රැකියා ස්ථානයේ ලිංගික හිංසන: ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති කාමර තුළ සිදුවන "නිහඬ අපරාධ"

Sexual harassment at work - stock photo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ලිංගික හිංසනයක් කියන්නේ ඇඟට අත තියන්නම ඕන නැහැ,"
    • Author, සුනෙත් පෙරේරා
    • Role, BBC සිංහල

"පපුව දිහා බලා ඉන්නවා. කොටට ඇඳන් ආවොත් කකුල් බලනවා, පස්ස බලනවා. නොදන්න තාලෙට පස්සට අත තියනවා..."

ඉහත දැක්වෙන්නේ තරුණියකට මහමග බස් රථයක හෝ දුම්රියකදී සිදු වූ ලිංගික හිංසනයක් නොවේ. මේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති අංශය (නිවුස් රූම්) තුළදී මාධ්‍යවේදිනියක් මුහුණ දුන් අත්දැකීමකි.

"ගෙදර ගිහාම රෑ තිස්සේ මැසේජ් එවනවා. ඇඳන් ඉන්නේ මොකක්ද අහනවා. ෆොටෝස් එවන්න බැරිද අහනවා,"

මේ වන විට ඇය රැකියාව පමණක් නොව මාධ්‍ය ක්ෂේත්‍රයට ද සමු දී ඇත. සිය ප්‍රධානියාගෙන් එල්ල වූ ලිංගික හිංසා (Sexual harassment) ඉදිරියේ තමාට රැකියාව පමණක් නොව "මාධ්‍ය ක්ෂේත්‍රයම එපා" වූ බව ඇය කියා සිටියේ BBC සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

Short presentational grey line

ලිංගික හිංසා, මාධ්‍ය ආයතන තුළ පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන සහ ක්ෂේත්‍ර තුළ දැකිය හැක. එය ශ්‍රී ලංකාවට පමණක් පොදු වූවක් ද නොවේ. වචනයෙන්, අභිනයෙන් සහ ශාරීරිකව ලිංගික හිංසනයන්ට ගොදුරු වෙන්නේ දිළිඳු, නොදියුණු හෝ නූගත් යැයි සැලකෙන රටවල ස්ත්‍රීන්ම පමණක් නොවේ: සංවර්ධිත රටවල වෙසෙන කාන්තාවෝ ද බොහෝ විට එවැනි හිරිහැරවලට ලක්වෙති.

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කාන්තාවෝ තමාට අත්විඳීමට සිදු වූ ලිංගික අතවර සහ හිංසා පිළිබඳ හෙළි කළ #MeToo 'විරෝධතා ව්‍යාපාරය' ඊට හොඳම උදාහරණයයි.

ලිංගික හිංසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සංවාදයක් මතුව ඇත්තේ තමාට අත්විඳීමට සිදු වූ බව පැවසෙන එවැනි හිංසාවන් පිළිබඳ මාධ්‍යවේදිනී සාරා කැල්ලපත (Sarah Kellapatha) ට්විටර් හි සටහන් තැබීමත් සමගය.

තමන් පුවත්පතක සේවය කරන සමයේ එහි ම සේවය කළ සගයෙකු, තමන් දූෂණය කරන බවට තර්ජනය කළේ යැයි ඇය පවසා තිබිණි.

ඒ සමග තවත් මාධ්‍යවේදිනියන් ගණනාවක් තමාට අත්විඳීමට සිදු වූ ඒ හා සමාන අත්දැකීම් හෙළි කරමින් ඉදිරියට පැමිණියහ.

ලිංගික හිංසනය පිළිබඳ පෞද්ගලික අත්දැකීම් පවසමින් එලෙස ඉදිරියට ආ පිරිසෙන් අති බහුතරය ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවේදිනියන්ය.

"ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන ජනමාධ්‍යවල සිදු වී යැයි කියන මේ සිදුවීම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් ඇරඹුන ද, සිංහල සහ දෙමළ භාෂාවෙන් වැඩ කරන ඇතැම් ජනමාධ්‍ය ආයතනවල ද මෙවැනිම තත්ත්වයක් ඇති බව" ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි.

"ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස," ඉල්ලා එම සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියක ඒ බව සඳහන් විය.

