මියන්මාරය:මිල්ටරි ජුන්ටාව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන්ට සිදු වී ඇත්තේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
"ත්‍රස්තවාදී ක්‍රියා" සිදු කළ බවට චෝදනා කොට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් සිව් දෙනෙකුට මියන්මාරය භාර හමුදා නායකයින් මරණ දණ්ඩනය ලබා දී ඇත.
රහස් නඩු විභාගයකින් පසු ඔවුන්ට මෙලෙස මරණ දණ්ඩනය ලබා දී ඇත්තේ මියන්මාර හමුදාවට එරෙහිව සටන් කිරීමට කැරලිකරුවන්ට උදව් කළ බවට චෝදනා එල්ල කරමිනි.
ක්යාව් මින් යූ නොහොත් කෝ ජිමී ලෙස ප්‍රකට ඉදිරි පෙළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු සහ හිටපු නීති සම්පාදකයෙකු සහ හිප්-හොප් කලාකරුවකු වන ෆියෝ සීයා තව් ද ඒ අතරට අයත්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම මරණ දණ්ඩනය හෙළා දැක ඇත්තේ "දූෂිත" බවට පවසමිනි.
2021 පෙබරවාරියේ බලය අල්ලාගත් දා සිට විරුද්ධවාදීන් මර්දනය කිරීමට රෙජීමය විසින් ගෙන ඇති නවතම පියවර මේවාය.
රට පාලනය කරන්නේ කවුද?
තත්මදාව් හෙවත් හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස සිටින්නේ ජෙනරල් මින් අවුන් හ්ලේං ය.
ඔහු සහ ඔහුගේ ජුන්ටාව (හමුදා නායකයින් කණ්ඩායම) ජනතා ඡන්දයෙන් පත්ව සිටි ආණ්ඩුව නෙරපා හැර බලය අල්ලා ගත්තේය.
ඔහු හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ නමුත් අනාගතයේදී "නිදහස් හා සාධාරණ" මැතිවරණයක් පවත්වන බවට පොරොන්දු වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එතැන් සිට, මානව හිමිකම් මර්දනය සහ වාර්ගික සුළු ජාතීන්ට එරෙහි ප්‍රහාරයන් සම්බන්ධයෙන් ජනරාල් හ්ලේං හට ජාත්‍යන්තර හෙළාදැකීම් සහ සම්බාධක වලට මුහුණ දීමට සිදුවී තිබේ.
දේශපාලන සිරකරුවන්ගේ සහාය සංගමය (AAPP) නම් මානව හිමිකම් කණ්ඩායමක් පවසන්නේ කුමන්ත්‍රණයෙන් පසු පාලන තන්ත්‍රයේ ආරක්ෂක අංශ විසින් පුද්ගලයන් 2,100 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවයි.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එය "මියන්මාරයේ කුරිරු මානව හිමිකම්වල තවත් උදාහරණයක්" ලෙස නම් කර ඇත. ඊට සමාන වැරදි සඳහා තවත් 100 දෙනෙකු මරණ දණ්ඩනය බලාපොරොත්තුවෙන් සිටින බව ද එය සඳහන් කරයි.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන්ට ජුන්ටාව ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පසුගිය වසරේ කුමන්ත්‍රණයෙන් පසුව, විපක්ෂ ක්‍රියාකාරීන් සිවිල් විෂමාචාර ව්‍යාපාරය (CDM) පිහිටුවා වැඩ වර්ජන සහ මහජන විරෝධතා සංවිධානය කරමින් සිටිති.
ගින්දර, ජල ප්‍රහාර සහ රබර් උණ්ඩ යොදා ගනිමින් හමුදාව ඒවාට ප්‍රතිචාර දක්වා ඇත.
මහජන ආරක්‍ෂක බලකාය නමින් සංවිධානය වූ යුද්ධ පුහුණුව ලැබූ මහාජන හමුදාවක් හමුදා රථ පෙළකට පහර දී නිලධාරීන් ඝාතනය කර ඇත.
