මියන්මාර හමුදා කුමන්ත්‍රණය: මර්දනය මැද තරුවක් අත්අඩංගුවට, ලන්ඩනයේ තානාපති 'දොට්ට' දමයි

ඡායාරූප මූලාශ්‍රය, Instagram/@paing_takhon
මියන්මාර හමුදා පාලනය විසින් එරට වඩාත් ජනප්‍රිය තරුවක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ එරට කලාකරුවන් සහ නළුනිළියන් සම්බන්ධයෙන් එල්ල වෙමින් පවතින මර්දනය ඉහළ යමින් තිබෙන පසුබිමකදීය.
පායින්ග් ටකොන් (Paing Takhon), මෝස්‌තර නිරූපන ශිල්පියෙකු මෙන්ම ජනප්‍රිය නළුවෙකි. මියන්මාරයේ සහ තායිලන්තයේ දස ලක්ෂ සංඛ්‍යාත රසිකයන් පිරිසකගේ හිත් දිනා ගත් තරුවක් වන ඔහු හමුදා පාලනයට එරෙහි ජන රැලි සහ අන්තර්ජාලය ඔස්සේ කෙරෙන විරෝධතාවන්ට සක්‍රීයව සහභාගී විය.
රසිකයන් මිලියනය ඉක්ම වූ ටකොන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව මෙන්ම ඔහුගේ ෆේස්බුක් පිටුව ද මේ වන විට ඉවත් කරනු ලැබ තිබේ.
මියන්මාර හමුදාව පසුගිය පෙබරවාරි 01 වෙනිදා එරට පාලන බලය අල්ලා ගැනීමත් සමග ඊට එරෙහිව විරෝධතා හට ගැනුණි.
හමුදා විසින් එම විරෝධතා වෙත දක්වනු ලබන මර්දනකාරී ප්‍රතිචාර හමුවේ සාමාන්‍ය වැසියන් 600 ක් පමණ මේ වන විට මරණයට පත්ව තිබේ.
බ්‍රහස්පතින්දා සිදු වූයේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, AFP
ටකොන්ගේ සොයුරිය ෆේස්බුක් හි තැබූ සටහනකට අනුව බ්‍රහස්පතින්දා (අප්‍රේල් 08) එරට වේලාවෙන් උදෑසන 05:00 ට පමණ හමුදා රථ අටකින්, සෙබළුන් 50 ක් පමණ පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
නම හෙළි කිරීමට අකමැති වූ, ටකොන්ගේ සමීපතමයෙකු බීබීසිය වෙත කියා සිටියේ යැන්ගුන් හි පිහිටි ඔහුගේ මවගේ නිවසේ සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවකි.


නිරූපන ශිල්පියා "බරපතල ලෙස විෂාදයෙන්" (Depression) පීඩා විඳි බවත් ඔවුහු පවසති.
ටකොන් කායික රෝගයකින් ද පීඩා විඳි බව කී සමීපතමයා, ඔහුට "හරිහැටි සිට ගැනීමටවත් ඇවිදීමටවත්" නොහැකිව සිටි බව සඳහන් කළේය. එහෙත් එම පුද්ගලයා, වැඩිදුර විස්තර ලබා දීමෙන් වැළකී සිටියේය.
තමන්ට අත් විඳීමට නියමිත "ප්‍රතිවිපාක පිළිබඳ ඔහු මනා අවබෝධයකින් පසු වූ බව" පවසන සමීපතමයෝ, "ඔහු කිසිඳු ලෙස බිය නොවූ බව" සඳහන් කරති. ඔහුට අයත් ජංගම දුරකතන දෙක ද ආරක්ෂක අංශ විසින් රැගෙන යනු ලැබ ඇති බවත් ඔවුහු පැවසූහ.

