තහනම් ධීවර පන්න ක්‍රම: නීති හදන්නන් හා නීති රකින්නන් නිහඬ ද ?

අද (ජුනි 5 වැනිදා ) ලෝක පරිසර දිනය මෙන්ම නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීමට එරෙහි සටන සඳහා වන ජාත්‍යන්තර දිනයයි.
"මාළු හොඳටම අඩුයි , ඒ කාලේ හිටපු ගිරවා , තඹුවා , කොස්සා , බොරළුවා කියන මාළු ආසාවට දකින්නත් නැහැ.මේ හැම දේම වෙන්නේ තහනම් පන්න වලට ඉඩ දීලා ආණ්ඩුව හා නිලධාරීන් බලා ගෙන ඉන්න නිසයි. ඒ වගේම තමයි සමහර තහනම් පන්නවලට ආණ්ඩුව අවසර දීලා තියනවා කොන්දේසි දාලා. මේක හරියට හොඳට කසිප්පු පෙරන්න කියලා බලපත්‍රයක් දෙනවා වගේ වැඩක්. ගොඩක් දෙනෙක් දන්නවා අද කසිප්පු (නීති විරෝධී මත්පැන් ) පෙරන්නේ කොහොමද කියලා".
බත්තලංගුණ්ඩුව වේලක්කන්නි මතා ධීවර සමිතියේ සභාපතිවරයා වන්නේ ඇන්ටනි ෆොන්සේකා ය.
ධීවර පරම්පරාවකින් එන ඇන්ටනීට මුහුද පිළිබද හොඳ අවබෝධයක් තිබේ. තමන්ගේ අත්දැකීමෙන් මුහුදු යන ඇන්ටනී මසුන් ඇල්ලීමටද දක්ෂයෙකි. මීට වසර දහයකට පෙර ඇන්ටනිට වාරකන් හා වලාල යැයි වෙනසක් තිබුණේ නැත.

"මට ධීවර රැකියාව ගැන දැන් විශ්වාසයක් නැහැ.ඒ නිසා මම සංචාරක ක්ෂේත්‍රයටත් යොමු වුණා.ඒ වගේම මාළු එකතු කිරීමේ ස්ථානයක් පවත්වා ගෙන යනවා. මෙහෙ මාළු නැති නිසා මම ගිය සතියේ මුලතිව් ගියා එහෙන් හරි මාළු ගේන්න. නමුත් එහෙත් නැහැ . එදා කල්පිටියේ දුපත් ප්‍රසිද්ධ වුණේ මුළු ලංකාවටම කරවල දෙන තැනක් හැටියට යි. දැන් ඇවිල්ලා බලන්න හාල්මැස්සා ගේ ඉදන් පිටරටින් ගේන්නේ.මොකද්ද මේකට ප්‍රධාන හේතුව? ලයිලා සුරුක්කු” ඔහු කියා සිටියේය.
"මේ රස්සාව කරන්නේ මාළු ව්‍යාපාරිකයෝ පනහකට අඩු පිරිසක් හැබැයි මේ අය තමයි මුළු කල්පිටිය මුහුදේම මාළු ඇල්ලුවේ හා අල්ලන්නේ. මේ පිරිස මේවට ඩයිනමයිට් වගේ පුපුරණ ද්‍රව්‍ය යොදා ගන්නවා. ගල් වටකරලා මාළු අල්ලනවා. කුඩා මාළුවාගේ සිට ලොකු මාළුවා දක්වා අල්ල ගන්නවා. ඉතින් මාළු බෝ වෙයිද? මේ ව්‍යාපාරිකයින් මේ සඳහා හැමෝටම හොඳට වියදම් කරනවා. ඒ නිසා තහනම් "ලයිලට" හැම අවුරුද්දකම බලපත්‍ර ලැබෙනවා."
කවුද මේ ලයිලා ?
