'මාව මුහුදට වැටුණා... මං පැය 26ක් පීනුවා, ජෙලිෆිෂ්ලා ගෑවුණා… ඉර දැක්කට පස්සේ මට බලාපොරොත්තුවක් ඇති වුණා'

- Author, සිරාජ්
- Role, බීබීසී දෙමළ සේවය
කන්‍යාකුමාරි සිට නාවික සැතපුම් දහසයක් (කිලෝමීටර් 29ක් පමණ) දුරින්, ඉන්දියන් සාගරයේ රළු රළ මධ්‍යයේ, සිවමුරුගන් අසරණව මුහුදේ පාවෙමින් සිටියේ ය. ඔහු තම මිතුරන් සහ සහෝදරයා සමග මසුන් ඇල්ලීමට පැමිණ සිටියදී අහම්බෙන් බෝට්ටුවෙන් වැටී, ඒ වන විටත් පැය පහක් ගත වී තිබිණි.
"මගේ ඇස් ඉදිරිපිට ම, නාවික සැතපුමක් (කිලෝමීටර් 1.8 ක් පමණ) විතර දුරින්, බෝට්ටු කිහිපයක් මාව සොයමින් ඉන්නවා මං දැක්කා. මුහුදු වතුර පෙවිලා මගේ උගුර ඉදිමිලා තිබ්බේ, ඒ හින්දා මට උදව් ඉල්ලලා කෑ ගහන්න බැරිවුණා. ඒක නව සඳ රාත්‍රියක් හින්දා, ඔළුව විතරක් වතුරට උඩින් තිබ්බ, මාව දැක්කෙ නෑ. පැය කිහිපයක් යන කොට, ඒ බෝට්ටු ටික ආයත් වෙරළට ගිහින් තිබ්බා. මං එතන පාවෙමින් හිටියා," ශිවමුරුගන් බීබීසීයට පැවසීය.
35 හැවිරිදි සිවමුරුගන් තමිල් නාඩුවේ තිරුනෙල්වේලි දිස්ත්‍රික්කයේ කූඩන්කුලම් නගරයට ආසන්න වෙරළබඩ ගම්මානයක් වන චෙට්ටිකුලම්හි පදිංචිකරුවෙකි.
සැප්තැම්බර් 20 වන දින, ඔහු කන්‍යාකුමාරිවලට ආසන්න චින්නමුට්ටම් ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ඔහුගේ මිතුරන් සහ සහෝදරයා සමග මෝටර් බෝට්ටුවකින් 16 දෙනෙකු කැටුව ගොස් තිබිණි. අහම්බෙන් මුහුදට වැටුණු ඔහු දිවි ගලවා ගැනීම සඳහා අරගල කළ අතර පැය 26කට පසු ඔහු බේරා ගැනිණි.
"සිවමුරුගන්ගේ අතුරුදහන් වීම පිළිබඳ පුවත වෙරළට ළඟා වූ වුණා ම සහ ගලවා ගැනීමේ උත්සහයන් අසාර්ථක වුණා ම, හැම කෙනෙකු ම හිතුවේ ඔහු ජීවතුන් නැහැ කියලා. ඉන්දියන් සාගරයේ අතුරුදහන් වෙනවා කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මරණය තමා," කන්‍යාකුමාරිහි ධීවරයෙකු සහ ලේඛකයෙකු වන පෝලින් පැවසීය.
"තොරතුරු අප වෙත ලැබුණු ගමන් ම අපි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා. ඒ වූණත්, අපට එයාව හොයා ගන්න බැරිවුණා. මසුන් ඇල්ලීමට ගිය කූටන්කුලි ගම්මානයේ ධීවරයින් කිහිප දෙනෙකු සැප්තැම්බර් 22 වන දින අලුයම ඔහුව සොයාගෙන වෙරළට ගෙන ආවා. පසුව ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා," කුලචල් සමුද්‍ර පොලිසියේ පොලිස් නිලධාරීහු පැවසූහ.
ඇත්තට ම මොකද වුණේ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිවමුරුගන් පළමු වරට මසුන් ඇල්ලීමට ගොස් තිබුණේ, මෙම සිදුවීමට සති දෙකකට පෙර ය.
"සාමාන්‍යයෙන් අපි චෙට්ටිකුලම්වලින් අලුයම 2ට පිටත් වෙලා, අලුයම 4:30ට විතර චින්නමුට්ටම්වලින් මුහුදු යනවා මාළු අල්ලන්න. ඒ සෙනසුරාදා (සැප්තැම්බර් 20), අපි සුපුරුදු පරිදි ගිහිල්ලා, දැල් දැම්මා, මසුන් අල්ලා, සවස 6 විතර ආපහු එන්න පටන් ගත්තා."