හමුදා කුමන්ත්‍රණය ගැන ඔහු කියා තිබුණේ මොනවාද?
විසි හතර හැවිරිදි නිරූපන ශිල්පියා, මීට ඉහත පැවති උද්ඝෝෂණ සහ පා ගමන් ගණනාවකට සහභාගී වී සිටින අයුරු දක්නට ලැබිණි.
බලයෙන් පහ කෙරුණු සිවිල් නායිකා අවුං සාන් සූ චී ගේ ඡායාරූප ද ඔහු විසින් පළ කරනු ලැබ තිබිණි.
"අපි හමුදා කුමන්ත්‍රණය දැඩිව හෙලා දකිනවා. රාජ්‍ය උපදේශිකා අවුං සාන් සූ චී, ජනාධිපති ඌ වින් ම්යින්ට්, සිවිල් ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුවට තේරී පත් වූ සාමාජිකයන් වහාම නිදහස් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා," යනුවෙන් ටකොන් සමාජ ජාල පිටුවක සටහන් තබා තිබුණු බව පැවසේ. මේ වන විට එම සටහන ද ඉවත් කරනු ලැබ ඇත.
"2020 මැතිවරණ ප්‍රතිඵලවලට ගරු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. NLD පක්ෂයේ නායකත්වය සහිත පාර්ලිමේන්තුවක් හරහා හැකි ඉක්මණින් අලුත් සිවිල් ආණ්ඩුවක් පත් කර ගන්නා ලෙස ඉල්ලනවා," යනුවෙන් ඉහත කී සටහනේ සදහන්ව තිබිණි.
පසුබිම
ටකොන් අත්අඩංගුවට ගනු ලැබුණේ මෑත දිනවල, කලාකරුවන් සහ නළුනිළියන්ට එරෙහිව දියත් වන පුළුල් මර්දනයේ කොටසක් වශයෙනි.
හමුදා කුමන්ත්‍රණයට එරෙහි හඬ අවදි කිරීම හේතුවෙන් චිත්‍රපට ශිල්පීන්, නළුනිළියන්, විවිධ ක්ෂේත්‍රයන්හි ජනප්‍රිය චරිත සහ මාධ්‍යවේදීන් සියයක් පමණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් නිකුත් කර ඇත.
මියන්මාරයේ වඩාත් ජනප්‍රිය ප්‍රහසන ශිල්පී 'සාගනාර්' මේ සතිය ආරම්භයේදී ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය සතියේ තායිලන්තයේ පැවති උත්සවයකදී මියන්මාරයේ රූ රැජින හැන් ලේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව අදහස් පළ කළාය.
පෙබරවාරි 01 වෙනිදා හමුදාව බලය අල්ලා ගැනීමෙන් පසු, බුරුමය ලෙස ද හැඳින්වෙන මියන්මාරය පුරා දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබේ. එහි වසරක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
පසුගිය වසර අග පැවති මහ මැතිවරණය අතරතුර විශාල වශයෙන් මැතිවරණ දූෂණ සිදුව ඇති බව හමුදාව පවසයි. මැතිවරණයේ දී එරට ජනතාව අවුං සාන් සූ චී සහ ඇයගේ NLD පක්ෂයට යළි බලය ලබා දී තිබිණි.
ලන්ඩනයේ තානාපති 'දොට්ට'

ඡායාරූප මූලාශ්‍රය, PA Media
මේ අතර ලන්ඩනයේ පිහිටි සිය තානාපති කාර්යාල ගොඩනැගිල්ලෙන් තමා දොට්ට දමා ඇති බව හිටපු මියන්මාර තානාපතිවරයා පැවසීය. ඒ හේතුවෙන් සිය මෝටර් රථය තුළට වී බදාදා රාත්‍රිය (අප්‍රේල් 07) ගත කළ බව හිටපු තානාපතිවරයා සඳහන් කළේය.
ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට පත් කර සිටින මියන්මාර හමුදා නිලධාරියා, ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙස තානාපති කාර්යාල කාර්යමණ්ඩලයට දැන්වූ බවත් නිල කටයුතුවලින් තමා ඉවත් කර ඇති බවත් ක්යව් ස්වාර් මින් පැවසීය.
එම පියවර හෙලා දකින බ්‍රිතාන්‍ය විදේශ කටයුතු භාර ලේකම් ඩොමිනික් රාබ් විසින් එය හඳුන්වනු ලැබුවේ "පීඩාකාරී ක්‍රියාවක්" ලෙසය. කෙසේ වුවත් අදාළ වෙනස්කම් එක්සත් රාජධානිය විසින් පිළිගනු ලැබ ඇත.
මියන්මාරය ගැන තවත් තොරතුරු;