සිය ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම සම ශ්‍රේණියේ සගයන් වෙතින් එල්ල වූ ලිංගික හිංසා පිළිබඳ, සිංහල භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවේදිනියන් කිහිප දෙනෙකුම BBC සිංහල සේවය වෙත සිය අත්දැකීම් පැවසුව ද නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියහ.

'සිංහල මාධ්‍යවේදිනියන්' ඉදිරියට නොඑන්නේ ඇයි?

ලිංගික හිංසා
ඡායාරූප ශීර්ෂ වැකිය, "රැකියා ස්ථානයේ ලිංගික හිංසා, මාධ්‍ය පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර තුළ දකින්න පුළුවන්"

හිටපු රූපවාහිනී නිවේදිකාවක සහ හිටපු මාධ්‍යවේදිනියක වන නීතීඥ නදීපා රණසිංහ ඒ සම්බන්ධයෙන් BBC සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බොහෝ මාධ්‍ය ආයතන තුළ ලිංගික හිංසා "සංස්කෘතියක්" පවතින බවය.

2018 වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ ඇය පුද්ගල සංවර්ධන උපදේශිකාවක් ලෙස ද කටයුතු කරයි.

එසේම ලිංගික හිංසා, මාධ්‍ය පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර තුළ දැකිය හැකි බව ඇය පෙන්වා දෙයි.

Presentational grey line
Presentational grey line

"අපේ රටේ රැකියා ස්ථානවල සෙක්ෂුවල් හැරස්මන්ට් (ලිංගික හිංසා) කියන්නේ හැංගිලා කෙරෙන, සාධාරණීකරණය කෙරෙන අපරාධයක්. අපරාධයක් සාධාරණීකරණය කරන්න බැහැනේ, ඒත් ගැහැණු ළමයින්ටම, ස්ත්‍රියටම වරද පටවලා ඒවා සාධාරණීකරණය වෙනවා."

"එයා අඳින විදිහ බලන්නකෝ, ඒ මනුස්සයා එහෙම අහපු එක සාධාරණයිනේ... පිරිමින්ව පොළඹ ගත්තා... ඒ විදිහට තමයි අන්තිමේ කියවෙන්නේ. සියලුම චෝදනා කාන්තාවට."

'හිංසාවට ලක් වුණත් රස්සාව දාලා යන්න බෑ'

"ගැහැණු ළමයෙක් හදිස්සියේ හරි කිව්වොත්, 'මෙයා මට මෙහෙම අයුතු යෝජනාවක් කළා' කියලා, 'ආ එයා ඔහොම තමයි. ඕවා ගනන් ගන්න එපා' කියන සංස්කෘතියක් තමයි ජොබ් කරන තැන්වල තියෙන්නේ."

"ඒත් ජොබ් එක දමලා ගහලා යන්න පුළුවන් කමකුත් නැහැ. ඒ තරුණියට ළමයි ඉන්නවා වෙන්න පුළුවන්, අම්මා තාත්තා ලෙඩ ඇඳේ වෙන්න පුළුවන්, ආර්ථික අපහසුතා තියෙන්න පුළුවන්."

Nadeepa Ranasinghe

එවැනි සංවේදී කරුණු ඉදිරියේ ලිංගික හිංසා විඳදරා ගැනීමට බල කෙරුණ ද ඒ සම්බන්ධයෙන් සංවාදයක් මතුව ඇති මේ මොහොත ඊට එරෙහිව ඉදිරියට පැමිණීමට අවස්ථාවක් කර ගන්නා ලෙස නීතිඥ නදීපා රණසිංහ යෝජනා කරයි.

"මා එක්ක ආවේ නැත්නම්, මාත් එක්ක හිටියේ නැත්නම් මම ඔයාව මේ ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් කරනවා කියලා තර්ජනය කරනවා. එවැනි අවස්ථාවක ඒ ගැහැණු ළමයගේ පර්සනලිටි එක (පෞරුෂය) අනුව ඒකට කැමති වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්. එතකොට කැමති වෙන කෙනා අතින් තවත් ජෙනරේෂන් (පරම්පරා) ගානකට වැරැද්දක් සිද්ධ වෙන්නේ. ඒකත් එක්ක අර ආයතනය තුළ ඒ කල්චර් එක (සංස්කෘතිය) තව තවත් ශක්තිමත් වෙනවා."