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"රාත්‍රී 8 ට විතර, මං බෝට්ටුවේ කොනකට ගියා මුත්‍රා කරන්න. GPSවලට අනුව, අපි කන්‍යාකුමාරි වෙරළ තීරයේ ඉදලා නාවික සැතපුම් 15ක් විතර දුරින් හිටියේ. හදිසියේ ම, විශාල රළක් බෝට්ටුවට වැදුණා. ඒ දැඩි රළ පහරත් එක්ක මගේ බැලැන්ස් එක නැති වෙලා මාව මුහුදට වැටුණා. මං ඉක්මනට ම උඩට පිහිනලා කෑ ගැහුවා, නමුත් බෝට්ටුවේ එන්ජිමේ ශබ්දයත් එක්ක මගේ හඬ ඇහුණේ නෑ."
"මං විනාඩි 10-15ක් ගිහිල්ලාත් නැති වුණා ම, මගේ මල්ලි මාව හොයාගෙන එළියට ඇවිල්ලා තියෙනවා. සිදු වූ දේ තේරුම් අරන් එයා හැමෝට ම අනතුරු අඟවලා. ඔවුන් GPS භාවිතයෙන් අපේ මාර්ගය ගණනය කරලා මාව සොයා ගන්න බෝට්ටුව ආපහු හරවා ගෙන තිබුණා. නමුත් ඒ වන විටත් මුහුදු රළ මාව නාවික සැතපුමක් විතර ඈතට ඇදගෙන ගිහින් තිබ්බා." ඔහු තවදුරටත් පැවසීය.
"මෙච්චර විශාල මුහුදක, නව සඳ පායපු රාත්‍රියක, මගේ ඔළුව විතරක් ජලයට ඉහළින් තියාගෙන, අත් දෙක උස්සන් හිටියත්, ඒ අයට මාව පෙනුණේ නැහැ. ඩීසල් ගැටලුවක් නිසා ඔවුන් ආපසු හැරුණා. පසුව, ඔවුන් තවත් බෝට්ටු කිහිපයක් අරන් ආයිත් ආවා. මට ඔවුන්ගේ ආලෝකය පෙනුණා, මං කෑ ගැහුවා, අත වැණුවා, නමුත් පැය කිහිපයකට පස්සේ ඒගොල්ලෝ ආපහු ගියා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මුහුදු ජලය නිසා උගුරේ ඉදිමීමක් ඇති වූ බවත්, නිරන්තර රළ පහරවල් නිසා ඔහුගේ මුහුණ සීරි ගිය බවත්, ලුණු නිසා ඇස්වල වේදනාකාරී බවක් ඇතිවූ බවත් සිවමුරුගන් පැවසීය.
"ඒ රෑ, එළියක් නැති අඳුරු මුහුද මැද, මගේ හිතේ තිබුණු එක ම සිතුවිල්ල, කොහොම හරි වෙරළට යන්න ඕනේ කියන එක විතරයි. මං මැරුණොත් මගේ පවුලට මොකද වෙන්නේ කියලා මං කණස්සල්ලෙන් හිටියේ. පහසුවෙන් පාවෙන්න, මං මගේ ටී ෂර්ට් එක ගලවලා විසි කළා. එතකොට තමයි මගේ ඇඟ පුරා ම හපනවා වගේ දැනෙන්න පටන් ගත්තේ."
"ඒවා ජෙලිෆිෂ් වගේ ජීවීන්. මිනිස්සු කියනවා මං අහලා තියෙනවා ඒවා ඇඟේ ඇලීලා තියෙනවා කියලා, ඉතුරු වුණොත් පොඩි සිදුරු පුළුස්සා දානවා කියලා. මං ඒවා එකින් එක ගැලෙව්වා. මම මගේ අත් සහ කකුල් ගසමින් පාවෙමින් යනකොට, මහන්සිය ඇති වුණා. සමහර වෙලාවට මං ටිකක් වතුරේ ගිලෙනවා, නමුත් කොහොම හරි ආයිත් මං ඉහළට පාවෙනවා. පසු දා (සැප්තැම්බර් 21) උදෑසන හිරු නැගෙන කොට, මං දිගට ම පීනුවොත් වෙරළට යන්න පුළුවන් වෙයි කියලා මට බලාපොරොත්තුවක් ඇති වුණා."
