සිංගප්පූරුව වසර 20කට පසු මත්ද්‍රව්‍ය චෝදනා ලත් කතකට මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

Attendees at an anti-death penalty protest in Singapore on 3 April 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2022 අප්‍රේල් තුන්වන දා සිංගප්පූරුවේ පැවති මරණ දණ්ඩනයට එරෙහි විරෝධතාවකට සහභාගීවූවන්
    • Author, ඩෙරෙක් කායි
    • Role, බීබීසී පුවත්, සිංගප්පූරුව

සිංගප්පූරුව අද (ජුලි 28) වසර 20කට පමණ පසු පළමුවරට කාන්තාවකට පැනවූ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළබව බලධාරීහු තහවුරු කළහ.

සිංගප්පූරු ජාතික 45-හැවිරිදි කාන්තාවක වන සරිදේවි ජමානි, 2018 වසරේ දී හෙරොයින් ග්‍රෑම් 30ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වරදකාරිය විය.

සිංගප්පූරු ජාතික මොහොමඩ් අසීස් බින් හුසේන්ගෙන් පසුව මේ සතියේ දී මරණ දඬුවමට ලක්වූ දෙවන මත්ද්‍රව්‍ය වැරදිකාරිය ඇය වන අතර, 2022 වසරේ මාර්තු මාසයේ සිට මරණ දඬුවමට ලක්වූ 15 වන පුද්ගලයා ය.

සිංගප්පූරුව තුළ ලොව දැඩිම මත්ද්‍රව්‍ය විරෝධී නීති ක්‍රියාත්මක වන අතර, සමාජය ආරක්ෂා කිරීමට එම නීති අවශ්‍යබව එරට පවසයි.

සිංගප්පූරු නීතියට අනුව හෙරොයින් ග්‍රෑම් 15කට වැඩි ප්‍රමාණයක් හෝ ගංජා ග්‍රෑම් 500කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි ය. අසීස් වරදකරු වූයේ හෙරොයින් ග්‍රෑම් 50ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට ය.

අසීස් සම්බන්ධයෙන් "සම්පූර්ණ නීතිමය ක්‍රියාවලිය" අනුගමනය කර ඇති බව ත්, ඔහු වරදකරු කිරීමට හා ඊට පැනවුණු දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය 2018 වසරේ දී නිෂ්ප්‍රභ වූ බව ත් සිංගප්පූරුවේ මධ්‍යම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (CNB) පැවසුවේ ය.

අප්‍රේල් මාසයේදී, තව ත් සිංගප්පූරු ජාතිකයෙකු වූ තංගරාජු සුප්පයියා, ඔහු කිසි දා අත නොතැබූ ගංජා කිලෝග්‍රෑමයක් ජාවාරම් කිරීම් වරදට මරා දමනු ලැබීය. බලධාරීන් පවසන්නේ, ඔහු ජංගම දුරකතනය හරහා එම ගංජා අලෙවි කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කළ බව ය.

සරිදේවි ජමානිගේ සිද්ධිය පිළිබඳව බීබීසී පුවත් සේවය එරට මධ්‍යම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් විමසූ අවස්ථාවේ, එය ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.

බ්‍රිතාන්‍යයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන් සිංගප්පූරුවේ මරණීය දණ්ඩනය යළි ත් විවේචනය කරමින්, මරණීය දණ්ඩනය මගින් අපරාධ වළක්වා ගත නොහැකි බව පවසා ඇත්තේ ය.

"කුඩා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් ඕන. ඔවුන්ගෙන් බොහෝ දෙනා ඔවුන් මුහුණපා ඉන්න දුෂ්කරත්වයන් නිසා අනුන්ගේ පෙළඹවීම මත වරදට යොමුවෙන," බව බ්‍රැන්සන් ට්විටර්හි ප්‍රකාශ කර තිබුණි.

සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන මානව හිමිකම් සුරැකීමේ කණ්ඩායමක් වන Transformative Justice Collective ආයතනය පවසන පරිදි, ජමානි සිංගප්පූරුව තුළ මරණ දඬුවමට නියම වී සිටි කාන්තාවන් දෙදෙනාගෙන් කෙනෙකි. 2004 වසරේ දී සිංගප්පූරුව විසින් හිසකෙස් සැකසුම් ශිල්පිනී යෙන් මේ වෝන්ට මරණීය දණ්ඩනය දීමෙන් පසු එරට මරණ දණ්ඩනයට ලක් කෙරුණු පළමු කාන්තාව ඇය යි. යෙන් ද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් සම්බන්ධයෙන් වරදකරු විය.

ඉස්ලාමීය උපවාස මාසය තුළ පෞද්ගලික භාවිතය සඳහා හෙරොයින් සන්තකයේ තබාගත් බවට සරිදේවි ඇගේ නඩු විභාගයේ දී සාක්ෂි දුන් බව එරට මාධ්‍ය වාර්තාකර තිබුණි.

ඇය ඇගේ මහල් නිවාසයේ සිට හෙරොයින් සහ මෙතම්ෆෙටමින් වැනි මත්ද්‍රව්‍ය අලෙවි කළ බව ප්‍රතික්ෂේප නොකළ නමුත්, එම ක්‍රියාකාරකම්වල පරිමාණය අවතක්සේරු කළ බව විනිසුරු සී කී ඌන් සඳහන් කළේ ය.

සිංගප්පූරුව ලෝකයේ ආරක්ෂිත ම ස්ථානයක් ලෙස තබා ගැනීමට දැඩි මත්ද්‍රව්‍ය නීති උපකාර වන බව ත්, මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණ දණ්ඩනය දීමට පුළුල් මහජන සහයෝගයක් හිමි වන බව ත් එරට බලධාරීහු තර්ක කරති.

එහෙත්, මරණීය දණ්ඩනයට විරුද්ධ තැනැත්තෝ මෙය ප්‍රතික්ෂේප කරති.

"මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම හෝ ඒවා ජාවාරම් කිරීම වැළැක්වීමට මරණීය දණ්ඩනයෙන් බලපෑමක් වන බවට සාක්ෂියක් නෑ," ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ කියාරා සැන්ජෝජියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

"මෙම මරණ දණ්ඩනය මඟින් දෙන එක ම පණිවුඩය තමයි, සිංගප්පූරු රජය මරණීය දණ්ඩනය භාවිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර නියාමනයන් නැවත වරක් නොසලකා හැරීමට සූදානම් බව," ඇය පැවසුවා ය.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කළේ, චීනය, ඉරානය සහ සෞදි අරාබිය සමග, සිංගප්පූරුව මෑතක දී මත්ද්‍රව්‍ය සම්බන්ධ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ රටවල් හතරෙන් එකක් වන බව ය.