මියන්මාර හමුදාවේ අවි නිෂ්පාදනයට ගෝලීය සමාගම්හි සහාය - වාර්තාවකින් හෙළිවෙයි

The 10 Rohingya men before they were killed at Inn Din

ඡායාරූප මූලාශ්‍රය, HANDOUT

ඡායාරූප ශීර්ෂ වැකිය, කුප්‍රකට ඉන් ඩින් සමූලඝාතනය සඳහා යොදාගත් ආයුධ මියන්මාරයේ නිෂ්පාදිත ඒවාබව සැලය
    • Author, සීලියා හැට්න්
    • Role, බීබීසී

මියන්මාර හමුදාව අවම වශයෙන් රටවල් 13ක සමාගම්වල සැපයුම්වලට ස්තූතිවන්ත වන්නට තමන්ගේම ජනතාවට එරෙහිව භාවිතා කිරීම සඳහා විශාල පරාසයක ආයුධ නිෂ්පාදනය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඉහළ නිලධාරීහු පවසති.

මියන්මාරය හුදෙකලා කිරීම සදහා යුරෝපා රටවල ප්‍රධානත්වයෙන් සම්බාධක පනවා තිබියදීත් ආයුධ නිෂ්පාදනයට සහාය දෙන රටවල් අතර අමෙරිකාව, ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය වේ.

අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ, ආරක්ෂක හමුදාවලට විරුද්ධවන්නන්ට එරෙහිව කෲරකම් කිරීම සදහා දේශීයව නිෂ්පාදිත අවි භාවිතා කරන බව ය.

2021 වසරේ පෙබරවාරි මාසයේ දී සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව මියන්මාරය ප්‍රචණ්ඩත්වයෙන් පිරී ගියේ ය.

ඡන්දයෙන් තේරී පත්වූ ආණ්ඩුව නෙරපා හරින ලද කුමන්ත්‍රණකරුවන්ට විරුද්ධවන තැනැත්තන් හමුදා පාලනයට එරෙහිව වාර්ගික කැරලි කණ්ඩායම්වලට සම්බන්ධ වී තිබේ.

මියන්මාරය පිළිබද වාර්තාවේ විශේෂ උපදේශක සභාව පවසන්නේ, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් කිහිපයක් ආරක්ෂක හමුදාවට අවි ආයුධ අලෙවි කිරීම අඛණ්ඩව කරගෙන යන බව ය.

"ඒ හා සමාන වැදගත් කරුණක් වන්නේ, සිවිල් වැසියන් ඉලක්ක කරන්නට භාවිතා කෙරෙන විවිධ අවි ආයුධ රට තුළ නිෂ්පාදනය කිරීමට මියන්මාර සන්නද්ධ හමුදාවලට හැකියාවක් තිබීම යි," එම වාර්තාව පවසයි.

වාර්තාවේ නම්කර ඇති සමාගම් මියන්මාරයේ ආරක්ෂක හමුදා වෙත අමුද්‍රව්‍ය, පුහුණුව සහ යන්ත්‍රෝපකරණ සපයන බව වාර්තාවේ සඳහන් වන අතර, එලෙස නිපදවන ආයුධ එරට දේශසීමා ආරක්ෂාකර ගැනීමට භාවිත නොකරයි.

"මියන්මාරය කවදාවත් විදෙස් රටක ප්‍රහාරයකට ලක්වෙලා නෑ," වාර්තාවේ කර්තෘවරයෙකු ලෙස කටයුතු කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු විශේෂ නියෝජිතයෙකු වන යැංගී ලී පැහැදිලි කළේ ය.

"ඒ වගේම මියන්මාරය කිසිම අවියක් අපනයනය කරන්නෙත් නෑ. 1950 ඉදන් මියන්මාරය තමන්ගේම ජනතාවට එරෙහිව තමන්ම අවි ආයුධ හැදුවා."

Myanmar's junta chief Senior General Min Aung Hlaing, who ousted the elected government in a coup on February 1, presides an army parade on Armed Forces Day in Naypyitaw, Myanmar, March 27, 2021.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදාව සතු භටයින් හා ආයුධ සංඛ්‍යාව එහි විරුද්ධවාදීන් විශාල වශයෙන් අභිබවා යයි

හමුදා කුමන්ත්‍රණය සිදුවීමෙන් පසු, නිල වාර්තාවන්ට අනුව හමුදාව විසින් පුද්ගලයින් 2600කට අධික පිරිසක් ඝාතනය කරනු ලැබ තිබේ. කෙසේ වෙතත්, ඝාතනයට ලක්වූවන්ගේ සැබෑ සංඛ්‍යාව මීට වඩා දස ගුණයකින් පමණ වැඩිබව සැලකේ.