"ලිංගික හිංසාවන්ට විරුද්ධ වෙන කාන්තාවකට නෙමෙයි රැකියාවේ රැඳී ඉන්න බැරි වෙන්න ඕනි, එවැනි යෝජනා ගේන පිරිමින්ටයි රැකියාවේ රැඳී ඉන්න බැරි අවස්ථාවක් නිර්මාණය කළ යුත්තේ..."

"නමුත් අපි සියලු දෙනාම කට වහගෙන ඉන්න නිසා යෝජනාව ගේන කෙනා නෙමෙයි, ඒකට අවනත නොවෙන කෙනා ගෙදර යන එක තමයි අපේ රටේ සිද්ධ වෙන්නේ."

Presentational grey line
Presentational grey line

රැකියා ස්ථානයේ සිදු වෙන ලිංගික හිංසාවන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියන් ඇතුළු සියලුම කාන්තාවන් දැනුවත් විය යුතු බව නීතීඥ නදීපා රණසිංහ පෙන්වා දෙයි.

"ලිංගික හිංසනයක් කියන්නේ ඇඟට අත තියන්නම ඕනි නැහැ. ඒක අපි හොඳින් තේරුම් ගත යුතුයි. අසභ්‍ය විහිළුවක්, අසභ්‍ය අභිනයක් පවා ලිංගික හිංසනයක්. මුහුණෙන් වෙන්න පුළුවන්, අතින් වෙන්න පුළුවන්, මේ ඕනම දෙයකින් තමන් අපහසුතාවට පත් වෙනවා නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැකි තවත් ක්‍රමවේද රටේ තිබෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ, 'සෙක්ෂුවල් හැරස්මන්ට්' අපරාධයක් බව නීතිගත කර තිබෙන රටක්.

"අඩුම තරමේ අසභ්‍ය 'වට්ස්ඇප්' පණිවිඩයක්, ඊමේල් එකක්වත්, අසභ්‍ය මැසේජ් එකක්වත් එවන්න බැහැ."

Sexual harassment at work - stock photo

ලිංගික හිංසාවක් සම්බන්ධයෙන් අදාළ ආයතනයෙන් හෝ එහි මානව සම්පත් (HR) අංශයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා අවස්ථාවක නීති ආධාර කොමිෂන් සභාව, පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශය, කාන්තා පිහිට (WIN) වැනි ආයතනවලින් නොමිලේ නීති උපදෙස් ලබා ගත හැකි බව නීතීඥ නදීපා රණසිංහ පෙන්වා දෙයි.

"රටේ නීති ප්‍රතිපාදන තිබුනත්, හිංසනයට පත්වෙන කාන්තාවන් ඉදිරියට එන්නේ නැති එක තමයි ප්‍රශ්නය."

"කුවේණිට ගල් ගහලා මරුවා වගේ, ගැහැණුන්ගේ චරිතවලට, ගැහැණුන්ගේ ගෞරවයට ගල් ගහලා මරණ සමාජයක් තාම තියනවා නම් ඒක වෙනස් කරන අභියෝගය කාන්තාවන්ම භාර ගත යුතුයි."

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව

Dilrukshi Handunnetti

මේ අතර ලිංගික හිංසා පිළිබඳ අත්දැකීම් වරින්වර සාකච්ඡාවට බඳුන් වුවත් ඉන් ඔබ්බට ගොස් එවැනි හිංසා අවම කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර මොනවාදැයි යන්න සාකච්ඡාවට බඳුන් නොවන බව ගවේෂණාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා, නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති පවසයි.

දකුණු ආසියානු ජනමාධ්‍යවේදිනියන්ගේ සංගමයේ ශ්‍රී ලංකා කලාපයේ සම කැඳවුම්කරු ලෙස ද කටයුතු කරන ඇය, මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (IFJ) විසින් 2015 වසරේදී ආසියා ශාන්තිකර කලාපයේ මාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සකසන ලද වාර්තාවේ පර්යේෂිකාවකි.

