මරණ දඬුවම ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ටත් පැහැදිලි කළා - ජනපති

ඡායාරූප මූලාශ්‍රය, Www.news.lk
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහි වන පුද්ගලයන් මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා පසුගිය කාලයේ දුන් සහය කුමක් දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න කරයි.
සඳුදා (ජූලි 01) ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුළුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, රටේ යහපත වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවය.
''මම දැක්කා ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කියල තියෙනවා ඒ ගොල්ලන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිය මරණීය දණ්ඩනය නෙමෙයි කියල. පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා නම් මේ අවුරුදු හතර හමාරට රට කොච්චර හොඳ ද? විපක්ෂයෙන් මම දැක්ක කියල තියෙනවා, මරණීය දණ්ඩනයට විරුද්ධයි, මේක කරන්න එපා කියලා. මේ සියලු දෙනාගෙන් මම අහනවා ප්‍රශ්නයක්. මත්ද්‍රව්‍ය නැති කරන්න දීල තියෙන උදව්ව මොකක් ද? වැඩපිළිවෙළ මොකක් ද?'' යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
''ඇමරිකාවේ 2018 අවුරුද්දේ විතරක් 25 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළා. ඉන්දියාවේ, සිංගප්පූරුවේ, චීනයේ මරණීය දණ්ඩනය තියෙනවා. ලෝකයේ රටවල් ගණනාවක මරණීය දණ්ඩනය තියෙනවා. සමහර තැන්වල වෙඩි තියනවා. එල්ලුම් ගහ, එහෙම නැත්නම් විෂ එන්නතක්. මේ වැඩපිළිවෙළට මම නායකත්වය දෙන්නේ පළවෙනි කාරණය තමයි මේ රටේ දරුවන් බේර ගන්න,'' යනුවෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Www.news.lk
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට දුන් පිළිතුර
මරණ දඬුවමට එරෙහිව අදහස් දක්වන පාර්ශව පිළිබඳව සඳහන් කරමින් ජනාධිපතිවරයා මෙලෙස සඳහන් කළේය.
''ආණ්ඩුවේ ලොක්කෝ කතා කරනවා, විපක්ෂයේ ලොක්කෝ කතා කරනවා, මැති ඇමතිවරු කතා කරනවා, එන්ජීඕ කාරයෝ කතා කරනවා, පාර්ලිමේන්තුවේ කතා කරනවා, ජාත්‍යන්තර සංවිධාන කතා කරනවා. දැන් දවස් තුනකට කලින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් තුමා මට රෑ අටට කතා කළා. ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍රයි කියල ආරංචියි, මරණීය දණ්ඩනය දෙනව ද මගෙන් ඇහුව. මං මහ ලේකම්තුමාට කරුණු පැහැදිලි කෙරුවා.''
පාසල් දරුවන් හා විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු කර ගැනීම සඳහා ජාවාරම්කරුවන් ක්‍රියා කරන ආකාරය, ලංකාවේ පුනරුත්ථාපන කඳවුරුවල ඉඩ නොමැති වීම, මවුපියන්ගේ දුක්ගැනවිලි, ආණ්ඩුවට එල්ල වන චෝදනා ආදිය පදනම් කරගෙන මේ තීරණය ගත් බවත්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර හා මිනීමැරුම් ඇතුළු අපරාධ සඳහා මත්ද්‍රව්‍ය භාවිතය හේතු වී තිබෙන ආකාරය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට පැහැදිලි කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එබැවින් රට විනාශ වන තුරු තමන්ට බලා සිටිය නොහැකි නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව තමන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට දැනුම් දුන් බව ජනාධිපතිවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Www.news.lk
"වතුර බෝතලයට වඩා බියර් බෝතලය ගාණ අඩුයි"
කාන්තාවන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ලංකාව මුහුණ දෙන නව අභියෝගයක් බව ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
''දැන් පහුගිය කාලේ මමත් විරුද්ධ වුණා. සෞඛ්‍ය ඇමැතිතුමාත් විරුද්ධ වුණා. බියර් ලාභ කළා. ලංකාවේ වතුර බෝතලයකට වඩා බියර් බෝතලය ගාණ අඩුයි. ලංකාවේ කාන්තාවන් වැඩිපුර පාවිච්චි කරන්නේ බියර්. බියර් ගාවට වයින් වැඩිපුර පාවිච්චි කරනවා කාන්තාවෝ. අවුරුද්දකට මත්ද්‍රව්‍ය නිසා පනස් දාහකට වඩා හිර භාරයට යනවා. ඒ සංඛ්‍යාවෙන් සෑහෙන පිරිසක් කාන්තාවෝ,'' යනුවෙන් ජනපතිවරයා පැවසුවේය.
ඔහුගේ ප්‍රකාශයට අනුව ලංකාවේ වසරකට නීති විරෝධිව සංසරණය වන මත්ද්‍රව්‍ය ප්‍රමාණය රුපියල් බිලියන පනහකට අධික වේ. රක්ෂිත බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගෙන් 60%ක් මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්ය.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්වී සිටින සිව් දෙනෙකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් තැබූ බව පසුගිය ජූනි 26 වන දා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ යළිත් මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන් ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ශව ගණනාවක් පසුගිය සතියේ අදහස් පළ කර තිබිණි.
මරණ දඬුවම ගැන සිය ෆේස්බුක් පිටුවේ දීර්ඝ සටහනක් තබන මාධ්‍යවේදිනී නාමිණී විජේදාස, ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය යටතේ මිනීමරුවන් වැනි අපරාධකරුවන් නිදැල්ලේ හැසිරෙන අතර, කිසිදු වරදක් නොකළ පුද්ගලයන් හිරිහැරවලට ලක්වන සහ දඬුවම් විඳින බව උදාහරණ සහිතව පෙන්වා දී තිබුණි.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තවත් විවිධ අදහස් පළ වී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, facebook

ඡායාරූප මූලාශ්‍රය, facebook

ඡායාරූප මූලාශ්‍රය, Shanika Somathilake
මේ අතර බීබීසී සිංහල සේවය සමඟ මීට ඉහතදී අදහස් දැක්වූ නීතිවේදිනී අචලා සෙනෙවිරත්න කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ළමා අපයෝජකයින් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බවය.
"සදාචාරාත්මක පැත්තෙන් ගත්තොත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනුමත කරන්න බැහැ. ඒත් සමාජයට විනාශයක් කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ළමා අපයෝජකයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මම විරුද්ධ නැහැ. අඩු තරමින් අංශ කිහිපයකට හරි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හොඳයි. එතකොට සමාජයට හානියක් කරන ජාවාරම්කරුවන් යම් විදිහකින් පාලනය වෙයි කියලයි මම හිතන්නේ."

ඡායාරූප මූලාශ්‍රය, ACHALA SENEVIRATNE/FACEBOOK
කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී අතරමැදියන්ට මරණ දඬුවම ලබා දීම වෙනුවට සැබෑ ජාවාරම්කරුවන්ට දඬුවම් ලබා දිය යුතු බව ද නීතීඥ අචලා සෙනෙවිරත්න පෙන්වා දුන්නාය.
"ලංකාවේ නීති පද්ධතිය අනුව මහා පරිමාණ ජාවාරම්කරුවන් බේරිලා අතරමැදියන් වැරදිකරුවන් බවට පත්වන අවස්ථා තියෙනවා. ඒ නිසා සාධාරණ විදිහට පරීක්ෂණ පවත්වලා සැබෑ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි," ඇය සඳහන් කළාය.
තවදුරටත් කියවන්න:








