තංගරාජු සුප්පයියා: කංසා ජාවාරම් කළ පුද්ගලයෙකු සිංගප්පූරුවේදී එල්ලා මරයි

ඡායාරූප මූලාශ්‍රය, TRANSFORMATIVE JUSTICE COLLECTIVE
- Author, ෆ්‍රාන්සන් මාඕ සහ ජොයෙල් ගින්තෝ
- Role, සිංගප්පූරුවේ සිට.
කංසා ප්‍රවාහනය කිරීමට කුමන්ත්‍රණය කළ පුද්ගලයෙකුට ඔහුගේ පවුලේ සාමාජිකයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්ෂමාව දෙන ලෙස කළ ඉල්ලීම් නොතකා සිංගප්පූරුවේදී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර තිබේ.
ඔහුගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ, බදාදා අලුයම චංගි බන්ධනාගාරයේදී 46 හැවිරිදි තංගරාජු සුප්පයියා එල්ලා මරා දැමූ බව ය.
මානව හිමිකම් ක්‍රියාකාරීන් පැවසුවේ, දුර්වල සාක්ෂි මත ඔහු වරදකරු බවට පත් කර ඇති අතර අදාළ නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් නීතිමය ප්‍රවේශය සීමා කර තිබූ බව ය.
මේ අතර, ඔහු වෙනුවෙන් ප්‍රමාණවත් නීතිමය ප්‍රවේශයක් ලබා දුන් බව පැවසූ සිංගප්පූරු බලධාරීහු, මානව හිමිකම් ක්‍රියාකාරීන් අධිකරණයේ තීන්දු ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල කළහ.
මත්ද්‍රව්‍යවලට එරෙහිව ලෝකයේ පවතින වඩා ත් දැඩි නීති රැසක් සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන අතර, ඔවුන් තර්ක කරන්නේ මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීම සදහා ඒවා අවශ්‍ය බවට ය.
පසුගිය වසරේදී සිංගප්පූරුව මත්ද්‍රව්‍ය චෝදනා මත පුද්ගලයින් 11 දෙනෙකු එල්ලා මරා දැමූ අතර, ඒ අතර හෙරොයින් ප්‍රවාහනය කළ බවට චෝදනා ලැබූ බුද්ධි සංකූලතා සහිත පුද්ගලයෙක් ද විය.
බදාදා දිනයේ, තංගරාජු සුප්පයියාගේ පවුලේ සාමාජිකයින් පිරිසක් චංගි නගරයේ නැගෙනහිරින් පිහිටි බන්ධනාගාරය ආසන්නයේ එක්රැස් වී සිටියහ.
"පවුලේ සාමාජිකයින් කියන්නේ අවසානය දක්වා ම ඔහුව අත් නොහරින බව. එය ඔවුන්ට එතරම් වේදනාකාරී අත්දැකීමක්," මරණීය දණ්ඩනයට එරෙහි ක්‍රියාකාරිකයෙකු වන කර්ස්ටන් හෑන් බදාදා බීබීසී වෙත පැවසීය.
"ඔහුගේ නඩුව සහ ඔහුට එරෙහි සාක්ෂි ගැන නොවිසඳුණු ප්‍රශ්න ගොඩක් තවමත් ඔවුන්ට තියෙනවා."
සිංගප්පූරුවේ දැඩි මත්ද්‍රව්‍ය නීති සහ මරණීය දණ්ඩනය භාවිත කිරීම කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව දැඩි ලෙස පටහැනි බව ක්‍රියාකාරීහු පවසති.
අසල්වැසි මැලේසියාව අනිවාර්ය මරණීය දණ්ඩනය ඉවත් කළේ, එය එම අපරාධය වැළැක්වීම සදහා ඵලදායී ක්‍රමයක් නොවන බව පවසමිනි. ලෝකයේ රටවල් රැසක කංසා අලෙවිය අපරාධයක් නොවන බව පිළිගෙන ඇති අතර, එම රටවල් අතර කංසා වෙළදාම දිරිමත් කරන අසල්වැසි තායිලන්තය ද වේ.
2018 වසරේදී නියම කළ මරණීය දණ්ඩනයට එරෙහිව තංගරාජු සුප්පයියාගේ පවුලේ සාමාජිකයින් අවසන් මොහොතේදී ද ගොනු කළ අභියාචනය අඟහරුවාදා ප්‍රතික්ෂේප විය.
පසුගිය දින කිහිපයේදී පවුලේ සාමාජිකයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ඔහුට සමාව දෙන ලෙස ඉල්ලා සිංගප්පූරු ජනාධිපති හලීමා යාකොබ් වෙත ලිපි යොමු කළ අතර, බ්‍රිතාන්‍යයේ බිලියනපති ව්‍යාපාරිකයෙකු වන රිචර්ඩ් බ්‍රැන්සන් මරණීය දණ්ඩනය අත්හිටුවා නඩුව යළි විභාග කරන්නැයි ඉල්ලීමක් ද කළේ ය.
"මගේ සහෝදරයා කිසි වරදක් නොකළ බව මම දන්නවා. මම අධිකරණයෙන් ඉල්ලන්නේ මේ නඩුව මුල ඉඳලා ආයෙත් විභාග කරන්න කියලා," මරණීය දණ්ඩනයට යටත් වූ තංගරාජුගේ සොහොයුරිය වන ලීලා සුප්පයියා පසුගිය ඉරිදා මාධ්‍යවේදීන්ට පැවසීය.
2013 වසරේදී මැලේසියාවේ සිට සිංගප්පූරුව දක්වා "කංසා කිලෝග්‍රෑම් 1ක් (අවුන්ස 35ක්) පමණ ප්‍රවාහනය කිරීමට කුමන්ත්‍රණයක යෙදීම ත්, අනුබල දීම ත්" සම්බන්ධයෙන් තංගරාජු සුප්පයියා වරදකරු විය.
ඔහු එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී හෝ සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන නොතිබිණි. එහෙත්, නීතිඥයින් පැවසුවේ එම ජාවාරම සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු බව ය. එමෙන් ම, අදාළ කංසා තොගය ප්‍රවාහනය කළ තැනැත්තා ඔහුට කතා කළ දුරකතන අංක දෙකක් සොයා ගැනීමට හැකි වූ බව ද නීතිඥයෝ පැවසූහ.
ඔහු කියා සිටියේ, නඩුවට සම්බන්ධ සෙසු පුද්ගලයින් සමග දුරකතනයෙන් සම්බන්ධ වන පුද්ගලයා තමා නොවන බව ය. එක් දුරකතනයක් ඊට පෙර අස්ථානගත වූ එකක් බව ත්, දෙවැන්න තමාට අයිති නැති බව ත් ඔහු පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සිංගප්පූරුව මරණීය දණ්ඩනය අනිවාර්ය කර ඇති අතර ඒවා ප්‍රවාහනය කරන්නන්ට පනවන දඬුවම් ඊට වඩා ලිහිල් ය.
අවසන් වරට තංගරාජු සුප්පයියා වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනයේදී ඔහු එම කංසා ප්‍රවාහනය කිරීම සම්බන්ධීකරණය කිරීමට වගකිව යුතු බවට නීතිඥයින් ඉදිරිපත් කළ කරුණට විනිසුරුවරයා එකඟ වීම හේතුවෙන්, ලිහිල් දඬුවමක් ඉල්ලා සිටීමට පැවති අවස්ථා අහිමි වී ගියේ ය.
ඔහුට දෙමළ පරිවර්තකයෙකුගේ සහය ලබා ගැනීමට ප්‍රමාණවත් අවස්ථාවක් නොදුන් බවට ත්, අවසන් අභියාචනයේදී ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නීතිඥයෙකුගේ සහය ලබා ගැනීමට නොහැකි වූ බවට ත් මානව හිමිකම් ක්‍රියාකාරීන් අවධානය යොමු කර තිබේ.
සිංගප්පූරු බලධාරීන් පවසන්නේ, ඔහු නඩු විභාගය පැවැත්වෙන අතරතුර පරිවර්තකයෙකු ඉල්ලා සිටිය ද, ඊට පෙර එවැනි ඉල්ලීමක් කර නොතිබූ බව ය. ඔවුන් වැඩිදුරට ත් පවසන්නේ, මෙම ක්‍රියාවලිය අතරතුර ඔහුට නීතිමය උපදේශන සදහා ප්‍රවේශයන් පැවති බව ය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
2022 වසරේදී බුද්ධි සංකූලතා සහිත පුද්ගලයෙකු වූ නාගේන්ද්‍රන් ධර්මලිංගම්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල කළ ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන් පැවසුවේ, මෙම අලුත් ම සිද්ධිය "පැති කිහිපයකින් තැති ගැනීමක් ඇති කළ" බව ය.
ඔහුගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඔහුට චෝදනා කළේ, ඔහුගේ චෝදනා කිරීම "සිංගප්පූරුවේ විනිසුරුවරුන්ට සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියට අගෞරවයක්," බව ය.
සිංගප්පූරුව ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා ඵලදායී වූ බහුවිධ ප්‍රවේශයක් තුළ මරණ දඬුවම "අත්‍යවශ්‍ය අංගයක්" බව එම අමාත්‍යංශය පැවසීය. ය.










