මියන්මාරයේ කුමන්ත්‍රණය: මින් අවුං හ්ලේයින්ග්, බලය ඇල්ලූ ජෙනරල්වරයා

ඡායාරූප මූලාශ්‍රය, Reuters
'ටට්මඩෝ' නමින් හැඳින්වෙන මියන්මාරයේ බලසම්පන්න හමුදාව තුළ නිල ලබමින් ක්‍රමයෙන් ඉහළට ගිය මින් අවුං හ්ලේයින්ග්, පෙබරවාරි 1 වෙනිදා දියත් කෙරුණු කුමන්ත්‍රණයට පෙර, මියන්මාරයේ සේනා විධායක ලෙස සැලකිය යුතු දේශපාලන බලපෑමකට හිමිකම් කී අයකු විය.
මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදය කරා පරිවර්තනය වුවද, සාර්ථක ලෙස 'ටට්මඩෝ' හි බලය රඳවා ගැනීමට සමත් වුවත්, සුළුතර වාර්ගිකයින්ට හමුදාව එල්ල කරන ප්‍රහාරවලදී ඔහුගේ භූමිකාව හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් හෙලාදැකීමට මෙන්ම සම්බාධකවලට ද ඔහු ලක්විණි.
සිය නායකත්වය යටතේ මියන්මාරය යළි හමුදා පාලනයකට ගෙන ඒමත් සමග මින් අවුං හ්ලේයින්ග් මීළඟට අවධානය යොමු කරන්නේ තම බලය ව්‍යාප්ත කරමින් රටේ නුදුරු අනාගතය හැඩගැස්වීම කෙරෙහි ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉහළට නැගීම
සිය මුළු වෘත්තීය ජීවිතය ම බලගතු හමුදාව වෙනුවෙන් ගත කළ 64 හැවිරිදි ජෙනරල්වරයා ඊට සම්බන්ධ වූයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසිනි.
යැන්ගොන් විශ්ව විද්‍යාලයේ හිටපු නීති ශිෂ්‍යයෙකු වූ ඔහු 1974 දී ආරක්ෂක සේවා ඇකඩමියට ඇතුළත් වූයේ සිය තුන්වෙනි ප්‍රයත්නය දරමිනි.
සාමාන්‍යයෙන් විනීත සෙබළෙකු ලෙස උසස්වීම් ලබමින් ඉහළට ගිය ඔහු 2009 වසර වනවිට විශේෂ මෙහෙයුම් කාර්යාංශය - 2 හි අණදෙන නිලධාරියා බවට පත්විය.
එම තනතුර දරන සමයේ මියන්මාරයේ ඊසානදිග ප්‍රදේශයේ මෙහෙයුම් ඔහුගේ අධීක්ෂණයට ලක්විණි. චීන දේශසීමාව ඔස්සේ වූ ෂාන් පළාතේ හා කෝකැංග් කලාපයේ විසූ වාර්ගික සුළුතර සරණාගතයෝ එම මෙහෙයුම් හමුවේ පළා ගියහ.
සිය හමුදාවලට එරෙහිව ඝාතන, කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසන මෙන්ම ගිනිතැබීම් ආදිය සම්බන්ධයෙන් චෝදනා නැගෙද්දී මින් අවුං හ්ලේයින්ග් තවදුරටත් උසස්වීම් ලැබූ අතර 2010 දී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී බවට ද පත්විණි.
ඉන් පසු වසරකට අඩු කාලයකදී වඩා ජ්‍යෙෂ්ඨ ජෙනරල්වරුන් පසු කරගිය හෙලෙයින්ග්, දිගු කලක් සේනාධිනායක ව සිටි තාන් ශ්වේ ගේ අනුප්‍රාප්තිකයා වෙමින් 2011 දී එම තනතුරට පත් විය.
මින් අවුං හ්ලේයින්ග් හමුදා ප්‍රධානී වූ විට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බ්ලොග්කරුවකු මෙන්ම ලේඛකයෙකුද වන හ්ලා ඌ "කෲර බුරුම හමුදාවේ යුද්ධයේ සමත් රණශුරයෙක් " යැයි ඔහු හඳුන්වා දුන්නේය. කුඩා කළ සිට දෙදෙනා දැන හඳුනන බව කී හ්ලා ඌ, නමුත් හ්ලේයින්ග් "වැදගත් විද්‍යාර්ථියකු මෙන්ම මහත්මයෙක්" බව ද කියා සිටී.



