මියන්මාර සොල්දාදුවන් සමාජ මාධ්‍ය මාර්ගයෙන් හමුදාව හැරයයි

A screenshot of the People's Embrace Facebook page

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, 'පීපල්ස් එම්බ්‍රේස්' යනු සොල්දාදුවන්ට හමුදාවෙන් ඉවත්වීමට උපකාර කරනා ෆේස්බුක් පිටුවකි. බැනරයේ සඳහන් වන්නේ, 'පොලිසියට සහ හමුදා නිලධාරීන්ට සහාය' යනුවෙනි

පසුගිය වසරේ මියන්මාරයේ හමුදාව හෙවත් 'තත්මදෝව්' එරට බලය අල්ලාගැනීමත් සමග මියන්මාරයේ මරණීය සිවිල් යුද්ධයක් ඇවිලී ගියේ ය. දැන්, ෆේස්බුක් සහ ටෙලිග්‍රෑම් ගිණුම්වලින් සන්නද්ධ සැඟවුණු පුද්ගල ජාලයක උපකාරයෙන් සොල්දාදුවන් රංචු පිටින් හමුදාවෙන් පැනයයි.

අග්නේ ලේ (ඒ ඔහුගේ සැබෑ නම නොවේ) තම දුරකථනය අසල වාඩි වී, ඉවසීමෙන් බලා සිටියි.

මිනිත්තු පහකට පසු ඔහුට පණිවිඩයක් ලැබේ.

සොල්දාදුවෙකුට ඔහුගේ උපකාරය දැඩි ලෙස අවශ්‍ය බව එහි කියැවේ. සොල්දාදුවා, තත්මදෝව හැරයාමට අවශ්‍ය නමුත් තමන් හසුවේයැයි බියෙන් පසුවන්නෙකි. ඒ සොල්දාදුවාට උපකාර කිරීමට ලේට හැකි ද?

44 හැවිරිදි ලේට පමණක් නොව, මුලාවෙන් මිදුණු සොල්දාදුවන්ට සහ පොලිස් නිලධාරීන්ට සේවයෙන් පැනයාමට උපකාර කරන ජාලයක් වන 'පීපල්ස් එම්බ්‍රේස්'හි ස්වේච්ඡා සේවකයන් සිය ගණනකට මෙවැනි පණිවිඩ දිනපතා ලැබෙයි.

මියන්මාරයේ රහසිගත ස්ථානයක සිට අන්තර්ජාලය හරහා සැපයෙන් සේවාව ගැන සඳහන් කරමින් ලේ මෙසේ කියයි: "අපි ෆේස්බුක් එකේ පෝස්ට් දානවා [හමුදාව] අතෑරලා යන්න කැමති අයට ටෙලිග්‍රෑම් හරහා අපි එක්ක සම්බන්ධ වෙන්න කියලා."

Agne Lay with three fingers up in front of his face, a symbol of resistance
ඡායාරූප ශීර්ෂ වැකිය, අග්නේ ලේ මියන්මාරයේ සිවිල් නැගීසිටීමට සහාය දැක්වීමේ සලකුණ පෙන්වයි

තත්මදෝව පීපල්ස් එම්බ්‍රේස් සහන ජාලයේ අක්මුල් සොයාගැනීමට උත්සාහ දරනා හෙයින්, එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ බොහෝ කරුණු හෙළි නොකිරීමට පීපල්ස් එම්බ්‍රේස්හි සාමාජිකයෝ දැඩි ලෙස උත්සාහ දරති.

ඔවුන් සිය ක්‍රියාකාරකම් ගෙනයන්නේ දැඩි අවදානම් මධ්‍යයේ ය. ලේ පවසන්නේ තමාගේ අතීත [හමුදා] සගයන් තමා අල්ලාගතහොත් කුමක් සිදුවේදැ යි තමා නොදන්නා බව යි.

"මාව මරාදාවි," ඔහු පවසයි.

ලේ තැවරුණු යුද්ධය

A civilian at a protest in the aftermath of the coup with a sign reading "Free Aung Sun Suu Kyi"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේ හමුදා කුමන්ත්‍රණයෙන් පසු විරෝධතාවයේ යෙදෙන සිවිල් වැසියෙක්

පසුගිය වසරේ සිවිල් රජය පෙරලා දැමීමෙන් පසු මියන්මාරයේ ඇතිවූ සිවිල් යුද්ධය වඩ වඩාත් ප්‍රචණ්ඩත්වයට පත්විය.

2021 පෙබරවාරි 1 වන දින, අවුන් සාන් සූචී නැවත තේරී පත්වීමෙන් පසුව, තත්මදෝව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීග රජය පෙරළා දැමීය. හමුදා නායකයින් ඡන්දයේ දී වංචාවන් සිදුවූ බව ප්‍රකාශ කරමින් කුමන්ත්‍රණය සාධාරණීකරණය කළ නමුත්, එරට මැතිවරණ කොමිසම පවසන්නේ එවැන්නක් සම්බන්ධ කිසිදු සාක්ෂියක් නොමැති බව යි.

