මරණ දඬුවම: මේ සතියේ එල්ලා මරන්නේ නැහැ - බන්ධනාගාරයෙන් පොරොන්දුවක්

මරණ දඬුවමට එරෙහිව නැගුණු විරෝධයක්

ඡායාරූප මූලාශ්‍රය, Twitter/ThyagiRuwanpathirana

ඡායාරූප ශීර්ෂ වැකිය, මරණ දඬුවමට එරෙහිව නැගුණු විරෝධයක්

බන්ධනාගාරගතව සිටින කිසිදු සිරකරුවකු සිකුරාදා (ජුනි 28) සිට සතියක කාලයක් තුළ මරණීය දණ්ඩනයට ලක් නොකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු විය.

ඔහු ඒ බව කියා සිටියේ, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේ දීය.

අභියාචනාධිකරණය විසින් නිකුත් කළ නොතීසියක් මත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී එම් ජේ ඩබ්ලිව් තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉදිරි දින 4 තුළ කිසියම් හෝ විත්තිකරුවකු මරණීය දණ්ඩනයට ලක් කිරීමේ සූදානම් තිබේදැයි මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එලෙස මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන මෙන් තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් ලැබි නොමැති බවය.

මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ කළ තවත් විමසුමකට පිළිතුරු දුන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සිකුරාදා සිට සතියක කාලයක් තුළ කිසිදු විත්තිකරුවකු මරණීය දණ්ඩනයට ලක් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන බව ද දන්වා සිටියේය.

පෙත්සම්කරු කියා සිටින්නේ පුද්ගලයින් 4 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කළ බවට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර ඇති බවය

ඡායාරූප මූලාශ්‍රය, MAITHRIPALA SIRISENA/FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙත්සම්කරු කියා සිටින්නේ පුද්ගලයින් 4 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කළ බවට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර ඇති බවය

ඒ අනුව අදාළ ප්‍රතිඥාව සටහන් කර ගත් අභියාචනාධිකරණය, එම පෙත්සම සලකා බැලීම ජුලි මස 02 වන දා සිදු කරන ලෙසට නියම කළේය.

මෙහිදී නීතිපතිවරයා නියෝජනය කරමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව මෙවැනි නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දුන්නේය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ පෙත්සම සලකා බලන අවස්ථාවේ දී එම මූලික විරෝධතාව මතු කිරීමට හැකියාව පවතින බවය.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සහ නීතිපතිවරයා පෙත්සමේ මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයින් 4 දෙනෙකුට ඔවුන්ගේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කර ඇති බවට ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර ඇති බවය.

මෙම තීරණය තුළින්, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුවත් එමගින් දැඩි මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවීමට ඉඩකඩ තිබෙන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

එබැවින් එම දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය වන බව
ඡායාරූප ශීර්ෂ වැකිය, " නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය වන බව"

මරණ දඬුවම නියම කෙරුණ සිරකරුවන් සිව් දෙනෙකු නුදුරු දිනයක එල්ලා මරා දමන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශයට එරෙහිව වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපස උද්ඝෝෂණයක් ද පැවැත්විණ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

මීට අමතරව, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිරකරුවන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් ද සිල්වා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරනු ලැබ තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක් නොව මිනීමැරුම් ඇතුළු චෝදනා ගණනාවකට වරදකරුවන් වී මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයින් බන්ධනාගාරවල සිටින බවය.

එවැනි තත්වයක් තුළ මත් ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයින්ගේ දඬුවම් පමණක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය වන බව ද පෙත්සම්කරුවෝ පවසති.

තවත් කියවන්න: