කොවිඩ් මැද්දේ හමුදා කුමන්ත්‍රණය: මියන්මාරයේ ආදාහනාගාර මෘත ශරීරවලින් පිරී ගිහින්

A man sits on empty oxygen canisters in Mandalay

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා' වැනි තත්ත්වයක් නිසා මියන්මාරය මේ දිනවල කර මුලටම සිරවී සිටියි - කෝවිඩ් වසංගතය සමග අත්වැල් බැඳගත් හමුදා පාලනය විසින් එරට දහස් ගණනක් ජනයා මරා දමනු ලැබ තිබේ.

මේ වසරේ පෙබරවාරි පළමු දා මියන්මාරයේ සිවිල් රජය පෙරලා දැමූ එරට හමුදාව, රාජ්‍ය බලය සියතට ගත්තේ ය. ඒ සමගම, අවසානයක් නොපෙන්වන මහා විරෝධතා රැල්ලකට රට නතුවිය.

විරෝධතාකරුවන් අතරේ සිය රැකියා පසෙක ලා පැමිණි සෞඛ්‍ය සේවකයින් දහස් ගණනක් ද සිටියෙන් එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටී, එන්නත්කරණය සහ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අවුල් ජාලයක් බවට පත්ව තිබේ.

ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයෙන් ද බැට කමින් ඉහළ යන කොරෝනාවෛරස ආසාදිතයින් සංඛ්‍යාව එරටට නව පහරක් එල්ලකර ඇත.

සාමාන්‍ය ජනතාවට සෘජුව ඔක්සිජන් විකිණීම රජය විසින් තහනම් කර තිබියදීත්, එරට ජනතාව ඔක්සිජන් සිලින්ඩර මිළට ගැනීමේ හෝ හිස් සිලින්ඩර පුරවා ගැනීමේ දැඩි බලාපොරොත්තුවෙන් ඔක්සිජන් කර්මාන්තශාලා ඉදිරියේ පෝලිම් ගැසෙමින් සිටිති. ආදාහනාගාර මෘත ශරීරවලින් පිරීගොසිනි.

මේ උදාවී ඇත්තේ බොහෝදෙනෙකුට අඳුරු වළාවක රිදී රේඛාවක් හෝ දැකිය නොහැකි තත්ත්වයකි.

හෙද හෙදියන්, වෛද්‍යවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සියලුම ආකාරවල ජනතාව විරෝධතාවන්ට සහභාගී වෙති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හෙද හෙදියන්, වෛද්‍යවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සියලුම ආකාරවල ජනතාව විරෝධතාවන්ට සහභාගි වෙති

අත්අඩංගුවේ දී කොරෝනා වැළඳේ

"අපි කොවිඩ් හැදිලා මැරේවි ද, නැත්නම් දේශපාලන අර්බුදයේ බලපෑමෙන් මැරේවි ද කියලා අපි දිගින් දිගටම අපෙන්ම අහගන්නවා," මාධ්‍යවේදිනී අයි ම්යා (අනන්‍යතාවය සුරැකීම සඳහා නම්ගම් වෙනස්කර ඇත) පවසයි.

"අපට සිද්ධ වෙලා තියෙන්නේ මැරෙන්න හොඳම විදිය තෝරාගන්න යි."

මේ වන විට කොවිඩ් ආසාදිතයින් දෙලක්ෂ අසූදහසකට අධික සංඛ්‍යාවක් ද, මරණ අටදහස් දෙසීයක් ද මියන්මාරයෙන් වාර්තා වී තිබේ.

නමුත් කොවිඩ් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදුකෙරෙන්නේ සීමා සහිතව හෙයින්, නිවැරදි දත්තයන් වාර්තා නොවනබව විශ්වාස කෙරේ.

මිලියන 54ක් ජනතාවට නිවහන වන මියන්මාරයේ, ජූලි මාසයේ දී කෝවිඩ් හඳුනාගැනීමේ පරීක්ෂාවන් සිදුකර ඇත්තේ දිනකට 9 000 - 17 000 අතර සංඛ්‍යාවකට පමණි. මරණ වාර්තා වන්නේ ද නිවැරදි ගණනට වඩා අඩුවෙන් බව විශ්වාස කෙරේ. නිල කොවිඩ් මරණ යටතට ගණන් ගැනෙන්නේ රෝහල් ආදී සෞඛ්‍ය මධ්‍යස්ථානයන්හි සිදුවන මරණ පමණි.