සිවිල් වැසියන් වීදි බසින ලද නමුත් ඔවුන්ගේ විරෝධතාවන් හමුදාව විසින් ප්‍රචණ්ඩ ලෙස මර්දනය කරන ලදී.

එකල ලේ, කාර්යාලීය කටයුතුවල යෙදෙමින් සිටි හමුදා සැරයන්වරයෙකි. තමා වටා ඇතිවූ අවුල්සහගත තත්ත්වයෙන් වියවුල් වූ ඔහු පිළිතුරු සෙවීම සඳහා සමාජ මාධ්‍ය වෙත යොමුවිය. ඔහු පවසන්නේ සොල්දාදුවන් නීතිවිරෝධී ඝාතන සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන තමාට හමුවූ බව යි.

"හිතාමතාම ඔළුවටට ඉලක්ක කරලා වෙඩි තියලා මිනිස්සුන්ව මරලා දාන හැටි මම දැක්කා," ඔහු පවසයි. "ඒ මොකක්වත් වැරදීමෙන් සිද්ධ වෙච්ච මරණ නෙවේ."

තත්මදෝව විසින් ඔහුගේ නවයොවුන් පුතුට හමුදාවට බැඳෙන්නැ යි බලකිරීමත් සමග ඔහුගේ බිය උග්‍රවිය. එය ඔහුට නොවැළැක්විය හැකි දෙයකි.

"මට කිව්වා මම එහෙම [වළක්වන්න උත්සාහ] කළොත් මට දඬුවම් කරනවා කියලා," ලේ පවසයි.

එය ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවීය.

"මට තවදුරටත් හමුදාවේ රැඳෙන්න ඕන වුණේ නැහැ," ඔහු කියා සිටියි.

කුමන්ත්‍රණයෙන් මාස පහකට පසු, ලේ සිය පවුල ද සමග කඳුකරයට පලාගියේ ය. පීපල්ස් එම්බ්‍රේස් වෙතින් මුලින්ම සහාය ලැබූවන් අතර ඔහු සිටියි.

Burmese civilians protesting on the streets of Myanmar

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදාව රටේ බලය අත්පත්කර ගැනීමට එරෙහිව දහස්ගණනක් සිවිල් වැසියෝ විරෝධතා දැක්වූහ

අන්තර්ජාලයෙන් සන්නද්ධ වීම

ලේ දැන් එම සංවිධානයේ සාමාජිකයෙකි. ඔහු "මුදාගත් ප්‍රදේශයක" සිට දුරස්ථව ක්‍රියා කරයි. එම ප්‍රදේශය හමුදා රජයට එරෙහි කැරලිකරුවන් විසින් පාලනය වන, සුළුතර ජනවාර්ගික කණ්ඩායම් සංකේන්ද්‍රනය වී සිටින, සිවිල් ජාතික සමගි රජයේ බලය පැතිරුණු ප්‍රදේශවලින් එකකි.

පීපල්ස් එම්බ්‍රේස් සංවිධානයට ෆේස්බුක් ෆලෝවර්ස්ලා 100,000කට වඩා සිටියි. හමුදාව අතැර යාම සඳහා ඔන්ලයින් මාර්ගයෙන් ඉල්ලුම් කරනා අයවලුන් ඉන් පරීක්ෂා කරනු ලබන අතර, සාර්ථකව හමුදාවෙන් ඉවත් කරගන්නා අයට ආහාර, නවාතැන්, ආරක්ෂාව, සහ දීමනාවක් ලබා දේ.

"[පැන ගිය අයගේ] මිතුරන්ටත් හමුදාවෙන් ඉවත් වෙන්න ඕන වුණාම එයාලාටත් ලින්ක් එක යවල උදව් කරනවා" ඔහු පවසයි.

අන්තර්ජාලය හරහා කෙරෙන මෙම සේවාව, මියන්මාරයේ මෑතකාලීන ඉතිහාසයේ අන්තර්ජාලය භාවිතාවෙන් සිදුවන අසාමාන්‍ය හා වැදගත් අංගයකි.

දශකයකට පෙර අන්තර්ජාලයට තබා ජංගම දුරකථනයකට ප්‍රවේශය තිබුණේ ද ඉතා සුළු පිරිසකට ය.

නමුත් වියදම් අඩුවීමත් සමග සමාජ මාධ්‍ය වේගයෙන් ව්‍යාප්ත විය. දැන් මියන්මාරයේ ජනගහනයෙන් අඩකටත් වඩා ෆේස්බුක් භාවිතා කරයි.