"ලයිලා" හැබිලි හෝ ත්‍රිත්ව දැලට කියන තවත් නමකි. හැබිලි දැල ප්‍රදේශ අනුව විවිධ නම් වලින් හඳුන්වන අතර පුත්තලමේ ධීවරයන් හැබිලි දැලට දමා ඇත්තේ මේ නම ය.
ලොකු ඇස් සහිත දැලට පුත්තලමේදී "ලයිලා" යැයි පවසන අතර කුඩා ඇස් සහිත දැල "සුරුක්කු"වෙයි. 'Parsin Fishing net' ලෙස හදුන්වන්නේද මේ දැල ය. මේ දැලට විදුලි ආලෝකය සම්බන්ධ කිරීමේදී 'ලයිට් කොස්' ලෙස හඳුන්වන අතර මුහුදේ පාවෙන කදන් සම්බන්ධ කිරීමේදී 'කදන් කොස්' ලෙසද හදුන්වයි. ලයිලා ගැන බීබීසී සිංහල වෙත පැහැදි කරනු ලැබුවේ ලෝක ධීවර සම්මේලනයේ ප්‍රධාන ලේකම් හර්මන් කුමාර ය.
හර්මන් කුමාර පැවසූ පරිදි ශ්‍රී ලංකාවේ මේ සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ 1996 අංක 02 දරන ධිවර හා ජලජ සම්පත් පනත මගිනි.
"මේ පනත ගේන්න පෙර ඉතා අවිධිමත් ලෙස මේ රැකියාව තිබුණා. නමුත් නීතිමය අවසරයක් තිබුණේ නැහැ. මේ පනත මගින් හැබිලි දැල් සඳහා බලපත්‍ර ලබා දීමක් කර තිබෙනවා. ඒ කොන්දේසි කිහිපයක් ඇතිවයි. ඒ අනුව නිශ්චිත දුරක් නියම කිරීම, කිමිදුම්කරුවන් භාවිතා කිරීම තහනම් කිරීම, මේ සඳහා රැගෙන යන ධීවර යාත්‍රා තීරණය කර තිබීම විශේෂ වෙනවා. නමුත් වෙන්නේ බලපත්‍ර ලාභීන් මේ සියලු කොන්දේසි උල්ලංඝණය කරලා මේ රැකියාව කිරීම."
ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට වැඩිම විනාශයක් වන්නේ මේ හැබිලි දැලෙන් බවද හර්මන් කුමාර පැවසීය.

බොටම් ට්‍රෝලින්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
'බොටම් ට්‍රොලින්' ලෙස හඳුන්වන්නේ මුහුදු පතුල සුරා කෑමේ පන්න ක්‍රමයකි. දිවයිනේ ප්‍රදේශ කීපයක මේ පන්න ක්‍රමය ක්‍රියාත්මක කරන අතර එහිදී සිදු කරනු ලබන්නේ රේල් පිලි වැනි යකඩ පටි දෙකක් භාවිතා කර ඊට දැල් සම්බන්ධ කරගනිමින් මුහුදු පතුල සුරා ගැනීම ය. මුහුදු පතුලේ ඇති කොරල් පර , ජලජ ශාක ඇතුළු සියලු මුහුදු සම්පත් මෙමගින් විනාශ වෙයි . මීට අමතරව කුඩා මත්ස්‍යයාගේ සිට සියලු මුහුදු ජීවින් මේ උගුලට අසුවෙයි.
බොටම් ට්‍රොලින් හේතුවෙන් මේවන විට හැබිලි දැලට වඩා විශාල විනාශයක් ශ්‍රී ලංකා මුහුදේ සිදුවෙමින් ඇත. මීට ප්‍රධාන හේතුව උතුරු නැගනහිර මුහුදේ මෙන්ම වයඹ හා බටහිර මුහුදු තීරයේ කල්පිටිය ආසන්නයටම පැමිණෙන ඉන්දීය ධීවරයන් විසින් කරනු ලබන විනාශ යයි. බහුතර ඉන්දියානු ධීවරයන් මේ පන්න ක්‍රමය උපයෝගී කර ගනිමින් මසුන් අල්ලන අතර මේ හේතුවෙන් සාගර සම්පතට බරපතල හානියක් සිදුවේ.
