ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය මැද දිල්ලි නුවර දහයක් මරුට

Police walk past a vehicle set on fire by protesters in Delhi

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, උද්ඝෝෂකයන් ආගම මත බෙදී ඇති ආකාරයක් දක්නට ලැබේ

ඉන්දියාව තුළ මතභේදයට තුඩු දී ඇති නව පුරවැසි පනත සම්බන්ධයෙන් දිල්ලි නුවර හටගත් ගැටුම්වලින් පුද්ගලයන් දස දෙනෙකු මරණයට පත්ව තිබේ.

ඉහත කී ගැටුම් හට ගත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම ඉන්දීය නිල සංචාරය අතරතුරදීය.

දශක ගණනාවක් තුළ ඉන්දියාවේ දිල්ලි අගනුවරින් මේ ආකාරයේ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

පෙනෙන්නට ඇති පරිදි ඉරිදා පළමු වරට ගැටුම් හට ගෙන තිබුණේ නව නීතියට පක්ෂ සහ ඊට එරෙහි උද්ඝෝෂකයන් අතරය.

අනතුරුව ඊට ආගමික මුහුණුවරක් එක් වී ඇති අතර හින්දු සහ මුස්ලිම් කලහකාරීන් අතර ගැටුම් හටගත්තේය.

Policemen stand on a vandalised road following clashes between supporters and opponents of a new citizenship law, at Bhajanpura area of New Delhi on February 24, 2020, ahead of US President arrival in New Delhi.

ඡායාරූප මූලාශ්‍රය, AFP

Demonstrators gather along a road scattered with stones following clashes between supporters and opponents of a new citizenship law, at Bhajanpura area of New Delhi on February 24, 2020

ඡායාරූප මූලාශ්‍රය, AFP

ගැටුම් පවතින්නේ ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඉන්දීය නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ව්‍යාපාරිකයන් අතර සාකච්ඡා පැවති අගනුවර මධ්‍යයේ සිට කිලෝමීටර 11 ක් පමණ ඊසාන දිගින් පිහිටි මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවලය.

ඉන්දියාවේ පුරවැසි සංශෝධන පනත මුස්ලිම් විරෝධී පියවරක් ලෙස විවේචකයෝ හඳුන්වති. පසුගිය වසරේදී එම පනත සම්මත කරගනු ලැබීමෙන් පසු විශාල වශයෙන් උද්ඝෝෂණ ආරම්භ විය. ඇතැම් උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගැනිණි. නමුත් දිල්ලි අගනුවර පැවති විරෝධතා මේ දක්වාම සාමකාමී මුහුණුවරක් ගෙන තිබිණි.

මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විමසීමේ දී එය මගහරිමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඒ පිළිබඳ තමන්ට ද "කණ වැකුණු" බවය. "එම සිදුවීම" ඉන්දියාවට අවශ්‍ය පරිදි පාලනය කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් ඉන්දියාවේ ආගමික නිදහස සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ තමන් අවධානයට ලක් කළ බවත් ඊට ආණ්ඩුවෙන් ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් සතුටට පත් වන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල සංචාරය මේ වන විට හට ගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් යටපත් වී ඇති අතර ඒ හමුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අපහසුතාවට පත්ව ඇති බව වාර්තාකරුවෝ පවසති.

මොකක්ද මේ පුරවැසි පනත?

Student protesters near Jamia Millia Islamia in Delhi

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පුරවැසි පනතට එරෙහි උද්ඝෝෂණ

ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ බංග්ලාදේශය යන කලාපයේ ප්‍රධානම මුස්ලිම් රටවල් තුනේ සිට අනවසරයෙන් ඉන්දියාවට පැමිණි මුස්ලිම් නොවන ජනයාට ඉන්දීය පුරවැසියන් බවට පත්වීමට නව නීතිය මගින් අවස්ථාව සැලසේ.

භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවේ තර්කය වී තිබෙන්නේ ආගමික හේතූන් මත පීඩාවට පත් ජනතාවට සහන සැලසීම නව නීතියේ අරමුණ බවය.

එහෙත් නව නීතිය, මුස්ලිම් ජනතාව කොන් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කොටසක් බව විවේචකයෝ පවසති. එබැවින් එමගින් ඉන්දීය ව්‍යවස්ථාවේ අනාගමික තත්ත්වය උල්ලංඝනය වන බව ඔවුන්ගේ තර්කය වී තිබේ.

එහෙත් ආගමකට එරෙහිව යන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන ඉන්දීය ආණ්ඩුව පවසන්නේ, මුස්ලිම් ජනතාව ආගමික සුළුතරයක් නොවන බැවින් ඔවුන්ට ඉන්දියාවේ ආරක්ෂාව අනවශ්‍ය බවය.