තමන්ට කෝවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළ ද කොවිඩ් පරීක්ෂණයක් සිදු නොකෙරුණු හෙයින්, සිය මවගේ කොවිඩ් මරණය නිල දත්තයන්ට ඇතුළත් නොවුණුබව අයි ම්යා විශ්වාස කරයි.

ඈ සිය මවුට කෝවිඩ් වැළඳුනේ තමාගෙන් ය යන චකිතයෙන් වෙසෙයි.

අයි ම්යා විශ්වාස කරන්නේ, මවගේ මරණයෙන් පසු කොවිඩ් පරීක්ෂාවක් සිදුකළ තැන 'නෙගටිව්' ප්‍රතිඵලයක් ලැබූව ද, තමා සිරගෙයි සිටි සමයේ කෝවිඩ් වැළඳෙන්නට ඇති බවය. හමුදා කුමන්ත්‍රණයට එරෙහි උද්ඝෝෂණ පිළිබඳ වාර්තා කිරීමට ගොස් සිටිය දී අත්අඩංගුවට ගැනුණු ඇය සිරගෙයි සිව්මසක් ගත කළා ය.

ඈ බන්ධනාගාරයෙන් නිදහස් වුණු සැණින් කොවිඩ් ලක්ෂණ මතුව ආවේ ය.

"හිරේ ඉඳිද්දි පනහක් විතර හිරකාරයෝ එක හිරකුටියකට දාලා යි හිටියේ. ඇතුළෙ ලොකු තදබදයක් තිබුණා. දරුණුවට අසනීප වෙලා හිටි කීපදෙනෙක්ම මම අවට හිටියා."

"මම හිරෙන් නිදහස් වෙලා එද්දිත් අම්මා හොඳ සනීපෙන් හිටියේ. අම්මා මගේ කොණ්ඩේ හේදුවා. අපි එකට කෑවා බිව්වා. ඒත් මම ලෙඩවෙලා ටික කාලෙකින්ම අම්මත් ලෙඩ වුණා. දවස් කීපයක් ගියාම මට සනීප වුණත්, අම්මගේ තත්ත්වෙ එන්න එන්නම දරුණු වුණා. අම්මට කන්න බැරි වුණා. හුස්ම ගන්න අමාරු වුණා."

"අපි ඉස්පිරිතාලෙට ගියාම කිව්වා ඔක්සිජන් හිඟයක් තියෙනවා කියලා. ඔක්සිජන් සිලින්ඩරයක් ළඟ තිබුණු හැම කෙනෙක්ගෙන්ම අපි ඇහුවා පොඩි කාලෙකට සිලින්ඩරේ මුදලට දෙන්න පුළුවන් ද කියලා. ඒත් එක සිලින්ඩරයක්වත් ගන්න බැරිවුණා. අපි ඉස්පිරිතාලේ පුරා ඔක්සිජන් හොයන අතරේ අම්මා නැති වුනා."

Volunteers wearing personal protective equipment (PPE) arrange bodies of people who died from the Covid-19 coronavirus during their funeral at a cemetery in Mandalay on July 14, 2021.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඔක්සිජන්, මියන්මාරයේ ඉතා වටිනා සේම මතභේදකාරී වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇත.

රට තුළ ඔක්සිජන් හිඟයක් ඇත යන කරුණ ප්‍රතික්ෂේප කරන හමුදා නායක මින් අවුං හ්ලායින්ග් පවසන්නේ, ජනතාව "ඉදිරිය ගැන අනවශ්‍ය ලෙස කලබල වීම" හේතුවෙන් ඔක්සිජන් ගබඩාකර ගන්නා බව ය.

හමුදාව පුද්ගලික වෙළඳුන් වෙත ඔක්සිජන් විකිණීම ද සීමා කර ඇති අතර, ඔක්සිජන් තොග "සඟවා ගැනීම" වැලැක්වීමට එම ක්‍රියාමාර්ගය ගන්නා බව එයට හේතු ලෙස දක්වා තිබේ.

නමුත් ඇතැමුන් චෝදනා කරන්නේ හමුදාව විසින් හමුදා රෝහල්වලට මේ ඔක්සිජන් තොග සැපයෙන බව යි.

"තවමත් රජයේ රෝහල්වල සේවය කරන අපේ යාලුවෝ අපට කියනවා ආරක්ෂක අංශ ඇවිත් ඒ රෝහල්වල තිබුණු ඔක්සිජන් සිලින්ඩර අරගෙන ගියා කියලා," රාජ්‍ය නොවන සංවිධානයකට සේවය කරන වෛද්‍යවරයෙකු පැවසීය.

සෞඛ්‍ය පද්ධතිය අගාධයට

වසංගත එළඹෙන විටත් මියන්මාරයේ සෞඛ්‍ය පද්ධතිය පැවතුනේ දුර්වල අඩියක ය. එය සතු සම්පත් සීමිත වුව ද, පසුගිය වසරේ කෝවිඩ් රැල්ලට මුහුණ දීමට මියන්මාරය සමත්විය. නමුත් හමුදා කුමන්ත්‍රණය සියල්ල වෙනස් කළේ ය.

"අපි (වසංගතයට) ලොකු සූදානමකින් නෙවෙයි හිටියේ. ඊටත් වඩා, හමුදාව කුමන්ත්‍රණයකින් රජය පෙරලන්න තෝරාගත්තෙත් මේ කාලයම යි. මේ පාලනය තමන්ගේ රටවැසියා ගැන කොතරම් නොසැලකිල්ලක් ද දක්වන්නේ කියන එක පුදුමාකාර යි," යැන්ගොන්හි Tampadipa Insititute නම් ප්‍රතිපත්ති සම්පාදන ආයතනයේ අධ්‍යක්ෂක කින් සෝව් වින් සඳහන් කළේ ය.

"අනිත් රටවල් තම තමන්ගේ සෞඛ්‍ය පද්ධතීන් බිඳ වැටීම වලක්වන අරමුණෙන් රෝගීන් වැඩිවීමේ සංඛ්‍යාව පාලනය කරන්න උත්සාහ කරනවා," හොංකොං විශ්වවිද්‍යාලයයේ මහජන සෞඛ්‍ය විශේෂඥයෙකු වන වෛද්‍ය පියු පියු තින් සෝව් පැවසුවා ය.

"නමුත් තුන්වෙනි රැල්ලටත් කලින් සෞඛ්‍ය පද්ධතිය දණින් වට්ටවන්න හමුදා කුමන්ත්‍රණයට පුළුවන් වුණා."

හමුදා කුමන්ත්‍රණයට විරෝධය දක්වමින් වැඩ වර්ජනය ඇරඹි පළමු පිරිස අතර සෞඛ්‍ය සේවකයන් ද විය.

මියන්මාරයේ දේශපාලන සිරකරුවන්ට උපකාර කරන Assistance Association for Political Prisoners සංවිධානයට අනුව එන්නත්කරණ වැඩසටහනේ හිටපු ප්‍රධානී ද ඇතුළුව අවම වශයෙන් සෞඛ්‍ය සේවකයින් හැත්තෑ දෙදෙනෙකු මේ වන විටත් රැඳවුම් භාරයේ පසුවන අතර, තවත් 600ක් පමණ දෙනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කොට ඇත.

හමුදා රජයට එරෙහි සිවිල් වැසියන්ගේ විරෝධතාවන්ට සම්බන්ධ වෛද්‍යවරුන් සහ හෙදියන් නොමිලයේ ලබාදෙන සෞඛ්‍ය සේවාවන් ද තර්ජනයට ලක්ව තිබේ.

මෙවන් වෛද්‍යවරුන් කීපදෙනෙකුම නිවෙසක සිටින කෝවිඩ් රෝගියෙකුට ප්‍රතිකාර අවශ්‍ය බව පවසමින් රවටා රැගෙන ගොස් අත්අඩංගුවට ගෙන ඇතැ යි හමුදාවට චෝදනා එල්ලවී ඇත. හමුදාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

ඔවුන් පවසන්නේ සෞඛ්‍ය සේවකයින්ගෙන් 60%ක් පමණම තවමත් සේවයේ රැඳී සිටින බව යි. මෙය ද බොහෝවිට අතිශයෝක්තියට නැගූ සංඛ්‍යාවක් විය හැකිය.

හමුදාව පාලන බලය ලබාගැනීමට පස් දිනකට ප්‍රථම පසුගිය රජය විසින් ආරම්භ කෙරුණු එන්නත්කරණ වැඩසටහන කඩාකප්පල් වීමට ද හමුදා කුමන්ත්‍රණය හේතුවිය.

