මැරෙනතෙක් වධදීම: මියන්මාරයේ හමුදා රජයේ සමූලඝාතන හෙළිදරව් වේ

පසුගිය ජූලි මාසයේ දී මියන්මාර හමුදාව විසින් සිවිල් වැසියන් සමූලඝාතනය කිරීම් මාලාවක් සිදුවී ඇති අතර, මේ හරහා අවම වශයෙන් පිරිමින් හතළිස්දෙනෙකු පමණ මියගොස් ඇතැ යි බීබීසී විමර්ශනයකින් හෙළිව තිබේ.
ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ දිවිගලවාගත්තවුන් පැවසුවේ සොල්දාදුවන්ගෙන් ඇතැමෙක් වයස අවුරුදු 17ක් පමණ වූ ලාබාල වයසේ තරුණයන් බවත්, ඔවුන් ගම්වැසියන් වට කිරීමෙන් අනතුරුව පිරිමින් වෙන්කර ඝාතනය කළ බවත් ය. එම සිදුවීම්වල වීඩියෝ දර්ශන සහ ඡායාරූපවලින් පෙනී ගියේ ඝාතනයට ලක්වූ බොහෝ දෙනාට පළමුව වධ හිංසා පමුණුවා, ඝාතනයෙන් පසු නොගැඹුරු සොහොන්වල වළලන්නට කටයුතුකර ඇති බව යි.
පසුගිය ජූලි මාසයේ දී මධ්‍යම මියන්මාරයේ සගායින් දිස්ත්‍රික්කයේ විපක්ෂ බලකොටුවක් වන කානි නගරහි දී වෙන වෙනම අවස්ථා හතරක දී මෙම ඝාතන සිදුවිය.
මෙම ඝාතනයන්, පෙබරවාරියේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් පසු නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කරන ලෙස බල කරමින් කැරලිකාර කණ්ඩායම් විසින් එල්ල කෙරුණු ප්‍රහාරයන් සඳහා දුන් දඬුවමක් ලෙස සැලකේ. හමුදා රජයේ ප්‍රකාශකයෙකු එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ද නැත.
බුරුමය ලෙසින් ද හඳුන්වන මෙරට ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්ව, අවුන්සාන් සුකීගේ නායකත්වය යටතේ මෙහෙයවුණු ආන්ඩුව බලයෙන් පහකරමින් පාලනය අත්පත් කරගත් දා සිට, හමුදාව සිවිල් වැසියන්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ.
බීබීසීය කානිහි ඇසින් දුටු සාක්ෂිකරුවන් 11 දෙනෙකු හා කතාබහ කළ අතර, රට තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශනය කරන එක්සත් රාජධානියේ පදනම් වූ රාජ්‍ය නොවන සංවිධානයක් වන 'මියන්මාර් විට්නස්' විසින් එකතු කරන ලද ජංගම දුරකථන දර්ශන සහ ඡායාරූප සමග ඔවුන්ගේ ප්‍රකාශයන් සංසන්දනය කෙරුණි.
විශාලතම ඝාතන සිද්ධිය සිදුවූයේ යින් ගම්මානයේ වන අතර, එහිදී අවම වශයෙන් මිනිසුන් 14 දෙනෙකු වධහිංසා පමුණුවා හෝ පහර දී ඝාතනයකර, ඔවුන්ගේ සිරුරු කැලෑවෙන් වැසුණු අගලකට විසිකර තිබුණි.
යින්හි සාක්ෂිකරුවන් (ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා අප විසින් නම් වසන් කරන්නට යෙදුණි) පැවසුවේ, ඝාතනය කිරීමට පෙර මිනිසුන් ලණුවලින් බැඳ පහර දුන් බව යි.
"අපිට ඒක බලාගෙන ඉන්න බැරි වුණා. අපිට කරන්න පුළුවන් වුණේ බිම බලාගෙන අඬන එක විතර යි," මෙම ඝාතනයන්ට තම සහෝදරයා, බෑණා, සහ මස්සිනා අහිමිවූ එක් කාන්තාවක් පැවසුවා ය.
"අපි ඒ උන්ගෙන් බැගෑපත්ව ඉල්ලුවා මේක කරන්න එපා කියලා. උන් ගණන් ගත්තෙ නැහැ. ඒ වෙනුවට උන් ගෑණු අයගෙන් ඇහුවා 'උඹලගෙ කසාද මිනිස්සු මේ අතරේ ඉන්නව ද? ඉන්නව නම් උන්ට අවසන් ගෞරව දක්වපල්ලා' කියලා."
ඝාතනයෙන් බේරීමට සමත්වූ අයෙකු ප්‍රකාශ කළේ, ඝාතනයට පැය ගණනාවකට පෙර සොල්දාදුවන් විසින් මිනිසුන්ට බිහිසුණු වධහිංසා සිදුකළ බව යි.
"මිනිස්සුන්ව බැඳලා, ගල්වලිනුත්, රයිෆල් බඳවලිනුත් ගහ ගහා මුළු දවසම වධ හිංසා කළා," දිවි ගලවාගත් තැනැත්තා පවසා සිටියේ ය.
"සමහර සොල්දාදුවො ගොඩක් අඩු වයසේ බව පෙනුණා, සමහර විට වයස අවුරුදු 17ක් 18ක් වගේ. ඒත් සමහරු හුඟක් වයසයි. උන් එක්ක ගෑණු කෙනෙකුත් හිටියා."