"ඒක පටන් ගත්ත වෙලාවේ... ඒ නැගී එන ව්‍යාපාර අභිබවා යන්න හමුදාවට පුළුවන් කියලා පේන්න තිබුණා. ඒත් ඒ රැල්ල පහුගිය මාස කිහිපය තුළ ටිකක් වෙනස් පැත්තකට හැරුණා," බීබීසී බුරුම සේවයේ ප්‍රධානී සෝ වින් ටෑන් පැහැදිලි කරයි.

"විරුද්ධවාදී පාර්ශවයන්ට නැත්තේ මියන්මාර් ජුන්ටාව සතු ගුවන් බලය විතරයි."

හමුදා කුමන්ත්‍රණය ආරම්භවීමත් සමග පනවන ලද සම්බාධකවල බරපතලභාවය හෝ ජාත්‍යන්තර වශයෙන් හුදෙකලාවීම මියන්මාර පාලකයින්ගේ ස්නයිපර් රයිෆල්, ගුවන් යානා නාශක අවි, මිසයිල විදින, අත්බෝම්බ, බෝම්බ සහ බිම්බෝම්බ ආදී අවි ආයුධ නිපදවීම නතර කිරීමට සමත්වී නැත.

යැංගී ලී හැරුණුවිට අදාළ වාර්තාව සකසනු ලැබ ඇත්තේ, මියන්මාරය පිළිබද කරුණු විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ ස්වාධීන දූත කණ්ඩායමේ සාමාජිකයින් වන ක්‍රිස් සිදෝටි සහ මර්සුකි දරුස්මාන් විසිනි.

A protester holds a bullet fired during a protest against the military coup in March 2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2021 දී විරෝධතාකරුවන් මාරාන්තික ලෙස මර්දනය කිරීමෙන් පසු හමුවූ මෙම උණ්ඩ කොපුව මත මියන්මාරයේ 'ආරක්ෂක කර්මාන්ත අධ්‍යක්ෂ මණ්ඩලය' ලෙස සලකුණුකොට තිබේ

ඔවුන්ගේ මූලාශ්‍රයයන් වන්නේ, නිරාවරණය වූ හමුදා ලේඛන, හිටපු හමුදා සාමාජිකයින්ගේ සම්මුඛ සාකච්ඡා සහ කම්හල්වල චන්ද්‍රිකා ඡායාරූප ආදියයි. ඡායාරූප ද මීට ඉතා වටිනා සහායක් සැපයූ අතර, 2017 වසරේ දී ගන්නා ලද ඡායාරූපවලින් තහවුරු වන්නේ කුමන්ත්‍රණයට පෙර ද දේශීයව නිෂ්පාදිත අවි භාවිත කළ බව ය.

මියන්මාර් හමුදා සාමාජිකයින් විසින් නිරායුධ රෝහින්ජා වැසියන් 10 දෙනෙකු ඝාතනය කරන ලද ඉන් ඩින් සමූලඝාතනය අවස්ථාවේ දී හමුදා සාමාජිකයින් මියන්මාරයේ නිෂ්පාදිත රයිෆල් අත දරා සිටි බව දැක තිබේ.

"ඉතා මෑතක දී සගයින් පළාතේ සමූලඝාතන සිදුවුණා. විශේෂයෙන්ම පාසලකට බෝම්බ සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළා. ඒකෙන් දරුවන් සහ තවත් පුද්ගලයින් සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා," ක්‍රිස් සිදෝටි පවසයි.

"සොයාගත්ත අවි.. එහෙමත් නැත්නම් එම ස්ථානයේ තිබී සොයාගැනුණු ෂෙල් වෙඩි පතොරම් අදාළ නිෂ්පාදන කම්හල්වලින් ආව ඒවා බව පැහැදිලිව හදුනාගන්න පුළුවන් වුණා."

අවි නිපදවීම සදහා යොදාගැනුණු ඇතැම් උපකරණ ඔස්ට්‍රියාවෙන් පැමිණි බවට විශ්වාස කෙරේ. තුවක්කුවල බට නිපදවීම සදහා ඔස්ට්‍රියානු සාමගමක් වන GFM Steyr ආයතනයේ යන්ත්‍රෝපකරණ ස්ථාන කිහිපයක දීම භාවිතා කළ බව විශේෂ උපදේශක සභාව පවසයි.

එම යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වූ විට නැව් මඟින් තායිවානයට ගෙනගොස් GFM Steyr සමාගමේ තාක්ෂණික ශිල්පීන් විසින් අලුත්වැඩියා කළ බව වාර්තා වේ. අදාළ වාර්තාවේ දැක්වෙන්නේ, අදාළ යන්ත්‍ර මියන්මාරය තුළ භාවිත කරනු ඇති ඒවා යන්න ඔස්ට්‍රියානු සමාගමේ තාක්ෂණික ශිල්පීන් දැන සිටියේ ද අපැහැදිලි බව ය.