හමුදාව ප්‍රකාශකර ඇත්තේ චීන එන්නතෙන් මාත්‍රා මිලියන හයක් ද, රුසියානු එන්නතෙන් මාත්‍රා මිලියන දෙකක් ද ළඟදීම එරටට ලැබීමට නියමිත බව යි.

නමුත් එම එන්නත් පැමිණෙන විට ප්‍රමාද වැඩි බැව් සඳහන් කළ අධ්‍යක්ෂක කින් සෝව් වින්, එන්නත් ලබාගැනීම සඳහා ජනතාව පෙළඹවීමේ දී හමුදාව කොතරම් සාර්ථක වනු ඇත්දැ යි ප්‍රශ්න කරයි.

Yay Way cemetery in Yangon

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

යැන්ගොන්හි සුසාන භූමි අවට දර්ශනයෙන් මෙම තත්ත්වයේ බලපෑම පැහැදිලිව දක්නට හැකිය. දිනපතා මළවුන්ගේ සිරුරු රැගෙන එන මල්ශාලා රථ, ගිලන් රථ, සහ පුද්ගලික වාහන සුසාන භූමිවලින් පිටත දිගු පෝලිම් ලෙස රැඳී සිටියි.

යැන්ගොන්හි පිහිටි බෝ සෙයින් අවමංගල සේවාවේ සෙයින් වින් තායි මරණ සංඛ්‍යාව තමන්ට දරාගැනීමට නොහැකි තරම්යැ යි ප්‍රකාශ කළේ ය.

"මගේම තාත්තා මැරුණා අදට තුන් දවසකට කලින්. මරණෙ සිද්ධ වුණේ උදේ නවයට විතර. මම අවමංගල සේවාවක හිමිකාරයෙක් වෙලත්, මගේ තාත්තා වෙනුවෙන් මල්ශාලා වාහනයක් හොයාගන්න මට අපහසු වුණා," ඔහු කියා සිටියේ ය.

"කොහොමහරි, අපි යයි වෙයි සුසාන භූමියට ගියාට පස්සෙත් පැය ගණනාවක් බලාගෙන ඉන්න වුණා අපට කලින් ආ අයගේ අවමංගල කටයුතු ඉවර වෙනකල්. ඒ ඔක්කොම කෝවිඩ් මරණ."

යැන්ගොන් ප්‍රාදේශීය පරිපාලන කවුන්සිලයේ ප්‍රධානී හ්ලා සෝට අනුව, ජුලි 19 වැනිදා එම ප්‍රදේශයෙන් මරණ 1500ක් වාර්තා වී ඇත. මෙය එදින මියන්මාරය පුරාවෙන්ම වාර්තා වූ නිල මරණ සංඛ්‍යාව වන 281ට වඩා ඉතා ඉහළ සංඛ්‍යාවකි.

යැන්ගොන්හි සුසාන භූමි සතු වන්නේ දෛනිකව සිරුරු 300ක් හැසිරවීමට අවශ්‍ය සම්පත් පමණක් බව ඔහු සඳහන් කරයි.

අයි ම්යාගේ පවුලේ සාමාජිකයෝ අවසානයේ කුඩා ඔක්සිජන් සිලින්ඩරයක් සොයාගැනීමට සමත්වූවෝ ය - නමුත් ඇගේ මවගේ ජීවිතය ගලවාගැනීමට ඒ වනවිට ප්‍රමාද වැඩි විය. ඇගේ පවුලේ තවත් සාමාජිකයින් තිදෙනෙකු මේ වන විට ආසාදිතයින්ව සිටියි.

"සිලින්ඩරය දකින හැම වතාවේම තමන්ට දුක හිතෙන බව තාත්තා කියනවා. අපට ඒක හරි වෙලාවට හොයාගන්න බැරිවුණු නිසා අම්මගේ ජීවිතේ ගලවාගන්න බැරිවුණා කියලායි එයා හිතන්නේ," ඇය කියයි.

"අපේ පවුලේ තවත් කිසිම කෙනෙක් නැතිවෙනවා දකින්න අපිට ඕනේ නැති නිසා දැන් අපි හැමෝම හොඳින් අපිව රැක බලාගන්න ඕනේ."

(අතිරේක වාර්තාකරණය: බීබීසී බුරුම භාෂා අංශය)