කරන බවත් වැඩිදුරටත් පැවසීය.

"මෙහිදී අපි දූෂකයෝ අල්ලගත්තා. මේ ළමයට නවාතැන් දීපු, කාමර දීපු අයව අල්ලා ගත්තා. මේ වෙබ් වලට ඇඩ් හදපු අයව අල්ලගත්තා. වෙබ් අඩවි පවත්වාගෙන යන අයව අල්ලාගත්තා. ඒවගේම ත්‍රීවීල් එකෙන් කාර් එකෙන් වෑන් එකෙන් ගෙනිච්ච අයව අල්ලගත්තා. ඒවගේම මේ ළමයට ෆෝන් අරන් දීපු අයව අල්ලගත්තා. ෆෝන් කනෙක්ෂන් අරන් දීපු අයව අල්ලගත්තා. ඒ නිසා අපි වෙනදට වඩා ඉතාමත් සංකීර්ණ මට්ටමකින් තමයි කරන්නේ; මට කියන්න තියෙන්නේ ඒකට නව තාක්ෂණය උපයෝගී කරගෙන ඉතාමත් විධිමත් පරීක්ෂණයක් කළ බවයි."

එම දැරිය අපයෝජනය කළේ යැයි සැකපිට මේවනවිට භික්ෂූන් වහන්සේ නමක්, දෙස් විදෙස් දේශපාලකයන්, විශේෂඥ වෛද්‍යවරයෙක්, ව්‍යාපාරිකයින් ඇතුළු 42 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රසිද්ධ භික්ෂුවකට ද චෝදනා එල්ල වී ඇති බැවින් අදාළ පරීක්ෂණ කටයුතු අත්හිටුවා ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න ඇතුළු පිරිස් චෝදනා කරන නමුත් පොලිසිය පවසන්නේ අදාළ හිමිනමට එරෙහිව එවැනි චෝදනාවක් එල්ල වී නොමැති බවය.

වෙනත් හිමිනමක් පමණක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සමාජ මාධ්‍යවල චෝදනා එල්ලවන ආකාරයට පරීක්ෂණ කටයුතු නවතා නොමැති බවත් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවසීය.

මේ අතර තමාට එසේ අපහාස කරමින් සමාජ මාධ්‍යයන් හි චෝදනා නගන පුද්ගලයන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා ලෙස චෝදනාවට ලක්වූ අදාළ හිමිනම පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

ළමා අපයෝජනය

පසුබිම

පොලිසිය පවසන පරිදි, වයස අවුරුදු 15 කුත් මාස 8ක් වයසැති බාල වයස්කාර දැරියක ඇයගේ මව, මවගේ සහකරු සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් අන්තර්ජාලයේ වෙබ් පිටු කිහිපයක දැන්වීම් පළකර "ස්ත්‍රී දූෂණය" සහ ලිංගික අපයෝජනය සඳහා වෙළෙඳාම් කොට තිබේ. එහිදී මව දියණිය ගණුදෙනුකරුවන්ට හඳුන්වා දී තිබෙන්නේ සිය නැගෙණිය ලෙසිනි.

බාල වියේ දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික අවශ්‍යතාවයන් සඳහා අලෙවි කරමින් සිටින බවට ජුනි 07 වන දින ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා වෙත ලද තොරතුරක් මත වයස අවුරුදු 35ක් පමණ වන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් අනතුරුව පොලිසිය භාරයට ගත් අවුරුදු 15ක් වූ දැරිය සහ සැකකාරියක වන ඇයගේ මව ද ප්‍රධාන සැකකරු ද දුන් ප්‍රකාශ මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කළ බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ පැවසීය.

Child abuse (generic)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අනාවරණය වූ තොරතුරු මත මේ සඳහා ගැඹුරු විමර්ශනයක් සිදු කළ යුතු බවට නිරීක්ෂණය වූ හෙයින් පොලිස්පතිවරයා විසින් මෙම විමර්ශනය පොලිස් මූලස්ථාන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත භාර කරනු ලැබ තිබේ.

