දිල්ලි නුවර ගැටුම්: ඉන්දියාවේ විසි දෙනෙකු මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP
නොකඩවා තුන් රැයක් පුරා, ප්‍රචණ්ඩකාරී කල්ලි විසින් දියත් කරනු ලැබූ ප්‍රහාර හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නුවර නොසන්සුන් තත්වයක් හටගෙන තිබේ.
මුස්ලිම් නිවාස සහ කඩ සාප්පු ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර සිදු කර ඇති බව වාර්තා වේ.
මේ වන විට විසි දෙනෙකු මරණයට පත් වී ඇති අතර දශක කිහිපයකට පසු දිල්ලි නුවරින් වාර්තා වූ දරුණුතම කලහකාරී තත්වය මෙය ලෙස හැඳින්වේ.
ඉන්දියාවේ මතභේදයට ලක් වූ නව පුරවැසි පනතට එරෙහි සහ ඊට සහාය දක්වන උද්ඝෝෂකයන් අතර ගැටුම් ආරම්භ වූයේ පසුගිය ඉරිදා ය.
නමුත් එය ක්‍රමයෙන් ආගම මුල් කර ගත් ගැටුමක් බවට පත් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
පොලු සහ යකඩ කූරු අතැති කල්ලි විසින් නිරායුධ පුද්ගලයන්ට පහර දෙන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පට සමාජ ජාලා ඔස්සේ පළ වී තිබුණි.
වාර්තාකරුවන් ද පහරකෑමට ලක් වන ආකාරය කැමරාගත වී ඇත.
දින තුනක් තිස්සේ ප්‍රහාර දියත් වීමෙන් අනතුරුව බදාදා (පෙබරවාරි 26) අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සාමකාමී වන ලෙස ඉල්ලීමක් කළේය.
එම පණිවිඩයේ තවදුරටත් සඳහන් වන්නේ තමන් තත්වය සොයා බැලූ බවත් සාමාන්‍ය තත්වය නැවත ස්ථාපනය කිරීම සඳහා පොලිසිය ක්‍රියා කරමින් සිටින බවත් ය.
මෙය "තැති ගන්වන සුළු" තත්වයක් බව පවසන දිල්ලියේ මහ ඇමති අරවින්ද් කේජ්රිවාල් ඉල්ලා සිටියේ යුද හමුදාව කැඳවිය යුතු බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම ප්‍රහාර දියත් වී ඇත්තේ දිල්ලියේ ඊසාන දිග කලාපයේ මුස්ලිම් බහුතරයක් ජීවත් වන පෙදෙස්වල ය.
එම පෙදෙස්වල වීදි පුරා පිලිස්සුණු සහ ප්‍රහාරයට ලක් වූ වාහන දැකිය හැකි අතර වීදුරු කැබලි සහ ගල්මුල් විසිරී පවතී. ගින්නට හසු වූ ගොඩනැගිලිවලින් නිකුත් වන දුමාරයෙන් අවට පරිසරය පිරී ඇත.
බදාදා දිනය තුළ ප්‍රහාරයක් සිදු වූ බවට තවමත් වාර්තා වී නොමැති නමුත් නගරයේ තත්වය සම්පුර්ණයෙන් ම සාමාන්‍ය තත්වයට පත් වී ඇති බවක් නොපෙනේ.
ප්‍රහාරවලට ගොදුරු වූවන්ගේ නම් ලැයිස්තුව දෙස බලන විට හින්දු සහ මුස්ලිම් යන දෙවර්ගය ම තුවාල ලබා ඇති බව පෙනී යයි.
රෝහල් වාර්තාවලට අනුව 189 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
එම තුවාලකරුවන් අතර වෙඩි උණ්ඩවලට ලක් වූ අය ද සිටින බව එහි සිටින බීබීසී වාර්තාකරුවෝ පවසති.
කියවන්න:








