මරණ දණ්ඩනය: අළුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගනී

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අළුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගෙන තිබේ.
ඩේලි නිව්ස් පුවත් පත වාර්තා කළේ, ඔවුන් දෙදෙනා වැඩි ලකුණු ලබාගත් අයදුම්කරුවන් 26 දෙනා අතුරින් ඉහළම ලකුණු ලබාගත් දෙදෙනා බවය.
ශ්‍රී ලංකාව අවසාන වරට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළේ මීට වසර 43කට පෙරය. ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය වෙළෙඳාම, මිනි මැරීම මරණ දඬුවම ලබාදිය හැකි වරදවල් ලෙස ගැනෙන අතර, නමුත් 1976න් පසු මරණ දඬුවම ක්‍රියාත්මක නොකෙරුණි.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිහිප වරක් පවසා තිබේ.
2019 පෙබරවාරි මාසයේදී අළුගෝසු තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවීය.
එ සඳහා පුද්ගලයින් 102ක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණි. ඒ අතුරින් 79 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවිණි.
ඇමෙරිකානුවන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද අළුගෝසු තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබු බව සඳහන් වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අළුගෝසු තනතුර මීට වසර පහකට පමණ පෙර පුරප්පාඩු වූයේ එම තනතුරේ සිටි පුද්ගලයා ඉල්ලා අස්වීමෙන් පසුවයි.
ඉන්පසු තවත් අයෙක් එම තනතුර සඳහා පසුගිය වසරේ බඳවා ගෙන තිබු අතර ඔහු සේවයට වාර්තා නොකළ බව පැවසේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජුනි 26 වෙනිදා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී තමා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළිකළේය.
"මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනකුට මරණ දඬුවම් ලබා දීමට මේ වන විට අත්සන් තබා තියෙන්නේ," යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම හමුවේදී පැවසීය.
"ඒ පුද්ගලයන්ට තවම මේ පිළිබඳව දැනුම් දී නැහැ. අපි ඒ වැරදිකරුවන්ගේ නම් හෙළිකරලා නෑ. නම් හෙළි කළොත් බන්ධනාගාර තුළ ගැටුම් ඇති වේවි."
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 200,000 පමණ සිටින බව පැවසු ජනාධිපතිවරයා සිරකරුවන්ගෙන් 60%ක් පමණ මත්ද්‍රව්‍ය වැරදි නිසා දඬුවම් විඳින අය බවද කීය.
නමුත් දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම තීරණය නිසා ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය ඉහළ යා හැකි බවය.
ඊළඟ ජනාධිපතිවරණය 2019 වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතය.
මේ වන විට මරණ දඬුවම හිමිවූවන් හා අභියාචනා ඉදිරිපත් කර සිටින මුළු සිරකරුවන් ගණන 1261 කි.
බන්ධනාගාර වාර්තා අනුව එයින් 297 දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටී.
මරණ දඬුවම හිමිවී ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති සංඛ්‍යාව 823 දෙනෙකි.
ඉන් 36 දෙනෙකු කාන්තාවක් වේ.

ඡායාරූප මූලාශ්‍රය, PMD
ජාත්‍යන්තර ප්‍රතිචාරය:
මේ අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ, එක්සත් රාජධානිය, ප්‍රංශය, නෝර්වේ සහ යුරෝපීය සංගමය, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරෝධය දක්වති.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධවලින් මුදා ගත නොහැකි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ අදහසයි.
මේ අතර එක්සත් රාජධානිය පැවසුවේ ශ්‍රී ලංකාව මීට මාස හයකට පෙර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ගෝලීය ක්‍රමවේදය අනුගමනය කරමින් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවය.
අභියාචනාධිකරණට දුන් පොරොන්දුව:
බන්ධනාගාරගතව සිටින කිසිදු සිරකරුවකු ජුනි 28 සිට සතියක කාලයක් තුළ මරණීය දණ්ඩනයට ලක් නොකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වී තිබේ.
ඔහු එම පොරොන්දුව ලබා දුන්නේ, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම "අත්හිටුවීමේ නියෝගයක්" නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දීය.
ඉදිරි දින 4 තුළ කිසියම් හෝ විත්තිකරුවකු මරණීය දණ්ඩනයට ලක් කිරීමේ සූදානම් තිබේදැයි මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එලෙස මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන මෙන් තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් ලැබි නොමැති බවය.








