සැකකරුවන් මාධ්‍ය ඔස්සේ නිරාවරණය කිරීම 'මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්': පොලිසියේ ප්‍රතිචාරය කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් මාධ්‍ය වෙත නිරාවරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට දැඩි චෝදනා එල්ල වෙමින් තිබේ.
මෙම තත්ත්වය වඩාත් කතාබහට ලක්වූයේ, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළ සැකකරු බව කියන පුද්ගලයෙකු පසුගිය දා මහරගමදී අත්අඩංගුවට ගත් අවස්ථාව විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ය.
කෙසේ වෙතත්, ඊට පෙර ද කෙහෙල්බද්දර පද්මේ, ඉෂාරා සෙව්වන්දි ආදී සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවලදී ද ඔවුන්ගේ වීඩියෝ පොලිසියේ මැදිහත්වීමෙන් මාධ්‍ය වෙත ලබා දුන් අවස්ථා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ වී තිබිණි.
වැලිගම ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගැනීම
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළ සැකකරු බව කියන පුද්ගලයෙකු පසුගිය දා මහරගමදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පොලිසියට දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
ඒ පිළිබඳව අඟහරුවාදා (ඔක්: 28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද ප්‍රශ්න කෙරිණි.
සැකකරුවෙකුගෙන් "මහපාරේ තියාගෙන ප්‍රශ්න කිරීම" නීතිවිරෝධී බවත්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාවරය කුමක් ද? යන්න පැහැදිලි කරන ලෙසත් මාධ්‍යවේදීහු එහිදී පැවසූහ.
ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට නියෝග කර ඇති බව ය.
"විමර්ශකයෙකුගේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ අත්අඩංගුවට ගැනීම්, රේඩ් කිරීම්. මේ සියලු කරුණු කාරණා අපි දන්නවා හැම විටකදී ම අධිකරණයකදී මේවා අවසන් වෙන්නෙ. ඒ නිසා අධිකරණමය වශයෙන් පියවර ගැනීමේදී මේ මාධ්‍ය හරහා කරුණු ඉදිරිපත් කිරීම, වීඩියෝගත කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යි. ඒ නිසා මේ වන විට පොලිස්පතිතුමා දැඩි අවධානය යොමු කරල මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිද්ධ වෙච්ච අවස්ථාවෙදි ඒ හා සබැඳි නිලධාරීන්ට විරුද්ධව මේ වෙද්දි විශේෂ විමර්ශන ඒකකය (SIU) විමර්ශනයක් ආරම්භ කරල තියෙනවා."
මෙවැනි වීඩියෝ සමාජගත වන්නේ, බාහිර පාර්ශවයකින් ද? පොලිසියේ සාමාජිකයින්ගෙන් ම ද? යන්න පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කළ අතර, ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබිණි.
ඒ වෙනුවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යවලින් ඉල්ලා සිටියේ, "යම් අපරාධයක් සම්බන්ධයෙන් සංවේදී කරුණු සමාජගත කිරීමට පෙර ඒ පිළිබඳව අවධානය යොමු කරන" ලෙස ය.
මෑත කාලයේ සිදුවූ අත්අඩංගුවට ගැනීම්
ඉහත කී සිද්ධියට අමතරව මෑතකදී සිදු කළ අත්අඩංගුවට ගැනීම් කිහිපයකදී ද පොලිසිය මාධ්‍ය ඔස්සේ යම් ප්‍රචාරයක් ලබා ගැනීමට උත්සහ කරන බව පෙනී යන සිද්ධි කිහිපයක් වාර්තා විය.
ඉන් එකක් වූයේ, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම මෙරටට රැගෙන ආ අවස්ථාව යි. එහිදී, සැකකරුවන් ගුවන් යානයෙන් පහළට බසින ආකාරය වීඩියෝවලින් ප්‍රදර්ශනය කෙරිණි.
එහි වඩාත් බරපතළ කාරණය වූයේ, විමර්ශනය සිදු කළ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අනාවරණය වන පරිදි ඔවුන්ට මල්මාල දමමින් පිළිගන්නා අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම ය.
මේ අතර, ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සහය දුන් බවට සැකකෙරෙන ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමේදී ද මෙම ක්‍රමය ම අනුගමනය කෙරිණි.
මේ අතර, පානදුර දකුණ පොලිස් ස්ථානය තුළදී දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම රූගත කර වීඩියෝවක් මුදා හැරීම සම්බන්ධයෙන් ද පොලිසියට චෝදනා එල්ල විය.
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 1
මේ අතර, ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබිණි.
'අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කළ යුතුය. සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම, ඔවුන්ගේ වොයිස් කට් ලබා දීම සහ එම ක්ලිප් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම මහජනතාවගේ සමහර කොටස් පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට වාසියක් නැත. එවැනි බොළඳ ක්‍රියා මගින් පොලිසියේ ප්‍රතිරූපයට හානි වේ. එමගින් විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිළිබඳව ප්‍රශ්න පැන නගින අතර සමස්ත පද්ධතියට ම අපකීර්තියක් ගෙන එයි.'
මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Facebook post, 2
චක්‍රලේඛ
පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප ගැනීම්, වීඩියෝ කිරීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරුන් චක්‍රලේඛ කිහිපයක් නිකුත් කර තිබේ.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2024 ජූලි මාසයේදී චක්‍රලේඛයක් නිකුත් කරමින් 'අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිරාවරණය කරමින් විමර්ශන සිදු නොකරන ලෙස' නියෝග කර තිබිණි.
ඊට පෙර ද මේ හා සම්බන්ධ චක්‍රලේඛ කිහිපයක් නිකුත් කර තිබිණි.
මේ අතර, වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද 2024 ඔක්තෝබර් මාසයේදී 'පොලිස් නිලධරයන්ගේ ක්‍රියාකාරකම් මහජනතාව විසින් වීඩියෝගත කිරීම සම්බන්ධව' යන මැයෙන් චක්‍රලේඛයක් නිකුත් කළ බව මාධ්‍යවල පළවිය.
එහිදී, පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබුණේ, පොලිස් භාරයට ගන්නා අවස්ථාවලදී මහජනතාව එම අවස්ථා වීඩියෝගත කිරීම වැළැක්වීමට උත්සහ නොකරන ලෙස ය.
සැකකරුවන්ගේ මානව හිමිකම්
කෙසේ වෙතත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සමාජගත කිරීම සැකකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ප්‍රකාශ කළේ, අධිකරණයකින් වැරදිකරු කරන තුරු සියලු සැකකරුවන් චූදිතයින් පමණක් වන බව ය.
එහෙයින්, සැකකරුවන් මාධ්‍ය ඔස්සේ ජනතාවට අනාවරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ඔහු පෙන්වා දෙයි.