ඒ අනුව මේ වන විට පොලිස් කොට්ඨාස ගණනාවක් ඒකාබද්ධ වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු සිදු කරන බවත් නීතිඥ අජිත් රෝහණ පැවසීය.

"මෙහිදී අනාවරණය වී තිබෙන සියලු දුරකථන වාර්තා, අන්තර්ජාල වෙබ් අඩවි, බැංකු වාර්තා, සීසීටීවී මෙන්ම වෙනත් තොරතුරු විශ්ලේෂණය කරමින් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන කටයුතු පුළුල් කරලා තියෙන්නේ," යනුවෙන් ද පොලිස් ප්‍රකාශකවරයා පැවසීය.

"මේ වන විට ලිංගික ක්‍රියාවන් සඳහා යොදා ගැනෙන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමට අධිකරණයෙන් ඉල්ලීම් කර තිබෙන අතර ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අධිකරණය විමසීම් කර ඇත. තවදුරටත් පවතින එවැනි වෙබ් අඩවි මොනවාද යන්න හඳුනා ගැනීමට ශ්‍රි ලංකා පොලිසිය කටයුතු කරමින් සිටිනවා."

සිය දියණිය 2018 වර්ෂයේ දී "දූෂණය කිරීමේ" චෝදනාව මත දැරියගේ පියා අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, මෙම අපරාධ සඳහා ආධාර අනුබල දීම මත මව ද අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත් දැරියගේ ජංගම දුරකථනයේ සැකකරුවන් ගේ දුරකථන අංක තිබෙන බව කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළ අතර, දැරිය වෙනුවෙන් සැකකරුවන් විසින් එක් විටකදී රුපියල් 20,000 ක මුදලක් ගෙවා ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් කව්ද?

බාල වයස්කාර දැරිය අපයෝජනය කිරීමේ චෝදනාව මත මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්:

  • බාලවයස්කාර දැරිය
  • ඇගේ මව
  • මවගේ අවිවාහක සැමියා
  • ත්‍රිරෝද රථ රියැදුරෙකු (අතවරයට පත් දැරිය විවිධ පුද්ගලයින්ට විකිණීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා මත)
  • මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා,
  • නාවික හමුදාවට අනුයුක්තව සේවය කරන ලුතිනන් කමාන්ඩර්වරයෙක් වශයෙන් ද කටයුතු කරන හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්
  • මාලදිවයිනේ හිටපු අමාත්‍යවරයෙක්
  • පොලිස් නිලධාරීන් දෙදෙනෙක්
  • නෞකා කපිතාන්වරයෙක්
  • කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක්
  • මෙම දැරියගේ දැන්වීම පළකළ අන්තර්ජාල පිටුව පවත්වාගෙන ගිය පුද්ගලයාද ඇතුළු පුද්ගලයින් 42 දෙනෙක්

නීතිඥ අජිත් රෝහණ පවසන පරිදි, මෙම දැරිය සමග ලිංගිකව එක්වීම පිණිස තමන් ඇය සමග හෝටල්වලට ගිය බව චෝදනා ලබා ඇති බොහෝ සැකකරුවන් මේ වන විට අධිකරණය ඉදිරියේ පිළිගෙන තිබේ. එහෙත් සමහර සැකකරුවන් පවසන්නේ ඇය බාලවයස්කරුවකු බව දැන නොසිටි බවය; ඇය බාලවයස්කාර දැරියක් බව හෝටලයේ දී වටහා ගත් විගසම ඔවුන් එම ස්ථානයෙන් වහා ඉවත් වී ගිය බව තවත් සමහරු පවසා තිබේ.

පසුගිය දා පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී ඉදිරිපත් කෙරුණු සැකකරුවන් මෙම බාලවයස්කාර දැරිය විසින් හඳුනාගනු ලැබ ඇති අතර ඇය අධිකරණය ඉදිරියේ පවසා ඇත්තේ ඇයගේ වයස අවුරුදු 18-19 ක් ලෙස තම සේවාදායකයන්ට හඳුන්වා දුන් බවය.

1995 දී එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියේ ඇති කරණා ශ්‍රී ලංකාවේ නීතියට අනුගත කළ අතර ඒ මගින් ළමයින් අශ්ලීල දර්ශණ වලට යොමුකිරිම වරදක් බව නීතිඥ අජිත් රෝහණ පැවසීය. ළමුන් කෘරත්වයට පත්කිරීම පවත්නා නීතිය අනුව තමා ස්ත්‍රී දුෂණය නොකළත් එයට අනුබල දීම හෝ සහය දීමත් වරදක් බවට පත්කර ඇති බවත් බරපතල ලිංගික අපයෝජනය යන වරද මෙන්ම කුට්ටනය සහ, ලේ ඥාතීන් අතින් ලිංගික අපයෝජනට ලක්වීම ව්‍යාභිචාරය ලෙසින් අලුතින් ශ්‍රී ලංකාවේ නීති හඳුන්වා දී ඇති අතර 2006 වසරේදී දණ්ඩ නීති සංග්‍රහයට තැනැත්තන් වෙළඳාම ද වරදක් ලෙස හඳුන්වා දී ඇති බවත් ඔහු පැවසීය.

නිතීඥ අම්බිගා සත්ගුණනාදන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ මෙම සිදුවීම සමාජයේ පවතින විශාල ප්‍රශ්නයක මූලබීජය හෙලිකිරීමක් පමණක් බවය. මෙමගින් රටේ මෙවැනි ලිංගික සුරාකෑම්, ලිංගික සේවය, රට තුළ මිනිස් ජාවාරම පිළිබඳ මෙතෙක් සංවාදයට ලක් නොවූ ප්‍රශ්ණයක් අනාවරණය වීමක් බවත් ඇය පැවසීය.

රටේ නීතියට අනුව, බාල වයස්කරුවාගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම පුද්ගලයා බාල වයස්කරුවකු බව තමන් දැන හෝ නොදැන බාල වයස්කරුවෙකු සමග ලිංගිකව හැසිරීම "නීතිප්‍රකාර වූ දූෂණයක්" (statutory rape) ලෙසින් සැලකෙන බැවින් එය ඉතාමත් බරපතල, ඇප නොලැබෙන වරදක් බව ද නිතීඥ අම්බිගා සත්ගුණනාදන් සඳහන් කළාය.

ඇය තවදුරටත් පැවසුවේ මෙය බොහෝදුරට හුදෙක්ම ලිංගික සේවාවක් සැපයීමට හෝ ලිංගික වෙළෙඳාමකට එහා ගිය විශාල දේශීය මිනිස් ජාවාරමක් සහිත සංවිධානාත්මක ජාලයක් හෙළිකරන බවය.

සමාජයේ පහළ මට්ටමේ සිටින ලිංගික සේවකයන්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියා කරන ග්‍රාස් රූටඩ් ට්‍රස්ට් නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ හාන්ස් බිලිමෝරියා බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින්, මෙමගින් රටේ අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩුපාඩු මැනවින් විදහා දැක්වෙන බව කියා සිටියාය.

"අද පාසල්වල ළමයෙකුට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්නේ නෑ. ලිංගික අධ්‍යාපනය තියා කුඩා අවදියේදී තමන්ගේ ඇඟෙන් ඇල්ලීම ගැන පාඩමක්වත් කියලා දෙන්න විදිහක් නෑ,"

"එහෙම නිසි අධ්‍යාපනයක් ලබාදුන්න නම් ළමයි දැනගන්නවා ඒ අයට අතවරයක් හරි කරදරයක් හරි වෙනකොට පිහිට පතන්න. එයට අවශ්‍ය ස්ථාන තියෙන බව. ඒ අයට ළමා රක්ෂණ අධිකාරියට හරි, පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට හරි යන්න පුළුවන් කියන එක දැනගන්න පුළුවන් වෙනවා. ඒත් එහෙම අවස්ථාවක් තමයි අද ළමයින්ට අහිමි වෙලා තියෙන්නේ," යනුවෙන් හාන්ස් බිලිමෝරියා වැඩිදුරටත් කියා සිටියාය.

තවත් කියවන්න: