මියන්මාර අවුරුදු දා සමාව ලැබෙන එරට සිරගතව සිටින ලාංකිකයින් පිරිස කවුද ?

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පැවසුවේ ලබා දී ඇති පොදු සමාව යටතේ ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකුට ද නිදහස හිමිව ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, provided

අප්‍රේල් මස 13 වෙනිදා සිට අප්‍රේල් මස 16 වෙනිදා දක්වා මියන්මාර ජනතාව "තින්ග්යන්" නව අවුරුදු උත්සවය සමරනු ලැබීය.

මෙම නව අවුරුදු උත්සවයට සමගාමිව මියන්මාරයේ රාජ්‍ය පරිපාලන සභාව විසින් සිරකරුවන් තුන්දහසකට අධික සංඛ්‍යාවක් පොදු සමාව යටතේ නිදහස් කිරීමට තීරණය කර ඇත.

එලෙස පොදු සමාව යටතේ නිදහස් කරනු ලබන සිරකරුවන් 3,303ක් අතර විදේශීය ජාතිකයින් 36 දෙනෙකු සිටින බව සඳහන් ය.

ශ්‍රී ලාංකිකයින් පිරිසකට පොදු සමාව

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පැවසුවේ ලබා දී ඇති පොදු සමාව යටතේ ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකුට ද නිදහස හිමිව ඇති බවයි.

එලෙස පොදු සමාව යටතේ නිදහස ලබා ඇති සියලුම ශ්‍රී ලාංකිකයින් ධීවරයින් බව තානාපතිවරයා පැවසීය.

"පසුගිය වසරේදී මියන්මාර මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රා දෙකක් මියන්මාර් බලධාරීන් සිය භාරයට ගත්තා"

"ඒ අවස්ථාවේදී එම ධීවර යාත්‍රාවල සිටි ධිවරයින් 15 දෙනාට තමයි මේ වෙද්දී පොදු සමාව යටතේ නිදහස ලැබිලා තියෙන්නේ"

"ඔවුන් සියළු දෙනා හලාවත සහ මීගමුව ප්‍රදේශයන් වලින් ධීවර කර්මාන්තය සඳහා පිටත්වූ ධීවරයින්."

"ඔවුන්ගේ වැරදි වලට මියන්මාර අධිකරණයෙන් වසර 07ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබුණා."

"ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වගේම බුරුමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම පිරිසට සමාව ලබා ගන්න කැපවෙලා කටයුතු කළා."

"පසුගිය මාර්තු මාසයේදී මියන්මාර් අග්‍රාමාත්‍යවරයා මට හමුවූ අවස්ථාවේදී එතුමාගෙන් මම ඉල්ලීමක් කළා අපේ ධිවරයින් පිරිසට සමාව ලබා දෙන්න කියලා."

"ඒ අවස්ථාවේදී එතුමා පොරොන්දු වුණා ඔවුන්ගේ අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් ලබා දෙන පොදු සමාව යටතේ මෙම ලාංකිකයින් පිරිසට සමාව දෙන්න පියවර ගන්නවා කියලා. ඒක ඉටු වෙලා තියෙනවා."

"ඉදිරි දිනවලදී මියන්මාර තානාපති කාර්යාලයට මෙම පිරිස භාරදෙන්න නියමිතයි. ඉන් පසුව ඔවුන් නැවත ලංකාවට එවීමට පියවර ගන්නවා." තානාපති ජනක බණ්ඩාර පැවසීය.

සයිබර් කඳවුරු වලින් නිදහස් කර ගත් ලාංකිකයින්ට මොකද වුණේ ?

මේ අතර පසුගියදා මියන්මාරයේ සයිබර් වහල් කඳවුරු වල රඳවා ගෙන සිටියදී නිදහස් කර ගෙන තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාරදුන් ලාංකිකයින් 08 දෙනා හෙට ( අප්‍රේල් මස 18 වෙනිදා) පෙරවරු 9.35 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බවද මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේය.

" මේ අය ලංකාවට එවන්න පරක්කු වුනාම සමහර අය කියලා තිබ්බා මේ නිදහස් කරගත්තු කතාව බොරුවක් කියලා."

"ඒත් මේ කටයුතු සිදුවෙන ක්‍රමවේදයක් තියෙනවා." තානාපතිවරයා පැවසීය.