දිල්ලි පිපිරීම: මෙතෙක් පිළිතුරු නොදන්නා ප්‍රශ්න හතරක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දිල්ලියේ රතු බලකොටුව ආශ්‍රිත මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල පිපිරීම විමර්ශනය කිරීම සඳහා (නොවැම්බර් 11 වැනි) අඟහරුවාදා උදෑසන සිට විමර්ශකයින් සහ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිටින අතර විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.
නමුත් මේ දක්වා පිළිතුරු සොයාගත නොහැකි ප්‍රශ්න හතරක් ඉතිරිව තිබේ.
සඳුදා සවස පැරණි දිල්ලියේ රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල මෙම පිපිරීම සිදු වූ අතර ඉන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී තිබේ.
පිපිරීම සිදුවූ වහාම පොලිසිය සහ විමර්ශන ආයතන එම ස්ථානයට පැමිණියහ.
ඉන්දීය ස්වදේශ ආරක්ෂක අමාත්‍ය අමිත් ෂා ද එම ස්ථානයට ගියේය. වෝහාරික නිලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානයෙන් සාම්පල එකතු කර පරීක්ෂණ සඳහා රසායනාගාරයකට යවන ලදී.
දිල්ලි ගිනි නිවීම් සේවය බීබීසීයට තහවුරු කළේ, සවස 6:55ට තමන් වෙත ඇමතුමක් ලැබුණු බව ය.
රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල මෝටර් රථයක පිපිරීමක් සිදු වූ බවට දැනුම් දෙමින් එම ඇමතුම ලැබුණු බව ඔවුන් පවසා තිබේ.
පිපිරීමෙන් පසු, ආසන්න වශයෙන් වාහන හයක් ගිනිගෙන ඇති අතර, අසල තිබූ වාහනවලට ද හානි සිදුව ඇත.

පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය.
ඉන්දීය මාධ්‍යවලට අනුව, මෙම පිපිරිමෙන් පසු අගනුවර මෙන් ම මුම්බායි නගරයේ ද ආරක්ෂාව දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
රාජ්ධර් පාණ්ඩේ නමැති ප්‍රදේශවාසියෙකු ANI ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ, "අපි ගිනිදැල් නැගෙනවා දැක්කා... මගේ ටෙරස් එකට පෙනුනා," යනුවෙනි. ඊට පස්සේ මම පහළට ආවා මොකද වෙන්නේ කියලා බලන්න. විශාල ශබ්දයක් ඇහුණා. බිල්ඩින් එකේ ජනෙල් හෙළවුණා. මගේ ගෙදර තියෙන්නේ ගුරුද්වාරා ළඟ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පළමු ප්‍රශ්නය: පිපිරීම සිදු වූයේ කෙසේද?
පිපිරීම පිළිබඳ තොරතුරු ලබා දෙමින් දිල්ලි පොලිස් කොමසාරිස් සතිෂ් ගොල්චා මාධ්‍ය වෙත පැවසුවේ, "පිපිරීමෙන් අසල වාහනවලටද හානි සිදුවෙලා තියෙනවා. තොරතුරු ලැබුණු වහාම දිල්ලි පොලිසිය, එෆ්.එස්.එල්, එන්.අයි.ඒ සහ එන්.එස්.ජී කණ්ඩායම් එම ස්ථානයට පැමිණිලා තත්ත්වය තක්සේරු කරමින් ඉන්නවා. මෙම පිපිරීම ගැන තවමත් විමර්ශනය කරමින් පවතිනවා, එම තක්සේරුවෙන් පසු ඉක්මනින් ඒ පිළිබඳව දැනුම් දෙනවා."
නමුත් මේ දක්වා මෝටර් රථයේ පිපිරීමට හේතුව පිළිබඳව පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැත.
