මියන්මාර හමුදාව අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මියන්මාර හමුදාව සිය හමුදා භටයන් විසින් ස්ත්‍රී දූෂණ සහ මනුෂ්‍ය ඝාතන සිදු කරනු ලැබ ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.
පසුගිය වසරේ දී රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වෙසෙන "රකායින්" ප්‍රාන්තයේ කළ වැටලීමක දී මියන්මාර හමුදා භටයන් විසින් ඉහත කී අපරාධ සිදු කරනු ලැබ ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරයි.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ මියන්මාර හමුදාව පවසන්නේ එම චෝදනා "අසත්‍ය සහ නිර්මාණය කරන ලද" ඒවා බවය.
ගම්වාසීන් තුන්දහසක් සහ හමුදා සාමාජිකයන් එකසිය අසූ හතර දෙනෙකුගෙන් එහිදී ප්‍රකාශ ලබා ගත් බවත් මියන්මාර හමුදාව පවසයි.
පොලිස් මුරපොලකට එල්ල වූ ප්‍රහාරයකින් අනතුරුව මියන්මාර යුද හමුදාව සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමත් සමග රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් හැට පන්දහසකට ආසන්න පිරිසක් බංග්ලාදේශය වෙත පළා ගියහ.
ශ්‍රී ලංකාව
ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දරමින් සිටියදී ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.


තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (IOM) පාලනය යටතට පත්කරන මෙන් එම පිරිස පසුගියදා ඉල්ලා සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කෙසේවුවද, යතුරුපැදියක් සොරකම් කිරීම සහ ගින්නක් මැඩ පැවැත්වීමට අසමත් වීම හේතුවෙන් ගැමියන්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හමුදා සාමාජිකයන්ට එරෙහිව තමන් විනය ක්‍රියාමාර්ග ගත් බව මේ අතර මියන්මාර පොලිසිය පවසයි.
මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සහ එරට බහුතරය වන බෞද්ධ ප්‍රජාව අතර වසර ගණනාවක තිස්සේ ගැටුම් වර්ධනය වෙමින් පවතී.
මියන්මාරය තුළ රෝහින්ග්‍යා ප්‍රජාව සලකනු ලබන්නේ බංග්ලාදේශයෙන් පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙසය.
ඔවුහු එරට රජයේ ආයතන සහ පොදු ජනතාව අතරත් වෙනස්කම් කිරීමට ලක්වෙති.
මියන්මාරයේ 2012 වසරේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් දස දහස් ගණනක් තවමත් අනාථ කඳවුරුවල වෙසෙති.










