මරණ දණ්ඩනයට අත්සන් කරන්නේ නැහැ - ජනපති

Sri Lankan Special Task Force officer stands guard as prisoners leave from Supreme Court complex on November 13, 2018 in Colombo, Sri Lanka. Security is tight around President Secretariat office and Supreme Court while hearing the Fundamental Right petitions in the court challenging the dissolution of Parliament

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුට පණවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීමට 2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය වෙත මෙම දැනුම්දීම සිදු කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අදාළ ක්‍රියාව අභියෝගයට ලක්කරමින් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කොට තිබුණි.

විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, එස්, තුරෙයිරාජා, ගාමිණි අමරසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් නියම කරනු ලබන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය.

මේ බව දැනුම් දෙමින් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙන බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් වත්මන් ජනාධිපතිවරයා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතබන බවට තීරණයක් ගෙන තිබුණ ද අනාගතයේ දී පත්වන ජනාධිපතිවරු මෙම තීරණය අනුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බැවින් මෙම පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුවක් බලාපොරොත්තු වන බවත් දන්වා සිටියේය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙහිදී සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් "මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් අතරින් එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා විත්තිකරුවන් තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටිය පමණයි අධිකරණය හමුවේ ප්‍රශ්න කළ හැක්කේ. ඉන් පරිබාහිර කාරණා අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා මේ පෙත්සමේ සඳහන් කාරණා වැනි සිද්ධීන් අනාගතයේද ඇති නොවීමට ව්‍යවස්ථාදායකය වගබලා ගත යුතුයි. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි"යනුවෙන් පැවසීය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අදාළ පෙත්සම් අනාගතයේ දී අවශ්‍යතාවයක් මතු වුවහොත් යළි කැඳවීමේ අයිතිය රදවාගැනීම සම්බන්ධයෙන් තමන් විරුද්ධත්වයක් නොදක්වන බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා අත්සන් නොතබන බවට නීතිපතිවරයා විසින් ලබා දුන් ප්‍රතිඥාව සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය.

2019 වසරේ ජුනි මස 26 වන දින ප්‍රකාශයක් සිදුකළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් 4 දෙනෙකුට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් කිරීමට තීන්දු කර ඇතැයි ප්‍රකාශ කළේය.

Sirisena against drugs

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මරණ දඬුවම් දීම පිළිබඳව මගේ අකමැත්තක් නෑ. නමුත් මට ඒ සඳහා බලය තිබුණත්, මම බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපය තුල ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න," මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරය හෙබවූ සමයේ දී පැවසීය

ඉන් අනතුරුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු අතර ඒ තුළින් අවධාරණය කර තිබුණේ අදාළ විත්තිකරුවන් හතරදනා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තෝරා ගත් ආකාරය නීතියට පටහැණි බවයි.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ විශාල පිරිසක් බන්ධනාගාරගතව සිටියදී අත්තනෝමතික ආකාරයෙන් විත්තිකරුවන් හතර දෙනෙකු පමණක් එක්වර තෝරාගෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති සිරිසේන ගත් තීරණය නීතියට පටහැනි බවත් "මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම" ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය නොවන බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින් වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අත්තනෝමතික අයුරින් විත්තිකරුවන් හතර දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගනු ලැබූ තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දු කොට එම තීරණය බල රහිත ලෙස ඉල්ලමින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කොට තිබුණි.