එය පීපල්ස් එම්බ්‍රේස් වැනි ව්‍යාපාරවලට වර්ධනයටවීමට ඉඩකඩ සලසා ඇති අතර, තත්මදෝව විසින් සිදුකරන ලද බව කියන ම්ලේච්ඡ ක්‍රියාවලට ද ප්‍රචාරය දෙයි.

"[පාලනය] වගකීමක් නොගැනීම නිසාත්, යුක්තිය පසිඳලීම සඳහා වෙනත් මාර්ග නොමැති වුණාමත්, [සිවිල් ජනතාවට] අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්," ලන්ඩන් නුවර පිහිටි 'මියන්මාර් විට්නස්' නමැති රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජ්‍ය විමර්ශන ප්‍රධානී ඩැනියෙල් ඇන්ලෙසාර්ක් පවසයි.

මියන්මාර සොල්දාදුවන් ප්‍රචණ්ඩ ලෙස ද, දණ්ඩමුක්තිය නොමැතිව ද ක්‍රියා කරනු දැක්වෙන අන්තර්ජාල වීඩියෝ දහස් ගණනක නිරවද්‍යබව ඔහුගේ කණ්ඩායම විසින් තහවුරුව තිබේ.

නමුත් සාවද්‍ය තොරතුරු සහ වෛරය පැතිරවීමට ද ෆේස්බුක් උපකාරී විය. මෙය රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ජනසංහාරයට හේතුවූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්විණි. එහි දැක්වෙන්නේ රඛයින් ප්‍රාන්තයේ ජනසංහාරය සහ වෙනත් තැන්වල සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මියන්මාරයේ ඉහළම හමුදා නිලධාරීන් විමර්ශනයට ලක්විය යුතු බව ය. එහෙත් එවක මියන්මාර රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

A member of the opposition uses his smartphone at base camp

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රතිරෝධයේ සාමාජිකයෙකු කඳවුරේ දී සිය ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ජේම්ස් රොඩ්හීවර් සමාජ මාධ්‍ය යනු "දෙපැත්ත කැපෙන කඩුවක්යැ"යි විස්තර කරන්නේ එබැවිනි.

තත්මදෝව සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීමට සමත්ව ඇති බවත්, හමුදාව අන්තර්ජාල අවහිරකිරීම් යුධ ක්‍රියාවක් ලෙස භාවිතා කරන බවත් (ප්‍රහාර දියත් කිරීමට පෙර සමාජ ජාලා අවහිර කෙරෙයි), එමඟින් මිනිසුන් අන්තර්ජාලය මත යැපීම ඔවුන්ගේ දුර්වලකමක් බවට පත්කෙරෙන බවත් ඔහු සඳහන් කරයි.

නව උදාවක්

BBCය තත්මදෝව අමතා ලේ සහ අනෙකුත් අයගේ චෝදනා ඔවුන් වෙත යොමුකළ නමුත් ඊට පිළිතුරක් නොලැබුණි.

ගැටුම් වැඩිවත්ම, පීපල්ස් එම්බ්‍රේස් සහ සිවිල් ජාතික සමගි රජය වැඩි වැඩියෙන් ආධාරකරුවන් ආකර්ෂණයකර ගනිමින් සිටියි.

වීඩියෝ ශීර්ෂ වැකිය, Watch: The young rebels fighting for democracy

අපට ස්වාධීනව සංඛ්‍යාලේඛන තහවුරු කරගත නොහැකි නමුත්, සිවිල් ජාතික සමගි රජය පවසන්නේ සොල්දාදුවන් සහ පොලිස් නිලධාරීන් 8000කට වැඩි පිරිසක් පැනගොස් ඇති බව යි. ඇතැමෙක් කෙලින්ම කැරලිකාර පාර්ශ්වයෙන් සටනට යති; නැතහොත් පොලිස් නිලධාරීන් ලෙස කටයුතු කරති. තවත් අය පීපල්ස් එම්බ්‍රේස්හි සේවාවන් ශක්තිමත් කරන අතර සමහරු සරල සිවිල් ජීවිතයක් ගත කිරීමට පෙළඹෙති.

අනෙක් අයට උදව් කරන්නට ලැබීම ගැන ඉතා සතුටට පත්ව සිටින ලේ, සිය දිවියට නව අරුතක් ලැබී ඇතැ යි සිතයි.

"මූලික මානව හිමිකම් නැතිවෙවී යනවා," ඔහු පවසයි. "අපේ ජීවන මට්ටම ඉතිහාසයේ නොතිබුණු තරම් පහත් මට්ටමකට වැටිලායි තියෙන්නේ. දූෂණය පැතිරිලා. ඔබ මේ හැමදේම හරියට දැක්කොත් අපි ගැන දුක හිතේවි."

කුමන්ත්‍රණය නිමවන තුරුත්, තත්මදෝව බලයෙන් පහකෙරෙන තුරුත් දිගටම සටන් කිරීමට තමන් අධිෂ්ඨාන කරගෙන සිටින බව ඔහු පවසයි.