කල්පිටිය බත්තලංගුණ්ඩුව දුපතේ ධීවර රැකියාවේ නියුතු ඒබට් ජුඩ් ප්‍රකාශ කලේ සතියකට තුන් වරක් ඉන්දියානු ධීවරයන් කල්පිටිය ආසන්නයටම පැමිණෙන බව ය.
"තෙල් ගණන්. මුහුදේ මාළු නැහැ. මුහුදු රැකියාව නවත්වල වෙන රැකියාවක් කරන්න තමයි වෙන්නේ. මේ දුපතේ හිටියා පවුල් 900 ක් විතර දැන් ඉන්නේ පවුල් 500 යි. කලින් තිබුණා බෝට්ටු 600 ක් විතර දැන් තියෙන්නේ බෝට්ටු 250 ක් විතරයි”
'බොටම් ට්‍රොලින්' නිසා විනාශ වූ උතුරේ ධීවර කර්මාන්තය පිළිබදව උතුරේ ධීවර නායකයන් දරන්නේද එවැනිම මතයකි.
මන්නාරම පේසාලේ ධීවර සමුපකාර සමිතියේ සභාපති යෝගරාජ් කෲස් ප්‍රකාශ කළේ, ඔවුන් මේ වන විට උතුරු මුහුද මුළුමනින් විනාශ කර ඇති බව ය.
"එදා ඉන්දියාව උඩින් පරිප්පු දැම්මා අපි ගැන අනුකම්පා කරලා අද මොකද වෙන්නේ සම්පුර්ණයෙන් අපේ බත් පතට වැලි දානවා. ඒ විතරක් නෙමෙයි මුළු මුහුදු පරිසරයම විනාශ කරනවා. අපිට මේක බලාගෙන ඉන්න බැහැ"

හානිකර පන්න ක්‍රම
ඉහත සඳහන් කළ හානි කර පන්න ක්‍රමවලට අමතරව දකුණේ වැඩි වශයෙන් භාවිතා කරන හානි කර පන්න ක්‍රමයක් වන්නේ 'ලයිට් කෝස්' නමැති වටකරන දැල් (හබිලි දැල්)විශේෂයයි.
දකුණේ 'කෝස' ලෙස ප්‍රසිද්ධ මේ පන්න ක්‍රමය රාත්‍රී කාලයේ කරනු ලබන්නේ විදුලි ආලෝකය සහිතවය. එහිදී සිදු වෙන්නේ මේ ආලෝකය වටා එකතු වන මසුන් සියල්ල වටකර දැල දැමීමයි. මෙහිදීද කුඩා හා බිත්තර දැමීමට සිටින මත්ස්‍යා දක්වා කොටු කර ගනී. මීට අමතරව දකුණේ 'කදන් කෝස්' හා 'පොළොවේ දැල් දැමීම' ද ජයටම සිදු වෙයි.
දකුණේ ධීවර සංවිධානයේ නියෝජිත දුලිප් රංගජීව ප්‍රකාශ කළේ විනාශකාරී පන්න ක්‍රම සඳහා බලපත්‍ර ලබා දීම වැළැක්වීම සඳහා ඉක්මනින් නීති සම්පාදනය කළ යුතුව ඇති බව ය.
"අද ධීවරයෝ රට අත හැරලා යනවා. කන්න මාලු කුරියෙක් හොයා ගන්න ලේසි නැහැ. කරවලත් ගෙන්වන්නේ පිටරටින්.රට හතර වටෙටම මුහුද් රට ඇතුලේ ජලාශ විශාල ප්‍රමාණයක් තියනවා . මේ සියල්ලටම හේතුව ධීවර ක්ෂේත්‍රයේ කළමනාකරණයක් නොමැතිකම.” යැයි ඔහු පැවසීය.