ආණ්ඩුව සගායිං දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් 40 දෙනෙකුට වධහිංසා පැමිණවීම සහ ඝාතනය කිරීම ඇතුළු ප්‍රචණ්ඩකාරී පළිගැනීම් සිදු කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, STR / AFP
ජුන්ටාව අවුන් සාන් සුකී සිරගත කළේ ඇයි?
අවුන්සාන් සුකී 1990 දශකයේ දී ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා වූ ප්‍රචාරණ ව්‍යාපාරය නිසා ලෝක ප්‍රසිද්ධියට පත් වූවාය. ඇයට 1991 දී නොබෙල් සාම ත්‍යාගය ද පිරිනැමිණි.
2015 දී, මියන්මාරයේ වසර 25 කට පසු විවෘතව තරග කළ පළමු මැතිවරණයෙන් ඇය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයෙන් (NLD) ජයග්‍රහණය ලැබුවාය.
කෙසේ වෙතත්, 2021 පෙබරවාරි කුමන්ත්‍රණයේදී හමුදාව ඇයව නෙරපා දමා නිවාස අඩස්සියේ තබන ලදී.
විරුද්ධ පක්ෂය එය දැඩි වංචාවක් බව පවසමින් නැවත ඡන්දය පවත්වන ලෙස ඉල්ලා සිටි අතර, ජෙනරාල්වරුන් ද ඊට සහාය දුන්හ. කෙසේ වෙතත්, මැතිවරණ කොමිසම පැවසුවේ මෙම ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
2022 අප්‍රේල් මාසයේදී, 76 හැවිරිදි සුකීට රහස් නඩු විභාගයකදී දූෂණ චෝදනා මත වසර පහක සිර දඬුවමක් නියම විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
රටේ නිල රහස් පනත උල්ලංඝණය කිරීම, නීතිවිරෝධී වෝකිටෝකි ළඟ තබා ගැනීම සහ "බිය හෝ ඇවිලීම්" ඇති කළ හැකි තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ඇය ඒ වන විටත් වසර හයක සිර දඬුවමකට යටත් කර තිබුණි.
ඇය තවමත් තවත් දූෂණ චෝදනා 10ක් එල්ලවී පවතින අතර, ඒ සෑම එකක්ම වසර 15ක උපරිම දණ්ඩනයකට යටත් වේ.
ජුන්ටා පාලනයට ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේද?
මියන්මාරයේ "ප්‍රචණ්ඩත්වය තීව්‍ර වීම සහ දරිද්‍රතාවයේ සීග්‍ර වර්ධනයක්" පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය හමුදා නිලධාරීන්ට සම්බාධක පනවා ඇත.
මියන්මාරය ඇත්තේ කොහිද?
කලින් බුරුමය ලෙස හඳුන්වනු ලැබූ මියන්මාරය ඇත්තේ අග්නිදිග ආසියාවේ ය. එය තායිලන්තයේ, ලාඕසයේ, බංග්ලාදේශයේ, චීනයේ සහ ඉන්දියාවේ අසල්වැසි රටකි.
එහි ජනගහනය මිලියන 54ක් පමණ වන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් බුරුම භාෂාව කතා කරන අය වෙති. විශාලතම නගරය යැන්ගන් (රැන්ගූන්) නමුත් අගනුවර නායි පි තාව් වේ.
එරට 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තේය. පසුව නව රජයක් සිවිල් පාලනය ඇති කිරීමට උත්සාහ කරද්දී සන්නද්ධ හමුදාවන් විසින් 1962 සිට 2011 දක්වා පාලනය කරන ලදී.
පාලක හමුදාව 1989 දී බුරුමයේ නම "මියන්මාරය" ලෙස වෙනස් කළ අතර එතැන් සිට "මියන්මාරය" යන්න වැඩි වැඩියෙන් භාවිතා වේ.
ප්‍රධාන ආගම බුද්ධාගම යි. රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ඇතුළු ජනවාර්ගික කණ්ඩායම් රාශියක් රට තුළ සිටිති.
2017 දී සිදු කළ හමුදා මර්දනයක් නිසා රෝහින්ග්‍යා වැසියන් දහස් ගණනක් මිය ගිය අතර 700,000 කට වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා ගියහ.