මේ පිපිරීම සිදු වුණේ කොහොමද? මෝටර් රථයේ පුපුරණ ද්‍රව්‍යයක් හෝ බෝම්බයක් ගබඩා කරලා තිබුණේද? මෝටර් රථයේ ඉන්ධන ටැංකිය හෝ CNG ටැංකිය පිපිරීමෙන් සෙසු වාහන ගිනි ගත්තේ ද? මෝටර් රථයේ සිටි පුද්ගලයින් මේ ගැන මුලින් දැන සිටියාද? යන්න ගැන මෙතෙක් පැහැදිලි නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දෙවන ප්‍රශ්නය – මෙය 'ත්‍රස්ත ප්‍රහාරයක්ද'?
ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය පොලිස් පරිපාලනය පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කර නොමැත. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් විවිධ ආයතන විමර්ශනය කරන බව දිල්ලි පොලිස් කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත.
වෝහාරික නිලධාරි මොහොමඩ් වහීඩ් වාර්තාකරුවන්ට පැවසුවේ, "සිද්ධිය සිදු වූ ස්ථානයෙන් එකතු කරන ලද සාම්පල රසායනාගාරයට යවලා තිබෙනවා. ඉන් පස්සේ අපට තවත් තොරතුරු ලැබෙයි. සාම්පල පරීක්ෂා කිරීමෙන් පස්සේ අපට ඕනෑම නිගමනයකට එළඹිය හැකිය."
පිපිරීම පිළිබඳව ඉන්දීය මාධ්‍ය තුළ විවිධ අනුමාන පළ වී තිබේ. ඇතැම් ඇසින් දුටු සාක්ෂිකරුවන් පවා කියා සිටියේ පිපිරීම CNG නිසා සිදු වූ බවයි, නමුත් පොලිසිය මෙය නිල වශයෙන් තහවුරු කර නොමැත.
තුන්වන ප්‍රශ්නය - මෝටර් රථයේ හිමිකරු කවුද?
සිද්ධිය පිළිබඳ තොරතුරු ලබා දෙමින් ස්වදේශ ආරක්ෂක අමාත්‍ය අමිත් ෂා පැවසුවේ, "සඳුදා සවස 7 ට පමණ දිල්ලි රතු කොටුව අසල සුභාෂ් මාර්ග රථවාහන සංඥා පද්ධතිය අසලදී i-20 Hyundai මෝටර් රථයක පිපිරීමක් සිදුවුණා. පිපිරීම හේතුවෙන් අසල තිබූ වාහන කිහිපයකට හානි සිදුවෙලා තියෙනවා."
මෙම මෝටර් රථය පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැත. එහි හිමිකරු කවුද? මෝටර් රථය පැමිණියේ කුමන් ප්‍රදේශයක සිටද? එය ධාවනය කළේ කුමන ප්‍රදේශයකටද? මෝටර් රථයේ පුද්ගලයින් කොපමණ පිරිසක් ගමන් ගත්තේද? පිපිරීමෙන් එහි සිටි කී දෙනෙක් මිය ගියාද යන්න පිළිබඳව තහවුරු වී නොමැත.
විමර්ශන නිලධාරීන් මෝටර් රථයේ ගමන් මඟ පිළිබඳ සොයා ගැනීමට උත්සාහ කරයි. මෝටර් රථය පිපිරීම සිදු වූ ප්‍රදේශයේ නවතා තිබුණේද යන්න ගැන බලධාරීන් මෙතෙක් තහවුරු කර ගෙන නොමැත.
හතරවන ප්‍රශ්නය - ඉලක්කය කවුද?
තවද, පිපිරීම අහම්බයකින් සිදු වූවක්ද නැතහොත් එය හිතාමතාම සිදු කරන ලද්දක්ද යන ප්‍රශ්නය පැන නැගී ඇත.
මෙය හිතාමතා කළ පිපිරීමක් නම්, ඉලක්කය වූයේ කවුද? ඉලක්ක වූයේ සිවිල් වැසියන් පමණක්ද? මෙම සිදුවීමට දේශීය වශයෙන් සම්බන්ධයක්, නැතහොත් රාජ්‍යයෙන් හෝ රටෙන් පිටත සම්බන්ධතා තිබේද? යන කරුණු පිළිබඳ මෙතෙක් නිෂ්චිතව තහවුරු වී නොමැත.