ඡායාරූප මූලාශ්‍රය, Reuters
දේශපාලන බලපෑම සහ 'ජනසංහාරය'
මියන්මාරය 2011 වසරේදී, දශක ගණනක හමුදා පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය වෙත සංක්‍රමණය වෙද්දී හමුදා ප්‍රධානී ලෙස මින් අවුං හ්ලේයින්ග් සිය ධුර කාලය ඇරඹුව ද 'ටට්මඩෝ' (බුරුම හමුදාව) හි බලය රඳවා ගැනීම කෙරෙහි උනන්දු විය.
හමුදා සහය ලද සාංගමික සහයෝගිතා සහ සංවර්ධන පක්ෂය (USDP) ප්‍රමුඛ ආණ්ඩුව තුළ ඔහුගේ බලය හා සමාජ මාධ්‍යවල පෙනී සිටීම ඉහළ ගියේය.
2016 දී අවුං සාන් සූ චී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) බලයට පැමිණි පසු ඔහු එම වෙනසට අනුගතවන බවක් පෙනෙන්නට වුයේ අවුං සාන් සූ චී සමග පොදු අවස්ථාවල පෙනී සිටිමින් හා එක්ව කාර්යන්හි නිරත වූ බැවිනි.
මේ වෙනස මැද වුවද පාර්ලිමේන්තුවේ ආසනවලින් 25% ක් ද ආරක්ෂාව අතින් වැදගත් කැබිනට් තනතුරු ද මියන්මාර හමුදාව (ටට්මඩෝ) අත රඳවා ගැනීමට ඔහු වගබලා ගත්තේ, ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හා හමුදා බලය සීමා කිරීමට එන්එල්ඩී පක්ෂය දැරූ ප්‍රයත්නවලට ප්‍රතිරෝධය දක්වමිනි.
2016 සහ 2017 කාලය තුළ උතුරු දිග මියන්මාරයේ පිහිටි රඛායින් ප්‍රාන්තයේ වාර්ගික සුලුතර රෝහින්ග්‍යාවරුන්ට එරෙහිව හමුදා මෙහෙයුම් උත්සන්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ රෝහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයෙන් පලාගියහ.
"ජනසංහාරය" සම්බන්ධයෙන් හමුදා ප්‍රධානියා ජාත්‍යන්තර හෙලාදැකීමට ලක්විය. 2018 අගෝස්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පැවසුවේ, "සේනාධිනායක ජ්‍යෙෂ්ඨ ජෙනරල් මින් අවුං හ්ලේයින්ග් ඇතුළු ඉහල හමුදා ජෙනරල්වරුන් විමර්ශනයට ලක්කළ යුතු අතර උතුරු දිග රඛයින් ප්‍රාන්තයේ ජනසංහාරය මෙන්ම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ රඛායින්, කචින් හා ෂාන් ප්‍රාන්තවල යුද අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහි චෝදනා ගොනුකළ යුතුයි" යනුවෙනි.
මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රකාශයෙන් අනතුරුව ෆේස්බුක් සමාගම විසින් ඔහුගේ මෙන්ම "රටේ බරපතල මානව හිම්කම් උල්ලංඝනය කළ හෝ ඊට ඉඩ සැලසූ" අනෙකුත් පුද්ගලයින් මෙන්ම සංවිධානවල ගිණුම් ඉවත් කරනු ලැබීය.
එක්සත් ජනපදය ඔහුට එරෙහිව දෙවරක් සම්බාධක පැනවීය. "වාර්ගික ශුද්ධය" සහ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ ඔහුගේ භූමිකාව හේතුවෙන් 2019 දී සම්බාධක පැනවුණු අතර 2020 වසරේදී එක්සත් රාජධානිය විසින් ද ඔහුට එරෙහිව සම්බාධක පනවනු ලැබිණි.