වාර්තාවේ අන්තර්ගත කරුණු පිළිබදව අදහස් ලබා ගැනීම සදහා බීබීසී සේවය කළ ඉල්ලීමට GFM Steyr සමාගම ප්‍රතිචාර දැක්වූයේ නැත.

වාර්තාවේ කර්තෘවරුන් පවසන්නේ, ඔවුන් අනාවරණය කර ගත්තේ අවි නිෂ්පාදන ජාලයක එක් පැත්තක් පමණක් වන අතර ඊට තවත් රටවල් රැසක් සම්බන්ධ බව විශ්වාස කරන බව ය:

  • චීනයෙන් ගෙනෙන ලද අමුද්‍රව්‍ය මියන්මාරයේ අවි නිෂ්පාදනයට යොදාගත්බව හෙළි වී තිබේ. ඊට අමතරව තඹ සහ යකඩ චීනයෙන් සහ සිංගප්පූරුවෙන් ‌රැගෙන එන ලද බව විශ්වාස කෙරේ
  • අවි නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රධාන උපකරණ වන ෆියුස් සහ විදුලි ඩෙටනේටර් ඉන්දියාවෙන් සහ රුසියාවෙන් රැගෙන එන ලදැ යි නැව් වාර්තා සහ හිටපු හමුදා නිලධාරීන් සමග කළ සම්මුඛ සාකච්ඡා මඟින් අනාවරණය කරගෙන තිබේ
  • මියන්මාරයේ අවි කම්හල්වල භාවිත වන උපකරණ ජර්මනිය, ජපානය, යුක්‍රේනය සහ අමෙරිකාව යන රටවලින් රැගෙන එන ලදැ යි විශ්වාස කෙරෙන අතර අදාළ යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මෘදුකාංග ඊශ්‍රායලයේ සහ ප්‍රංශයේ නිෂ්පාදනය කරනු ලැබ ඇතැ යි විශ්වාස කෙරේ
  • සිංගප්පූරුව හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස පෙනීයන බව වාර්තාව කියයි, ඊට අමතරව මියන්මාරයේ හමුදා උපකරණ මිල දී ගන්නන් සහ බාහිර සැපයුම්කරුවන් අතර අතරමැදියෙකු ලෙස සිංගප්පූරු සමාගම් ‌ක්‍රියාකරන බව ද එම වාර්තාවේ දැක්වේ

දශක ගණනාවක් පුරා මියන්මාර් ආරක්ෂක හමුදාව ජාත්‍යන්තර සම්බාධක රැසකටම ලක්වූව ද අවි නිෂ්පාදනය අවසන් කර නැත. අවි කම්හල් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර 1988 වසරේ දී කම්හල් 6ක් වූ සංඛ්‍යාව අද වන විට 25ක් දක්වා වැඩි වී තිබේ. ‍‍‍

"ජාත්‍යන්තර සම්බාධක එකිනෙකට වෙනස් වෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් සම්බාධක පනවලා නෑ. පෞද්ගලිකව රටවල් කිහිපයක් හෝ ප්‍රාන්ත කිහිපයක් තමයි සම්බාධක පනවන්නේ," ක්‍රිස් සිඩෝටි පවසයි.

"ඒ නිසා, සම්බාධක පනවා නැති රටවල වෙනත් සමාගම් හරහා ගනුදෙනු කිරීමෙන් හෝ දේශීය මියන්මාර අතරමැදියන් සමග ගනුදෙනු කිරීමෙන් සම්බාධක වළක්වා ගැනීම බොහෝ සමාගම්වලට සාපේක්ෂව පහසු යි."

මෙතෙක් පෙනී යන කරුණ වන්නේ මියන්මාරය වෙනත් රටවලට අවි ආනයනය නොකරන බව ය. කෙසේ වෙතත්, 2019 වසරේ දී මියන්මාරය තායි අවි වෙළෙද ප්‍රදර්ශනයේ දී විශාල පරාසයක අවි එකතුවක් ප්‍රදර්ශනය කළේ ය. පතොරම්, බෝම්බ සහ ග්‍රෙනේඩ් විදින ප්‍රදර්ශනයට තබා තිබිණි.

"මියන්මාරයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතය ඉතාම අසීරු යි," ලන්ඩනයේ ලාෆ්බරෝ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය රොනන් ලී පවසයි.

"මියන්මාරය ශක්‍යතාවක් සහිත රටක් විදිහට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මම හිතන්නෙ ඒක අභ්‍යන්තර කඩා වැටීමකට ආසන්න යි.

"මියන්මාරයේ ජනතාව ගැන හිතන ජාත්‍යන්තර ප්‍රජාවට ඉතිරි වෙලා තියෙන අවස්ථාව තමයි, සිවිල් වැසියන්ට එරෙහිව භාවිත කරන අවි නිපදවීම තවදුරටත් කරගෙන යන්න බෑ කියල කියන එක."