ජුලි මස අග දී, මීට ආසනයේ පිහිටි සී බින් ඩ්වින් ගම්මානයේ නොගැඹුරු සමූහ මිනීවළවල වළලනු ලැබූ සිරුරු 12ක් සොයාගනු ලැබුණි. එහි කුඩා දරුවෙකුගේයැ යි සැකකළ හැකි කුඩා සිරුරක් මෙන්ම ආබාධිත පුද්ගලයෙකුගේ සිරුරක් ද විය. ඇතැම් සිරුරු විකෘතිකර තිබුණි.
ඒ ආසන්නයේ පිහිටි ප්ලම් ගසක ගැට ගසා තිබූ වයස අවුරුදු හැටක පමණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද හමුවී තිබුණි. බීබීසීය විසින් පරික්ෂා කෙරුණු මළසිරුරේ වීඩියෝ දර්ශනවල, වධහිංසා පැමිණවීමේ පැහැදිලි සලකුණු දකින්නට ලැබුණි. ඔහුගේ පවුලේ අය ප්‍රකාශ කළේ හමුදාව ගමට ඇතුළු වන විට ඔහුගේ පුත්‍රයා සහ මුණුබුරා පලාගිය නමුත්, වයස්ගත තමන්ට අනතුරක් නොවනු ඇතැ යි විශ්වාස කළ ඔහු රැඳී සිටි බව යි.
ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස ඉල්ලමින්, ප්‍රදේශයේ සිවිල් අරගල කණ්ඩායම් විසින් හමුදාවට එල්ල කෙරුණු ප්‍රහාරවලට පොදු දඬුවමක් ලෙස මෙම ඝාතන සිදුකර ඇති බව පෙනී යයි. ඝාතනයන්ට ප්‍රථම මාස කීපයේ දී, 'මහජන ආරක්ෂක බලකාය' යන පොදු නමින් හැඳින්වෙන සිවිල් අරගල කණ්ඩායම් සහ හමුදා අතර සටන් (සී බින් ඩ්වින් අසල ඇතිවූ ගැටුම් ද ඇතුළුව) උග්‍ර වී තිබුණි.
මහජන ආරක්ෂක හමුදාවන් සහ හමුදාව අතර ගැටුම්වලට දෙන සාමූහික දඬුවම්වලට වැඩි වශයෙන්ම ගොදුරු වන්නේ ගම්මානවල පිරිමි පුද්ගලයන් බව, මෑත කාලයේ මියන්මාරය පුරාවෙන් බීබීසීය විසින් එකතු කෙරුණු සාක්ෂ්‍ය මත පැහැදිලි වේ.

මියගිය අයගේ පවුල් තරයේ පවසා සිටියේ, මියගියවුන් කිසිවෙකුත් හමුදාවට එල්ල කළ ප්‍රහාරවලට සම්බන්ධ නොවූ බව යි. යින් ගම්මානයේ සමූල ඝාතනයෙන් තම සහෝදරයා අහිමි වූ කාන්තාවක්, තම සොහොයුරාට "කැටපෝලයක්වත් හසුරුවන්න නොහැකි" බව පවසමින් තමා සොල්දාදුවන් හමුවේ බැගෑපත් වූ බව කියා සිටියා ය.
ඊට ප්‍රතිචාර ලෙස, "මුකුත් කියන්න එපා. අපිට ඇති වෙලා තියෙන්නේ. අපි උඹව මරනවා,"යි සොල්දාදුවෙකු කියූබව ඇය පැවසුවා ය.
හමුදා කුමන්ත්‍රණයෙන් පසුව විදෙස් මාධ්‍යවේදීන්ට මියන්මාරයේ පුවත් වාර්තා කිරීම තහනම් කෙරුණු අතර, බොහෝ රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ද වසා දමා ඇත්තේ එරට සිට තොරතුරු ලබා ගැනීම අතිශය අසීරු කරමිනි.
බීබීසීය, මියන්මාරයේ තොරතුරු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක ද වන ජෙනරාල් සෝ මින් ටුන් වෙත මෙම චෝදනා ඉදිරිපත්කර තිබුණි. සොල්දාදුවන් විසින් මෙම සමූහ ඝාතන සිදුවූ බව ඔහු ප්‍රතික්ෂේප නොකළේ ය.
"එහෙම දේවල් වෙන්න පුළුවන්," ඔහු පැවසුවේ ය. "ඔවුන් අපට සතුරන් විදියට සලකනකොට, අපේ ආරක්ෂා සලසා ගන්නට අපට අයිතියක් තියෙනවා."
මියන්මාර හමුදාව විසින් සිදුකරන ලද බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විට විමර්ශන අරඹා තිබේ.