'ඉන්දියන් සාගරය අතිශයින් ම භයානකයි'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"නමුත් මං දියේ ගිලෙන්න උත්සහ කළත්, මට හුස්ම හිර කරගෙන ඉන්න බැරි වුණා - මං දිගට ම පාවෙලා ගියා. ඒ හින්දා මං තවත් මුහුදු ජලය පානය කළා. මේ වතාවේ මං අනිවාර්යයෙන් ම ගිලෙයි කියලා හිතනකොට, මට ඈතින් එළියක් පෙනුණා," ඔහු පැවසීය.
ධීවර ලේඛක පෝලින් පැවසුවේ සිවමුරුගන්ගේ දිවි ගලවා ගැනීම ආශ්චර්යයකට වඩා වැඩි දෙයක් නොවන බව ය.
වසර 50කට වඩා වැඩි පළපුරුද්දක් ඇති ඔහු ඉන්දියන් සාගරය විශේෂයෙන් අනතුරුදායක වන්නේ මන්දැයි පැහැදිලි කළේය.
"තමිල් නාඩුවේ දකුණු මුහුද සේතුකරයි සහ කීලකරයි සිට කන්‍යාකුමාරි දක්වා විහිදෙනනවා. ඒක සාපේක්ෂව නොගැඹුරු වුණත් අතිශයින් සුළං සහිත නිසා ප්‍රචණ්ඩකාරීයි - ඒ හින්දා රළ ඉහළට නැගෙනවා. ඒ වගේ වතුරකට වැටිලා පැය 24ක් දිවි ගලවා ගෙන ඉන්වා කියන්නේ ඉතා ම අසීරු දෙයක්. සීතලට විතරක් ශරීරය හිරි වැටෙනවා, කකුල් ක්‍රියා වීම නවතිනවා, එතකොට ගිලෙන්නට පටන් ගන්නවා. වෙහෙසට පත් වන විට, මිනිසුන් මුහුදු ජලය පානය කරනවා. ඒක මාරාන්තික විජලනයට හේතු වෙනවා," ඔහු පැහැදිලි කළේය.
ගැඹුරු මුහුදේ දියවැල් හින්දා දිගු දුරක් පිහිනුවත් වෙරළට ළඟා වීමට අපහසු බව ඔහු තවදුරටත් පැවසීය:
"ඔබට අල්ලා ගැනීමට ලෑල්ලක් වැනි දෙයක් හම්බ වුවහොත්, එකෙන් දිගු වේලාවක් පාවී යාමේ සම්භාවිතාව වැඩි කරනවා. නමුත් පැය 24කට වඩා වැඩි කාලයක් ඔබේ අත් සහ කකුල්වලින් තනිව ම පැඩල් කිරීම සිතාගත නොහැකි තරම් දුෂ්කර යි. අවසානයේදී, ශරීරය අඩපණ වෙලා ගිලී යනවා."
මුහුදු වතුරට වැටුණා ම මොකද වෙන්නේ?
මුහුදු ජලයේ ලවණ ප්‍රමාණය ඉතා ඉහළ ය. මිනිසුන් ඒවා පානය කරන විට ශරීර සෛල මගින් ජලය සහ ලවණ යන දෙක ම අවශෝෂණය කර ගනී. නමුත් මිනිස් වකුගඩුවලට නිපදවිය හැක්කේ මුහුදු ජලයට වඩා අඩු ලවණතාවකින් යුත් මුත්‍රා පමණි. එබැවින්, අතිරික්ත ලුණු ඉවත් කිරීම සඳහා, ශරීරය පරිභෝජනය කරන ප්‍රමාණයට වඩා වැඩියෙන් ජලය බැහැර කළ යුතු ය - එය විජලනය වී අවසානයේ මරණයට හේතු වේ. එබැවින්, කිසි විටෙකත් මුහුදු ජලය පානය නොකළ යුතු ය.
ඒ හා සමානව, සීතල වතුරේ (15°Cට අඩු) රැඳී සිටීම මගින් කම්පනයට පත් විය හැකි අතර, හුස්ම ගැනීම සහ චලනය පාලනයෙන් තොර වීමට හේතු වේ. එය හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය වේගයෙන් ඉහළ නංවන අතර, හෘදයාබාධ ඇතිවීමට හේතු විය හැකිය.