දකුණට සේම නැගෙනහිරටද විනාශකාරී පන්න ක්‍රම මගින් විශාල විනාශයක් ගෙන දී තිබේ.ත්‍රිකුණාමලයේ ධීවරයින්ද ඉන් වැඩි වශයෙන් පිඩාව ට පත්ව සිටිති.
ත්‍රිකුණාමලයේ බහුලව සිදුවන්නේ ' ඩයිනමයිට් ගසා මසුන් ඇල්ලීම' හා 'ලයිට් කෝස්' බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර සහයෝගීතාවයේ සම්බන්ධීකාරක විශාඛා රංගනී පැවසුවාය .
ඇය පැවසූ ලෙස මෙය ජාතීන් අතර ගැටුමක් බවට මේ වන විට පත්ව තිබේ.
"එක්තරා කණ්ඩායමක් තමයි මේ වැඩේ බහුලව කරන්නේ. මේ නිසා නිතරම ගැටුම්" විශාඛා රංගනී වැඩිදුරටත් සඳහන් කළාය.
සෘජු සහ වක්‍ර බලපෑම්

"මම හලාවත මාළු වෙළඳපොළේ වෙළඳාම් කරන්නේ. අද බලන්න මේ මාළු වෙළඳපොළ පාලුවට ගිහින් තියන හැටි. වෙනදා මොන සුළං ආවත් මේකේ මාළු නැතිව යන්නේ නැහැ" වර්ණකුලසුරිය නෙස්ටා පැවසුවාය.
ඇය පැවසූ ලෙස මෙම මාළු වෙළදපොළ මෙලෙස පාලුවට ගොස් ඇත්තේ පළමු වතාවටය.
කාලගුණයට වඩා වැඩි යමක් මේ වන විට සිදුව ඇති බව ඇගේ අදහසයි.
"දැන් ටික කාලයක ඉදලා මාළු අඩුයි.මේකට හේතුවක් කියන්න මට දැනුමක් නැහැ.මාළු අඩුයි කියන එක විතරයි මට කියන්න පුළුවන්. ඒ නිසා මටත් රැකියාව නැහැ "
හලාවත මාළු වෙළදපොළට රටේ ප්‍රදේශ රැසකින් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් පැමිණෙයි. හෙට්ටිපොල සිට පැමිණි නිමල් ප්‍රනාන්දු කියා සිටියේ මාස කීපයක සිට තමන් රැගෙන යන්නේ දින කීපයක් ශීතකල මසුන් බව ය.
"මම දන්නවා මේ මාළු හලාවත මාළු නෙමෙයි කියලා. නමුත් මම හලාවත මාළු කියලා විකුණනවා. මට කරන්න දෙයක් නැහැ. මමත් දරු පවුලක් රකින්න ඕනෑ. සමහර දවස්වලට මම මාළු නැතිවත් යනවා. දැන් මේ රැකියාවට ආයුබෝවන් කියන්න කාලේ හරි වගේ.
ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? අපි ඔහුගෙන් පෙරළා ඇසිමු.
"ඒක ඉතින් දෙයියෝ තමයි දන්නේ.මාළු නැහැ කියලා විතරයි කියන්න පුළුවන්.”

පරිසර විනාශය
හානිකර පන්න ක්‍රම යොදා කරන මසුන් ඇල්ලීම හේතුවෙන් මේ වන විට කල්පිටිය කොරල් පරය සැලකිය යුතු ලෙස විනාශ වී තිබේ. ඊට අමතරව කල්පිටිය මුහුදේ ජීවත් වූ ඩොල්ෆින් සත්වයන්ට ද මේ පන්න ක්‍රමය දැඩි ලෙස අහිතකර විය.
"මම අවස්ථා කීපයකදී මුහුදු පරිසරය හා ඊට දැඩි බලපෑම් එල්ල වන පන්න ක්‍රම පිළිබඳව අධ්‍යයන වල නිරත වුණා.අපි කරපු දැනුවත් කිරීම් නිසා තමයි බොටම් ට්‍රොලින් ලංකාවේ තහනම් පන්න ක්‍රමයක් විදිහට නීති සකස් වුණේ" පරිසරවේදී සජීව චාමිකර බීබීසී සිංහල වෙත කියා සිටියේය.
"මේ නිසා කල්පිටියේ හා මන්නාරමේ බොටම් ට්‍රොලින් නැවතුණා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ ඉන්දියාවෙන් ඇවිල්ලා බොටම් ට්‍රොලින් කරනවා. එතකොට නීතිය කෝ. තහනම් පන්න ක්‍රම නිසා කල්පිටියේ කොරල් පරයට වගේම ත්‍රිකුණාමලය නිලාවේලි හා ගාල්ල කොරල් පරයටත් හානි වෙලා තියෙනවා. මුහුදු පරිසරය ගැන කතා බහ ගොඩක් අඩුයි . ඊට හේතු කීපයක් තිබෙනවා ඉන් ප්‍රධාන වෙන්නේ මුහුදු පරිසරය සම්බන්ධයෙන් කරන පර්යේෂණ වල අඩු බව.”
ට්‍රැක්ටර් දමා සිදු කරන මා දැල් කර්මාන්තය නිසා ද මුහුදු වෙරළට හා ජලජීවී පරිසරයට විශාල හානියක් සිදුවෙයි.
දිනපතා ට්‍රැක්ටර් විශාල ප්‍රමාණයක් වෙරළේ දැකිය හැකිය. මිනිස් ශ්‍රමය යොදා කෙටි දුරකට දැමු මාදැල් මේ වන විට කිලෝමීටර් දෙක තුන මුහුද දෙසට දමයි.
බලධාරීන් කියන්නේ මොකක් ද?
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට ඇති ප්‍රධානතම රාජ්‍ය ආයතනය ධීවර දෙපර්තුමෙන්තුවය.
හානිකර පන්න ක්‍රම හේතුවෙන් සිදුව ඇති විනාශය පිළිබඳව කළ විමසීමේදී ධීවර දෙපාර්තුමේන්තුවේ ධීවර කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂක එම් . මාක්ස් කියා සිටියේ නීතියෙන් තහනම් පන්න ක්‍රමවලට තම දෙපාර්තුමේන්තුව අවසර ලබා දී නොමැ ති බවය.
"බොටම් ට්‍රොලින් තහනම්. අපි නාවික හමුදාවට කියල තියනවා අල්ලන්න කියලා. හැබිලි දැල් තහනම් නැහැ. අපි කොන්දේසි සහිතව බලපත්‍ර ලබා දී තිබෙනවා."
"ඒ අනුව උසාවි නියෝගය අනුව අපි කල්පිටියේ ලයිලා පන්න ක්‍රමයට බලපත්‍ර 53 ක් දීලා තියනවා . ඊට අමතරව සුරුක්කු බලපත්‍ර සියයකට වැඩි ප්‍රමාණයක් දීලා තියනවා."
"අපි මේ කොන්දේසි කඩ කරන ධීවරයන් අල්ලන්න කියලා නාවික හමුදාවට කියලා තියනවා . නාවික හමුදාව අල්ලලා දුන්නම අපි අධිකරණයට ඉදිරිපත් කරලා නඩු පවරනවා."
මාළු අඩුයි කියලා ධීවරයෝ පැමිණිලි කරලා කර තිබේදැයි බීබීසී සිංහල කළ විමසීමේදී ඔහු කියා සිටියේ, “ඒ ගැන ධීවරයෝ කියනවා. ඒ ගැන පරීක්ෂණ පවත්වන්න ඕනෑ නාරා ආයතනයයි”
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට ඇති ප්‍රධානතම ආයතනයට ඇති කාර්ය ධීවර රැකියාව කිරීම සඳහා බලපත්‍ර ලබා දීම පමණද? ඉන් එපිටට යාමට ධීවර දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති ද යන්න අප හමු වූ සුළු පන්න ධීවරයන් හා පරිසර හිතකාමීන් ඇසු පැනයකි.












