'ඉස්ලාමාබාද් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 12 දෙනෙක් මරුට' - පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමති

පකිස්ථාන අගනුවර පිහිටි අධිකරණ පරිශ්‍රයක් ඉදිරිපිට සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව ගිනි ගන්නා ලද මෝටර් රථයක් නිවීමට ගිනි නිවන භටයින් උත්සහ දරන ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කැරොලයින් ඩේවිස් - පකිස්ථාන වාර්තාකරු, ඉස්ලාමාබාද් සිට සහ ඩෙයර්බේල් ජෝර්ඩ්න්

පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි අධිකරණයක් ඉදිරිපිටදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය.

බෝම්බකරු දිස්ත්‍රික් අධිකරණයට පහර දීමට උත්සහ කළ නමුත් ඔහුට ඒ තුළට පිවිසීමට නොහැකි වූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි පැවසුවේ ය.

බෝම්බකරු කවුදැයි හඳුනා ගැනීමට සහ ඊට සම්බන්ධ සියලු පාර්ශව නීතිය හමුවට පැමිණවීමට නිලධාරීන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයි නක්වි පැවසීය.

"ඉන්දියාවේ නොමද සහය ලබන" අන්තවාදී කණ්ඩායම් ප්‍රහාරයට සම්බන්ධ බවට පකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් චෝදනා කළේ ය.

ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එය "පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා" බව පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් ෂරීෆ් පැවසුවේ, "ඉන්දියාවේ අරමුණු වෙනුවෙන් කටයුතු කරන ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් නිරායුධ පකිස්ථාන වැසියන්ට එල්ල කරනු ලබන ප්‍රහාර හෙළා දැකිය යුතු" බව ය.

කෙසේ වෙතත්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකු බීබීසීයට පැවසුවේ, පකිස්ථාන තාලිබාන් නායකයින් එම ප්‍රහාරයට තම සම්බන්ධයක් නොමැති බව පැවසූ බව ය.

මෑත වසරවලදී ඉස්ලාමාබාද්හි මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් දුර්ලභ විය. අඟහරුවාදා (නොවැම්බර් 11) සිදුවූ පිපිරීමෙන් පසු නිකුත් වූ වීඩියෝවල දැවී ගිය මෝටර් රථයක් සහ පොලිසිය ජනතාව ප්‍රදේශයෙන් ඈත් කර තබන ආකාරය දක්නට ලැබිණි.

සිද්ධියෙන් තුවාල ලැබූ 27 දෙනා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව නක්වි පැවසීය.

ප්‍රහාරකයා මිනිත්තු 15ක පමණ කාලයක් රැඳී සිට පොලිස් මෝටර් රථයක් අසලදී බෝම්බය පුපුරුවා හැරි බව ඔහු පැවසීය.

පිපිරීමෙන් පසු දර්ශනවල ආරක්ෂක බාධකයක් පිටුපසින් පිළිස්සී ගිය මෝටර් රථයකින් දුමාරයක් නැගෙන ආකාරය දක්නට ලැබිණි. ප්‍රහාරය එරට වේලාවෙන් දහවල් 12:39ට පමණ සිදු විය.

බෝම්බ පිපිරීමෙන් පසු පොලිසිය ජනතාව ප්‍රදේශයෙන් ඈත් කර තබන ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පකිස්ථාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි පැවසුවේ, "මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින" බව ය.

"විශාල පිපිරුම්" ශබ්දයක් ඇසුණු බව අධිකරණයෙන් පිටත සිය වාහනය ගාල් කරමින් සිටි නීතිඥවරක් පැවසුවේ ය.

"ඒක සම්පූර්ණයෙන් ම අවුල්සහගත තත්ත්වයක්" යැයි රුස්තම් මලික් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

"නීතිඥවරුන් සහ මිනිස්සු අධිකරණ පරිශ්‍රය තුළ දුවමින් සිටියා. ගේට්ටුව අසල මළ සිරුරු දෙකක් සහ මෝටර් රථ කිහිපයක් ගිනිගෙන තියෙනවා මම දැක්කා."

සඳුදා ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ මෝටර් රථයක් පුපුරා යාමෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවිය.

ඉන්දීය රජය මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වා නොමැති නමුත් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාර දී ඇත.

"මෙම නින්දිත ක්‍රියාව පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන්ට කිසිදු ගැලවීමක් නැහැ. කුමන්ත්‍රණය කෙතරම් ගැඹුරට ගියත් වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට පමුණුවනවා," ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය.

කෙසේ වෙතත්, පිපිරීමට හේතු වූයේ කුමක් ද යන්න පිළිබඳව තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

පකිස්ථාන අගනුවර අවසන් වරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ මීට වසර තුනකට පෙර ය. එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ.

එතැන් පටන් මෑත වසරවලදී පකිස්ථානයේ අනෙකුත් ප්‍රදේශවල මරාගෙන මැරෙන ප්‍රහාර සිදුවී ඇති නමුත් ඉස්ලාමාබාද්හි එවැනි සිදුවීමක් වාර්තා නොවිණි.