බලය අල්ලා ගැනීම
2020 නොවැම්බර් මස පැවති මහ මැතිවරණයේදී, නිල සංඛ්‍යා ලේඛන අනුව එන්එල්ඩී පක්ෂයට විශාල ජයග්‍රහණයක් ගෙන ආ බව පෙනෙන්නට තිබුණ ද ඉන් පසු මාස කිහිපය තුළදී 'ටට්මඩෝ' (මියන්මාර හමුදාව) මෙන්ම හමුදා සහය ලැබූ යූඑස්ඩීපී පක්ෂය ප්‍රතිඵල සමග එකඟ නොවන බව යළි යළිත් පෙන්වූහ.
රට පුරා මැතිවරණ වංචා සිදුවූ බව යූඑස්ඩීපී පක්ෂයේ ප්‍රධාන චෝදනාව විය. එම ප්‍රකාශ මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර අලුත් ආණ්ඩුව තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු සැසිවාරය පෙබරවාරි 1 වෙනිදා ට සැලසුම් කර තිබිණි.
ආණ්ඩුව හා සන්නද්ධ හමුදා අතර අර්බුදය මැද කුමන්ත්‍රණයක් දියත්වනු ඇතැයි යන අනුමානය වර්ධනය වන්නට විය. "ව්‍යවස්ථාව අනුගමනය නොකරවානම්, එය අවලංගු කෙරේවි" යැයි මින් අවුං හ්ලේයින්ග් ජනවාරි 27 වෙනිදා අනතුරු ඇඟවීමක් කළේ 1962 සහ 1988 වසරවල හටගත් හමුදා කුමන්ත්‍රණ උදාහරණ ලෙස පෙන්වා දෙමිනි.
ව්‍යවස්ථාව අවලංගු කරන බවට හමුදා නිලධාරීන් කළ ප්‍රකාශ මාධ්‍ය විසින් වැරදි ලෙස අර්ථ ගන්වා ඇති බව පවසමින්, ජනවාරි 30 වෙනිදා මින් අවුං හ්ලේයින්ග් ගේ කාර්යාලය ඔහුගේ ස්ථාවරය ආපසු හරවන බවක් පෙනෙන්නට විය.
කෙසේවෙතත්, පෙබරවාරි 1 වෙනිදා උදෑසන රාජ්‍ය අනුශාසක අවුං සාන් සූ චී, ජනාධිපති වින් ම්යින්ට් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයින් රඳවා ගනු ලැබූ 'ටට්මඩෝ', වසරක් පුරා බලපැවැත්වෙන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.
එම කාලය සඳහා, සේනාධිනායකයා වශයෙන් සියලු රාජ්‍ය බලය පවරාගත් මින් අවුං හ්ලේයින්ග් චෝදනා එල්ල වූ මැතිවරණ අක්‍රමිකතා කෙරෙහි වහා ප්‍රමුඛතාව යොමු කළේය.
ඔහුගේ නායකත්වයෙන් යුතු ජාතික ආරක්ෂක කවුන්සිලය කියා සිටියේ මැතිවරණ වංචා විමර්ශනය කොට එන්එල්ඩී ලද ජයග්‍රහණය අවලංගු කරමින් අලුත් මැතිවරණයක් පවත්වන බවකි.
65 වෙනි වූ විශ්‍රාමික වයසට ළඟාවෙද්දී මෙම වසරේ ජූලි මාසයේදී මින් අවුං හ්ලේයින්ග් තනතුරින් ඉවත්වීමට මුලදී සැලසුම් කර සිටියේය. නමුත් අලුත් තත්ත්වය හමුවේ අවම තරමින් තවත් වසරක් (හෝ ඊට වැඩි කලක් වීමටද ඉඩ ඇත) බලයේ රැඳෙනු ඇත්තේ පෙනෙන්නට ඇති පරිදි මියන්මාරය යළි හමුදා පාලනයක් කරා යාමට ඉඩ ඇති තත්ත්වය තුළ ය.
හදිසි තත්ත්වය සමගින් අවිනිශ්චිත අනාගතයකට මියන්මාරය මුහුණ දෙද්දී මින් අවුං හ්ලේයින්ග් සිය බලය තහවුරු කරගෙන ඇති අතර රටේ පාලනය ද සියතට ගෙන සිටී.
- 'බීබීසී මොනිටරිං' (BBC Monitoring) අංශය විසින් සම්පාදනය කරන ලද ලිපියක් ඇසුරිණි -