"උදාහරණයක් විදිහට කලාපයේ සියලුම රටවල ලිංගික හිංසනය ගැන අත්දැකීම් තිබෙනවා. ප්‍රවෘත්ති කාමරය ද, එලිය ද කියලා නෑ, ඉන්දියාව තුළ කාන්තාවන් විශාල වශයෙන් ශාරීරික පීඩාවන්ට, ලිංගික හිංසාවන්ට ලක් වෙනවා කියන දේ ගැන අපි කතා කළත් අපි සකච්ඡා නොකරන දේ තමයි ඔවුන් ඒ සම්බන්ධයෙන් අරන් තිබෙන ඉදිරි පියවර."

"ඉන්දියාව එවැනි ඉදිරි පියවරක් ගත්ත රටක්. 2015 'විශාකා මාර්ගෝපදේශ' සහ ඊට අදාළ නඩු තීන්දුව මගින් ඔවුන් ලිංගික හිංසනය ගැන සාකච්ඡාව වෙනමම මානයකට ගෙන ගියා."

'සෙක්ෂුවල් හැරස්මන්ට්' ගැන පැමිණිලි

Sexual harassment at work - stock photo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිංගික හිංසනයක් පිළිබඳ පැමිණිලි කිරීමට ඔබ ආයතනය තුළ නිසි ක්‍රමවේදයක් තිබේද?

එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවල #MeToo 'විරෝධතා ව්‍යාපාරය' ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදු නොවුනේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළත් එම විරෝධය සමාජයක් තුළ ස්වභාවයෙන් මතු විය යුතු බව ඇය පෙන්වා දෙයි.

සාරා කැල්ලපත ඇතුළු මාධ්‍යවේදිනියන් ලිංගික හිංසා පිළිබඳ තැබූ සටහන් එවැනි ස්වභාවික මතු වීමක් ලෙස හඳුනා ගන්නා අතරේ එවැනි හිංසාවන්ට එරෙහිව කටයුතු කිරීමට ප්‍රවෘත්ති අංශ සතු හැකියාව හෝ පෙළඹවීම කුමක් දැයි ප්‍රශ්න කළ යුතු බව නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති පවසයි.

"හිංසනය ගැන කතා කරන කොට, විශේෂයෙන් කාන්තාවක් ඒ ගැන කතා කළොත් ඇය නැවත වතාවක් අගතියට පත් වෙනවා (වින්දිතයාටම වරද පැටවීම/ Victim blaming). එතකොට ඒ කාන්තාව චරිතය හොඳ නැති කෙනෙක් වශයෙන් සමාජයේ ලැජ්ජ්ජාවට, අවමානයට (Stigma) ලක් වෙනවා. එහෙම වුණාම ප්‍රවෘත්ති අංශ තුළ 'අලිඛිත නීතිය' බවට පත් වෙන්නේ නිහඬ වීම පමණයි."

එහිදී සමරිසි පුද්ගලයෙකුගේ තත්ත්වය 'පිරිමියෙකුගෙන් කාන්තාවකට' එල්ලවන පීඩනයට වඩා තවත් දරුණු මට්ටමක පවතින බව නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති පවසයි.

Presentational grey line
Presentational grey line

"සමලිංගිකත්වය මේ රටේ නීතියෙන් පිළිගන්නෙත් නැති නිසා, ඔවුන් ප්‍රවෘත්ති අංශයක ඉන්නේ අපිටත් වඩා පහළ තැනක. ඒ කියන්නේ කතා කරන්නවත් අයිතියක් නැහැ... නෛතික බලයක් නැහැ, පිළිගැනීමක් නැහැ."

එමෙන්ම පුරුෂයන් ද කාන්තාවන් අතින් හිංසනයට පත් වෙන අවස්ථා ඉතාමත් සුළු වශයෙන් දැකිය හැකි බව ඇය පෙන්වා දෙයි.

