පොලිස් නිලධාරියකු සිවිල් ඇඳුමින් කරන ක්‍රියාවන්හි වගකීමෙන් රජයට බැහැර විය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
පොලිස් නිලධාරියෙකු සිවිල් ඇඳුමින් සැරසී සිටි පමණින් ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන්හී වගකීමෙන් රජයට බැහැර විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.
කටුනායක පොලිසියේ නිලධාරියකු තමන්ට අමානුෂික ලෙස පහර දී කායික සහ මානසික වශයෙන් හිංසාවට ලක් කළ බව සඳහන් කරමින් වාගොව්ව ප්‍රදේශයේ පදිංචි අලුවිහාරගේ ටයිටස් කුමාර සහ පිංගමගේ ජයසෝම යන අය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව අවධාරණය කළේය.
ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2019 වසරේ පෙබරවාරි මස 10 වැනිදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල රිය අනතුරක් සිදුවී ඇති අයුරු තමන් දුටු බවයි.
එම ස්ථානය අසලට යන අවස්ථාවේදී වැටී සිටි පුද්ගලයෙකු "වෙඩි තියන්න එපා" යනුවෙන් කෑ ගසනු තමන්ට ඇසුනු බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.
එම ස්ථානයට ගිය විට සිවිල් ඇඳුමින් සැරසී පුද්ගලයකු සිටි බවත් මෙම පුද්ගලයා පොලිස් නිලධාරිකු වශයෙන් තමන් හඳුනාගත් බවත් ඔවුහූ සඳහන් කරති.
එම පුද්ගලයා මෙම පෙත්සමේ පළමු වන වගඋත්තරකරු වශයෙන් නම්කර සිටින කටුනායක පොලිසියේ සේවය කළ ප්‍රියන්ත බණ්ඩාර අතපත්තු නැමැති කොස්තාපල්වරයා බවත් ඔවුහූ සදහන් කළහ.
අනතුරුව මේ පිළිබඳ විමසූ විට එම වගඋත්තරකරු තම ගිනි අවියෙන් පහර දීම නිසා පළමුවන පෙත්සම්කාර ටයිටස් කුමාර නැමැත්තා බිම ඇද වැටී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ හිසේ පිටුපස කොටසේ සහ තොල් වලට තුවාල සිදුවී තිබේ.
අනෙක් පුද්ගලයාට ද මේ වග උත්තරකරු විසින් පහරදී ඇති අතර මෙම පහරදීම් හේතුවෙන් මෙම පෙත්සම්කරුවන් දෙදෙනා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇත.
මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුහු නීතීඥ ලක්ෂාන් ඩයස් මාර්ගයෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.
මෙම පෙත්සම ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගන්නා ලදී.
පෙත්සම්කරුවන්ට වන්දි ගෙවිය යුතු බවට නියෝග
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නඩු විභාගය පැවති අවස්ථාවේදී රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මෙම ක්‍රියාව සිදුවන අවස්ථාවේදී පළමුවන වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා සිවිල් ඇඳුමින් සැරසී සිටි බවත් එම නිසා ඔහු පොලිස් නිලධාරියකු වශයෙන් පෙත්සම්කරුවන් හඳුනාගත්තේ කෙසේද? යන බරපතල සැකයක් මතුවන බව යි.
එම නිසා සිවිල් ඇඳුමින් සැරසී සිටි මේ පුද්ගලයා සිදු කළ ක්‍රියාවේ වගකීම රජයට දැරිය නොහැකි බවත් ඇය පෙන්වා දුන්නාය.
ඒ අනුව මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කර තිබිණි.
එහෙත් සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ "රජයේ නීතිඥවරිය විසින් මතු කළ තර්කය අධිකරණය බැහැර කරනවා. පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ සෑම පොලිස් නිලධාරියෙකුම සෑම විටම රාජකාරියේ යෙදී සිටින පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බව සඳහන්ව තිබෙනවා. එමෙන්ම ඔහු විසින් භාවිත කළ ගිනි අවිය කටුනායක පොලිසිය විසින් නිකුත් කළ ගිනි අවියක් බවටත් කරුණු ඉදිරිපත් වී තිබෙනවා. ඊට අමතරව තමන් පොලිස් නිලධාරියකු බව ඔහු පෙත්සම්කරුවන්ට සඳහන් කර තිබෙනවා. ඔහුගේ හැඳුනුම්පතත් පෙන්වා තිබෙනවා. එම නිසා පෙත්සම්කරුවන් මෙම වග උත්තරකරු පොලිස් නිලධාරියෙකු ලෙස හඳුනා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට කිසිදු සැකයක් මතු වෙන්නේ නැහැ. මෙම පෙත්සම්කරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය වාර්තාව පිරික්සීමේදී ඔවුන් පහරදීම නිසා තුවාල වලට ලක්වී තිබෙන බව පැහැදිලි වෙනවා. මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා තමන් වෙත පැවරී තිබෙන බලය අවභාවිතා කර තිබෙන බව පැහැදිලියි. ඒ නිසා සිවිල් ඇඳුමින් සැරසී සිටියත් ඔහු කළ ක්‍රියාවේ වගකීමෙන් රජයට බැහැර විය නොහැකියි. පළමු වන වගඋත්තරකරු මේ වන විට පොලිස් සේවයෙන් ඉවත්ව විදේශගතව සිටින බවට විභාගයේදී කරුණු අනාවරණය වුණා.එහෙත් ඔහු කළ ක්‍රියාව සම්බන්ධයෙන් රජය වගකීමට බැඳී සිටියි" යනුවෙන් ප්‍රකාශ කළ විනිසුරුවරයා මෙම පෙත්සම්කරුවන්ට සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් ඔවුන්ට රුපියල් 10000/- බැගින් වන්දි ගෙවිය යුතු බවටත් නියෝග කළේය.
එම වන්දි මුදල් තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.