එක්සත් රාජධානියේ රාජකීය ජාතික ජීවිතාරක්ෂක බෝට්ටු ආයතනය (RNLI) උපදෙස් දෙන්නේ, "ඔබ කිසියම් ආකාරයකින් ජලයකට වැටුණොත්, කලබල වෙන්න එපා. පාවෙමින් සිට ස්ථාවරව හුස්ම ගැනීමට උත්සහ කරන්න. පාවීමට උපකාර කිරීම සඳහා ඔබේ අත් සහ කකුල් මෘදු ලෙස චලනය කරන්න. ස්ථාවරත්වය සඳහා ඔබේ අත් පා විහිදුවන්න - ඔබේ කකුල් ගිලී ගියත්, ඔබේ හිස පිටුපසට ඇල කර, ඉහළට මුහුණ ලා තබා සන්සුන්ව සිටින්න." යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔහු වෙරළ දෙසට පිහිනීමට පටන් ගත් විට, ඔහු අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දුන්නේ ය - ඔහු කුමන දිශාවට පිහිනුවත්, රළ සහ සුළඟ ඔහුව වෙනත් දෙසකට තල්ලු කළේය. අල්ලා ගැනීමට කිසිවක් නොතිබූ නිසා, ඔහු පිහිනීම අත්හැරියේ ය.
"මං එක තැනක හිරවෙලා වගේ දැණානා. මං සීතලෙන් හිටියේ; මගේ කකුල් හිරි වැටුණා. ඉර බැහැලා ගියාට පස්සේ අන්ධකාරය සියල්ල ගිලගත්තා, මගේ ශක්තිය හා ධෛර්යය සම්පූර්ණයෙන් ම නැතිවෙලා ගියා. ඉන්දියන් සාගරයේ අතුරුදන් වූ පසු කිසිවෙකු දිවි ගලවා නොගන්නා බව මිනිසුන් කියන්නේ ඇයි කියලා මට එතකොටයි තේරුණේ. මං මගේ ජීවිතය අවසන් කිරීමට තීරණය කළා. මම නොදැන සිටි දෙයක් වුණේ, ඒ වෙන කොටත් මගේ ගමේ අය මං මිය ගොස් ඇති බව ප්‍රකාශ කර තිබීම. මගේ පවුලේ අය අඬලා තිබ්බේ මගේ සිරුර පවා කිසිදාක හොයා ගන්න බැරි වෙයි කියලා."

ඈතින් පෙනෙන එළිය බෝට්ටුවක ප්‍රධාන ලාම්පුවක එළියක් බව වටහා ගත් සිවමුරුගන්, ඊළඟට සිදු වූ දේ විස්තර කළේ මෙසේ ය: "මං මගේ ඉතිරි වෙලා තිබ්බා සියලු ම ශක්තිය එකතු කර ගෙන අත් සෙලෙව්වා. කොහොම හරි ඔවුන් මාව දැකලා ඔවුන්ගේ බෝට්ටුව මා දෙසට හැරෙව්වා. මමත් ඔවුන් දෙසට පිහිනුවා. මාව උස්සලා දැම්මේ කවුද කියලා හෝ ඔවුන් කිව්වේ මොකක් ද කියලා මට මතක නැහැ - විනාඩි 30ක් යනකම් සියල්ල හිස් බවක් තිබුණා. ඔවුන් මට තේ සහ බිස්කට් දුන්නාට පස්සේ තමයි මට ඇස් අරින්න පුළුවන් වුණේ. බෝට්ටුව කූටන්කුලි ගමේ අරුලප්පන්ට අයිතියි; ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ධීවර දැල් එකතු කිරීමට පැමිණ තිබ්බා."
සිවමුරුගන් බේරා ගෙන වෙරළට රැගෙන ඒමෙන් පසු ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලදී.
ඔහු විවාහක වන අතර ඔහුට සිවරාදේශ් නැමති පස් හැවිරිදි පුතෙකු සිටීයි.
"පසුගිය මාසය පුරා ම මං එක පාරක්වත් මුහුදට බැහැලා නැහැ. මගේ පුතා සහ මුළු පවුල ම මට ආයෙත් මුහුදු යන එක තහනම් කළා. මට තාමත් සැනසීමෙන් නිදාගන්න බැහැ. මට වෙච්ච දෙයින් පස්සේ මගේ සහෝදරයා රැකියාවකට විදේශගත වෙලා."
"සමහර වෙලාවට මං වෙරළේ ඉඳන් මුහුද දිහා බලාගෙන ඉන්නවා. මට තාමත් ඒ මුහුද පේනවා - ජෙලිෆිෂ්ලා මට ඇලිලා ඉන්නවා වගේ, ඒ රෑ දිලිසෙන ප්ලවාංග මගේ හිස වටේ කැරකෙනවා. ඒ රූපය මැකී යනකං, මට ආයෙත් කවදාවත් මුහුදු වතුරට අඩිය තියන්න බැරි වෙයි," සිවමුරුගන් පැවසීය.
ඔබට සහයක් අවශ්‍ය ද?
මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකි ය.
දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකතන අංකය: 011 2696666 හෝ +94 112 682 535
ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකතන අංකය: 1333 හෝ +94 112 692 909