ඉන්දියාවේ #MeToo 'විරෝධතා ව්‍යාපාරයත් සමග විද්‍යුත් මාධ්‍ය සහ පුවත්පත් හි සේවය කරන ඉන්දීය මාධ්‍යවේදිනියන් ලිංගික හිංසනයට උද්ඝෝෂණයේ යෙදෙන අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ #MeToo 'විරෝධතා ව්‍යාපාරයත් සමග විද්‍යුත් මාධ්‍ය සහ පුවත්පත් හි සේවය කරන ඉන්දීය මාධ්‍යවේදිනියන් ලිංගික හිංසනයට උද්ඝෝෂණයේ යෙදෙන අවස්ථාවක්

ලිංගික හිංසනයකදී වින්දිතයාට (Victim) මෙන්ම අපරාධකරුට ද (Perpetrator) සාධාරණ ක්‍රියාවලියක් ඔස්සේ ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් තිබිය යුතු බව ඇය කියා සිටී.

"උදාහරණයක් විදිහට රැකියාවකට අලුතෙන් ආවම 'ජොබ් ඔරියන්ටේෂන්' එක (කණ්ඩායමට හඳුන්වා දීම, කාර්යාල ගොඩනැගිල්ලේ අවශ්‍ය ස්ථාන පෙන්වීම, වැඩකටයුතු කෙරෙන ආකාරය සහ පරිපාලනය පිළිබඳ අවබෝධයක් ලබා දීම) ඇතුලේ කොහෙවත් කියනවද, 'මෙන්න මේ ආයතනයට තියනවා ලිංගික හිංසනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක්. ඊට අදාළ ක්‍රියාදාමයක්. ඔබ එවැනි හැසිරීමක් පෙන්නුම් කළොත් ඔබට එරෙහිව මෙන්න මේ ක්‍රියාමාර්ග ගන්නවා, රැකියාවෙන් නෙරපන්න පුළුවන්, අනතුරු ඇඟවීමක් (Warnning) කරන්න පුළුවන්'. එවැනි කිසිවක් රැකියාවකට එද්දී ලැබෙන්නේ නැහැ."

"අටට එන්න ඕනි, ඇඟිල්ල තියන්න ඕනි, පැය අටක් වැඩ කරන්න ඕනි කිව්වට කාන්තාවන්ට සහ ලිංගික සුළුතර ප්‍රජාවන්ට සේවා ස්ථානය වැඩ කිරීමට පහසු තැනක් කරන්න අපි මොනවද කරලා තියෙන්නේ?"

"අපේ තියෙන කුරිරුකම, මර්දනකාරී බව සහ පුරුෂාධිපත්‍යය පිරුණු සමාජ ක්‍රමයේ කොටස් තමයි අපි මේ ප්‍රවෘත්ති අංශ තුළ අත්දකින්නේ. මාධ්‍ය ආයතන කියන්නේ වෙන තැනක් නෙමෙයි, එතනටත් එන්නේ අර සමාජයෙන්."

'අම්මා බුදු වේවා කිව්වට වැඩක් නෑ'

"අපි කාන්තාවන්ට 'බඩුව' කියන සංස්කෘතියකින්නේ එන්නේ. අපි දේවතාවියන්ට වැන්දත්, අම්මා බුදු වේවා කිව්වත් කාන්තාව දිහා බලන විදිහ තමයි මේ එළියට එන්නේ."

එහිදී ලිංගික හිංසාව "සාමාන්‍යකරණය නොකර" කාන්තාවන්ට සහ සුළුතර ලිංගික ප්‍රජාවන්ට සුරක්ෂිත සේවා ස්ථානයක් සහතික කිරීමේ වැඩි වගකීම පුරුෂයන්ට පැවරෙන බව නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්තිගේ අදහසයි.

සිය ආයතනය තුළ ලිංගික හිංසනයට එරෙහි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට මාධ්‍ය "හාම්පුතුන්ට" ද වගවීමක් (Accountability) ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

"අවසාන වශයෙන් මේ ආරම්භ වුණු සංවාදය අපි ඉදිරියට ගෙන යා යුතුයි. 'දැන් අපි මේ ගැන කතා කරන' බවට ඒ හරහා අපි යම් පණිවිඩයක් දෙනවා. ලිංගික හිංසනය නමැති නිහඬ අපරාධය (Silent crime) ගැන අපි කතා කළ යුතුයි. නම්ගම් සඳහන් කිරීමෙන් එහා ගොස් ශක්තිමත් ක්‍රමවේදයක් සකසා ගැනීම සහ ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමයි කළ යුත්තේ."

මේ ගැනත් කියවන්න: